Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner ගැළවීම ඉන්දියාවේ වාර්තාවට හරස්වීමයි

ගැළවීම ඉන්දියාවේ වාර්තාවට හරස්වීමයි

Nisanka Sandeepani - 2017 දෙසැ මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන තරග 3 කින් සමන්විත ටෙස්ට් තරගාවලියේදී 1-0 ක් ලෙස පසු පසින් සිටින ශ්‍රී ලංකාව, 1-1 ක් ලෙස තරගාවලිය සම කරගෙන තවත් තරගාවලි පරාජයකින් ගැලවීමේ අරමුණින් දිල්ලියේදී හෙට (2 වැනිදා) ආරම්භවන තෙවැනි ටෙස්ට් තරගයට පිවිසෙයි. 
 
වේග පන්දු යවන්නන්ට වාසිදායක තණතීරු ලැබුණද පළමු තරගයේ පළමු ඉනිමේදී හැර ඉන් නිසි ප්‍රයෝජනයක් ගැනීමට ශ්‍රී ලංකා වේගපන්දු යවන්නෝ අපොහොසත් වූහ. දඟ පන්දු යවන්නන්ටද එහිදී වැඩි යමක් කිරීමට නොහැකි වූ අතර ශ්‍රී ලංකා පිලේ බරපතළම කඩාවැටීම වූයේ පිතිහරඹයයි. 
 
ශ්‍රී ලංකා පන්දු යැවීමේ අංශයේ ප්‍රධාන තුරුම්පුව වන රංගන හේරත් පිට කොන්දේ අබාධයක් හේතුවෙන් තුන්වැනි ටෙස්ට් තරගය සදහා එක් නොවේ. ඔහු වෙනුවට කණ්ඩායමට කැඳවු ජෙෆ්රී වැන්ඩර්සේ හෝ සංචිතයේ සිටින ලක්ෂාන් සඳකැන් හෙට ආරම්භවන තරගයේදී කණ්ඩායමට එක්වනවාද, නැතහොත් වේගපන්දු යවන්නන් තිදෙනෙක් සහ දඟ පන්දු යවන්නක් සමගින් තරගයට පිවිසෙනවාද යන්න පිළිබඳව කණ්ඩායම් කළමණාකාරීත්වය මේ වන විටත් සිතමින් පසුවෙයි. 
 
දකුණු අප්‍රිකාවේදී පැවැත්වෙන තරගාවලිය ඉලක්ක කර ගනිමින් ඉන්දිය ක්‍රිකට් පාලක මණ්ඩලය හෙට ආරම්භවන තරගයේදීද වේගපන්දු යවන්නන් හට වාසිදායක තණ තීරුවක් සකස් කරනු ඇතැයි වාර්තා වේ. කෙසේ වෙතත් ඉන්දීය ජයග්‍රහණ වැල වැළැක්වීමට නම් ශ්‍රී ලංකා වේගපන්දු යවන්නන්ට ඉන් වැඩි වාසී අත්කර ගැනිමට සිදුවනු ඇත. 
 
හෙට තරගයේදී ශ්‍රී ලංකා පිතිකරු ලැයිස්තුවේ වෙනසක් කරමින් රොෂේන් සිල්වාට ටෙස්ට් වරමි හිමිවීමට හෝ ධනංජය ද සිල්වාට කණ්ඩායමේ ස්ථානයක් හිමිවීමට වැඩි අවස්ථාවක් ඇති බව නවදිල්ලියෙන් වාර්තා වේ. එහෙත් කණ්ඩායමෙන් ඉවත් කරන පිතිකරු කවුරුන්ද යන්න පිළිබඳව මේ වනතෙත් තීරණයක් ගෙන නොමැත. පිතිකරු ලැයිස්තුවේ වෙනසක් සිදුවන්නේ නම් අවසන් තරගයේදී ක්‍රීඩා කළ විලාශය අනුව බලන කල උපනායක ළහිරු තිරිමාන්නට ස්ථානය අහිමිවී යෑමට වැඩි අවස්ථාවක් පවතී.  
 
තිරිමාන්න සිය අවසන් ටෙස්ට් තරග 10 සඳහා වසර දෙක හමාරකට ආසන්න කාලයක් ගතකර ඇති නමුත් එම තරග 10 දීම ඔහු ලබාගෙන ඇත්තේ ලකුණු 342 ක් පමණි. ඉනිමක සාමාන්‍යය ලකුණු 19.00 කි. 
 
