Last Update  :  2025-04-21 20:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner කෝලිට ඕනෑනම් විවේක ගතහැකියි

කෝලිට ඕනෑනම් විවේක ගතහැකියි

Nisanka Sandeepani - 2018 පෙබ මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

2017 වසරමැදදී පැවැති ශූරයන්ගේ කුසලාන තරගාවලියේ සිට දිගින් දිගටම තරග වලට සහභාගිවීම නිසා ක්‍රීඩකයන් වෙහෙසට පත්වීම පාලනය කරගැනීම කෙරෙහි අවධානය යොමුකර සිටින ඉන්දීය ක්‍රිකට් නිලධාරීහු විරාට් කෝලිට අවශ්‍ය නම් නිදහස් කුසලාන තරගාවලියේදී විවේකයක් ලබාගත හැකි බව කියති. 

“විරාට් කෝලිට විවේකයක් අවශ්‍ය නම් නිදහස් කුසලාන තරගාවලියේදී ඔහුට එය ලබාගත හැකියි. විරාට් සම්බන්ධ ප්‍රශ්නයේදී ඔහුට විවේකයක් ඕනෑද නැද්ද කියා තීරණය කළ යුත්තේ ඔහුයි” යයි ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ උසස් නිලධාරියෙක් ප්‍රකාශ කර තිබිණ. 
ඔහු නිර්භයයම එවැන්නක් ප්‍රකාශ කර ඇත්තේ ඉන්දීය තේරීම් කමිටුවේ ප්‍රධානියා වන එම්.එස්.කේ. ප්‍රසාද් මහතා සමග පැවැති සාකච්ඡාවකින් පසුවය. 

ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන නිදහස් කුසලාන තරගාවලිය විස්සයි-20 තරගාවලියක් වන අතර එය මාර්තු මස 6 වැනිදා සිට 18 වැනිදා දක්වා පැවැත්වේ. මෙම තරගාවලිය සඳහා ඉන්දීය කණ්ඩායම මෙම සති අන්තයේදී තෝරා ගැනීමට නියමිතය. 

“ඒ කොහොම වුණත් විරාට් ගැන අනාවැකි කියන්නත් බෑ. සමහර විට මේක තරග සමයේ අවසන් තරගාවලිය නිසා එයා මේ තරගාවලියට ක්‍රීඩා කරන්නත් පුළුවන්. මොකද මේ තරගාවලියෙන් පස්සේ අයි.පි.එල්. තරගාවලියට ඉස්සරවෙලා එයාට සති දෙකක නිවාඩුවක් ලැබෙනවා”  යයිද ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩල නිලධාරියා වැඩිදුරටත් පැවසීය. 

විරාට් කෝලිට අමතරව වේග පන්දු යවන්නන් වන බුවනේෂ්වර් කුමාර් මෙන්ම ජස්ප්‍රීට් බුම්රා යන දෙදෙනාගේත් වෙහෙස සම්බන්ධයෙන් ඉන්දීය තේරීම් කමිටු නිලධාරීන්ගේ අවධානය යොමු වී තිබේ. මෙම පන්දු යවන්නන් දෙදෙනාම ටෙස්ට්, එක්දින සහ විස්සයි-20 යන තරග ආකාර තුනේදීම ඉන්දියාව වෙනුවෙන් වැඩි බරක් දැරූ ක්‍රීඩකයෝ වෙති. අයි.පී.එල්. තරගාවලියට පෙර ඔවුන්ට හොඳ විවේකයක් ලැබීමත් අත්‍යවශ්‍ය බව ඉන්දීය තේරීම් කමිටු නිලධාරීහු කියති. 

බුවනේෂ්වර් දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැති ටෙස්ට් සහ එක්දින තරගාවලියේදී ඕවර 100 ක් පමණ යැවීය. දකුණු අප්‍රිකානු සංචාරයේ සෑම තරගයකටම ක්‍රීඩා කළ බුම්රා වැඩියෙන්ම වෙහෙස වූ පන්දු යවන්නාය. දකුණු අප්‍රිකානු සංචාරයේද ඔහු මේ දක්වා ඔහු ඕවර 162 ක් යවා තිබේ. අන්තර්ජාතික මට්ටමේදී, වේග පන්දු යවන්නකු සම්බන්ධයෙන් ගත්කල්හි එය විශාල ඕවර සංඛ්‍යාවකි. 

එබැවින් බුම්රාගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් මට්ටමක තබාගැනීම ඉන්දීය තේරීම් කමිටුවේ ප්‍රශ්න අඩුකරන්නකි. 

යම් හෙයකින් ජස්ප්‍රීට් බුම්රා සහ බුවනේෂ්වර් කුමාර් දෙදෙනාත් විවේක ගැන්වීමට තීරණය කළහොත් ශර්දුල් ඨාකූර් සහ ජයදේව් උන්ද්කාත් ඉන්දීය පිලට එක්වීමට ඉඩ තිබේ. මේ අතර ‘යෝකර් පන්දු’ විශේෂඥයකු වන කේරළ ප්‍රාන්තයේ බැසිල් තම්පිද තමන්ට අවස්ථාව ලැබෙන තුරු බලා සිටී. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පසුගිය දෙසැම්බරයේදී පැවැති විස්සයි-20 තරගාවලියේදී බැසිල් තම්පි අතිරේක ක්‍රීඩකයකුව සිටියේය. 

 


අදහස් (0)

කෝලිට ඕනෑනම් විවේක ගතහැකියි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.