Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner ගේල්ගේ වාර්තාගත පිතිහරඹය අපතේ යයි

ගේල්ගේ වාර්තාගත පිතිහරඹය අපතේ යයි

ශනුක අරවින්ද - 2019 පෙබ මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව ග්‍රෙනඩාහි ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති සිවුවැනි එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයෙන් ලකුණු 29 ක ජයක් අත්කර ගැනීමට එංගලන්ත කණ්ඩායම ඊයේ (27 වැනිදා) සමත් විය. ඒ අනුව තරග 5 කින් සමන්විත එක්දින තරගාවලිය 2-1 ක් ලෙස පෙරමුණ ගැනීමටද එංගලන්ත ක්‍රීඩකයෝ සමත් වූහ.

ජයග්‍රහණය සඳහා ලකුණු 419 ක දැවැන්ත ඉලක්කයක් හඹාගිය කොදෙව් කණ්ඩායමට ඕවර 48 අවසානයේ සියලු දෙනා දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 389 ක් පමණි. එහිදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ ආදිල් රෂීඞ් ලකුණු 85 කට කඩුලු 5 ක්ද, මාක් වුඞ් ලකුණු 60 කට කඩුලු 4 ක්ද දවාගනිමින් කොදෙව් කණ්ඩායමේ ජයග්‍රාහී මාවත අවහිර කර දැමූහ.

ප්‍රවේගකාරී පිතිහරඹයක නිතර වූ ක්‍රිස් ගේල් පන්දු 97 කදී හයේ පහර 14 ක් සහ හතරේ පහර 11 ක් සමග ලකුණු 162 ක් රැස්කළද, ඔහුට සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙනයෑමට නොහැකි විය. මෙම ඉනිමත් සමග එක්දින ලකුණු 10,000 සීමාව පසුකර යෑමටද ගේල් සමත් වූ අතර එවන් දස්කමක් දැක්වූ දෙවැනි කොදෙව් ක්‍රීඩකයා ලෙසද ඔහු වාර්තා අතරට එක්විය.

ඩැරන් බ්‍රාවෝ (61) සමග එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 107 කදී ලකුණු 176 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද ගේල් සමත් විය. පන්දු 59 කදී වාර්තා වූ බ්‍රාවෝගේ අර්ධ ශතකයට හයේ පහර 4 ක් සහ හතරේ පහර 4 ක් ඇතුළත් වූ අතර කාර්ලෝස් බ්‍රැත්වේට්ද පන්දු 36 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 4 ක් සමගින් ලකුණු 50 ක් රැස්කළේය.

පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම ඕවර 50 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 418 ක් ලබාගත් අතර එහිදී ජොස් බට්ලර් (150) සහ නායක ඔයින් මෝගන් (103) ශතක ලබාගනිමින් සිය කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව 400 සීමාවෙන් ඔබ්බට රැගෙන ගියහ.

එංගලන්ත ඉනිමේ සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 120 කදී ලකුණු 204 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද බට්ලර් සහ මෝගන් සමත් වූහ. එහිදී පන්දු 77 කට මුහුණදුන් බට්ලර් හයේ පහර 12 කින් සහ හතරේ පහර 13 කින් සිය ශතකය අලංකාර කළ අතර පන්දු 88 කදී වාර්තා වූ මෝගන්ගේ ශතකයට හයේ පහර 6 ක් සහ හතරේ පහර 8 ක් ඇතුළත් විය.

ජොනී බෙයාස්ට්‍රෝ පන්දු 43 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහර 4 ක් සමග ලකුණු 56 ක්ද, ඇලෙක්ස් හේල්ස් පන්දු 73 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 8 ක් සමග ලකුණු 82 ක්ද රැස්කරමින් එංගලන්ත කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදුන්හ. ඔවුන් දෙදෙනා එක්ව එංගලන්ත ඉනිමේ පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 83 කදී ගොඩනැගූ සම්බන්ධතාව ලකුණු 100 කි.

එංගලන්ත පිල - ඕවර 50 කදී කඩුලු 6 ක් දැවී 418
(ජොනී බෙයාස්ට්‍රෝ 56, ඇලේක්ස් හේල්ස් 82, ඔයින් මෝගන් 103, ජොස් බට්ලර් 150, කාර්ලොස් බ්‍රැත්වේට් 69/2, ඔෂේන් තෝමස් 84/2)

බටහිර ඉන්දීය කොදෙව් පිල - ඕවර 48 කදී සියලු දෙනා දැවී 389
(ක්‍රිස් ගේල් 162, ජෝන් කැම්බල් 15, ඞ්වේන් බ්‍රාවෝ 61, ජේසන් හෝල්ඩර් 29, කාර්ලෝස් බ්‍රත්වේට් 50, ඇෂ්ලි නර්ස් 43, ආදිල් රෂීඞ් 85/5, මාක් වුඞ් 60/4)  

-036

 


අදහස් (0)

ගේල්ගේ වාර්තාගත පිතිහරඹය අපතේ යයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.