පළමු තරගයේදී පන්දුවෙන් දස්කම් දක්වමින් තරගයේ වීරයා සම්මානයද දිනාගත් බුනේෂ්වර් කුමාර් පෞද්ගලික හේතුවක් මත ටෙස්ට් තරගාවලියෙන් ඉවත් වූ අතර එම හිස්තැන පිරවිම සදහා කණ්ඩායමට එක්වූ ඉෂාන්ත් ශර්මා සුපුරුදු දක්ෂතා දක්වමින් කඩුලු 5 ක් දවාගනිමින් තම ස්ථානය සුරක්ෂිත කරගැනීමට සමත් විය. දෙවැනි තරගයේදී හිමි වූ තණතිරූව ආම්භයේදී වේග පන්දු යවන්නන්ට වාසිදායක වුවද, පසු ඉන් උපරිම ප්‍රයෝජන ගැනීමට ඉන්දීය දඟ පන්දු යවන්නන් වන රවිචන්ද්‍රන් අශ්වින් සහ රවින්ද්‍ර ජදේජා සමත් වූහ. 
 
වසර 2005 වසරේ සිට 2008 වසර දක්වා පිට පිට තරගාවලි නවයක් ජයගනිමින් ඕස්ට්‍රේලියාවේ තබා ඇති වාර්තාව සම කිරීමට පුල පුලා බලා සිටින ඉන්දියාව අවසන් තරගය ජයගැනිමට ඔවුන්ට හැකි උපරිම උත්සහය යොදනු ඇත. 
 
ශ්‍රී ලංකාව 2015 වසරේදී පරාජය කරමින් ආරම්භ කළ තරගාවලි ජයග්‍රහණයන්හි අටවැන්න වූයේ පසුගිය අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකාවේදීම ශ්‍රී ලංකාව පරාජය කිරීමයි. දිල්ලි තරගය ජය පරාජයෙන් තොරව අවසන් කරගැනීමද ඉන්දියාවට පිට පිටම 9 වැනි තරගාවලි ජය ලබාගැනීමට සෑහෙයි.
 
පළමු ඉනිමේදී ඉහළ ලකුණු සංඛ්‍යාවක් රැස්කළ යුතු බවත්, දිල්ලියේදී පැවැත්වෙන තරගයේදී එය අත්‍යවශ්‍ය බවත් දෙවැනි තරගයෙන් පසුව පැවැති මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල් පැවසීය. 
 
“පිතිකරු ලැයිස්තුවේ වඩාත් අත්දැකීම් බහුල පිතිකරු වන්නේ ඇන්ජලෝ. ඔහු ලකුණු රැස්කිරිමට අපොහොසත් වුණොත් අපේ කණ්ඩායම පහළටම වැටෙනවා.” යැයි පැවසූ චන්දිමාල්, ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් අනිවාර්යෙන්ම දක්ෂතා පෙන්විය යුතු බවද, ඒ මගින් තරුණ ක්‍රීඩකයින්ට ඔවුන් අනුගමනය කිරීමට හැකිවන බවද, තෙවැනි තරගයේදී මැතිව්ස් සිය සුපුරුදු දක්ෂතා අතරට පැමිණේවි යැයි තමන් විශ්වාස කරන බවද වැඩිදුරටත් පැවසීය. 
 
ශ්‍රී ලංකා සංචිතය 
දිනේෂ් චන්දිමාල් (නායක), දිමුත් කරුණාරත්න, ධනංජය ද සිල්වා, සධීර සමවික්‍රම, ඇන්ජලෝ මැතිව්ස්, ළහිරු තිරිමාන්න, සුරංග ලක්මාල්, ඩිල්රුවන් පෙරේරා, ළහිරු ගමගේ, ලක්ෂාන් සඳකැන්, විශ්ව ප්‍රනාන්දු, දසුන් ශානක, නිරෝෂන් දික්වැල්ල, රොෂේන් සිල්වා සහ ජෙෆ්රි වැන්ඩසේ 
 
ඉන්දීය සංචිතය 
විරාට් කෝලි (නායක), මුරලි විජේ, ලෝකේෂ් රාහුල්, ශිකර් ධවාන්, චෙටේෂ්වර් පුජාරා, අජින්ක්‍යා රහනේ, රෝහිත් ශර්මා, රිදිමන් සාහා, රවිචන්ද්‍රන් අෂ්වින්, රවින්ද්‍ර ජදේජා, කුල්දීප් යාදව්, මොහොමඞ් සාමි, උමේෂ් යාදව්, ඉෂාන්ත් ෂර්මා සහ විජේ ශංකර් 
 
 

අදහස් (0)

ගැළවීම ඉන්දියාවේ වාර්තාවට හරස්වීමයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.