Last Update  :  2025-04-22 17:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner චන්දිමාල්-මැතිව්ස්ගෙන් ශ්‍රී ලංකා ඉනිමට මුක්කුවක්

චන්දිමාල්-මැතිව්ස්ගෙන් ශ්‍රී ලංකා ඉනිමට මුක්කුවක්

Nisanka Sandeepani - 2017 දෙසැ මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දියාවට එරෙහිව ෆෙරෝස් ෂා කෝට්ලා ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය තෙවැනි දිනය (4 වැනිදා) සඳහා නතර කරන විට පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදෙමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 9 ක් දැවී ලකුණු 356 ක් ලබා සිටියේය. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම කඩුල්ලක් අතැතිව ඉන්දීය කණ්ඩායමට වඩා තවත් ලකුණු 180 ක් පසුපසින් සිටියි.

තරගය නතර කරන විට පන්දුවට පහර දෙමින් සිටි නායක දිනේෂ් චන්දිමාල් හයේ පහරක් සහ හතරේ පහර 18 ක් සමග නොදැවී ලකුණු 147 ක් ලබාසිටි කඩුල්ලේ රැදී සිටි අතර අනෙක් අන්තයේ පන්දුවට පහර දෙමින් සිටි ලක්ෂාන් සඳකැන් ලකුණු ලබා සිටියේය නැත.

චන්දිමාල් පන්දු 265 කදී ශතකය සම්පූර්ණ කළ අතර එය ඔහුගේ 10 වැනි ටෙස්ට් ශතකය ලෙස සටහන් විය. මෙම ශතකය ලබාගැනීමත් සමග අඩුම ඉනිම් සංඛ්‍යාවකදී (ඉනිම් 80 ක් තුළදී) ටෙස්ට් ශතක 10 ක් ලබාගත් ශ්‍රී ලංකා පිතිකරුවා බවට පත්වීමේ අවස්ථාවද චන්දිමාල්ට හිමිවිය. ඉනිම් 82 ක් තුළදී ශතක 10 ලබාසිටි තිලාන් සමරවීර, චන්දිමාල්ට පෙර එම වාර්තාවට හිමි කම් කීවේය.

දෙවැනි දිනය වූ ඊයේ (3 වැනිදා) තරගය නතර කරන විට ලකුණු 131 ක් ලබා සිටි ශ්‍රී ලංකා කණ්ඩායම අද දිනයේදී සිය පළමු ඉනිමට තවත් ලකුණු 225 ක් එක් කරගත් අතර එහිදී කඩුලු 6 ක් බිඳ හෙළීමට ඉන්දීය පන්දු යවන්නෝ සමත් වූහ.

ශ්‍රී ලංකා ඉනිමේ සිවුවැනි කඩුල්ල වෙනුවෙන් ඇන්ජලෝ මැතිව්ස් (111) සමග එක්ව ලකුණු 181 ක සම්බන්ධතාවක් ගොඩනැගීමට චන්දිමාල් සමත් වූ අතර රවිචන්ද්‍රන් අෂ්වින්ගේ පන්දුවක් හමුවේ රිධිමන් සහා අතට උඩ පන්දුවක් දෙමින් මැතිව්ස් දැවී යෑමත් සමග එම සම්බන්ධතාව නිමිවට පත්විය.

සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ අටවැනි වැනි ටෙස්ට් ශතකය ලබාගත්  මැතිව්ස්, එය හයේ පහර 2 කින් සහ හතරේ පහර 14 කින් අලංකාර කළේය. පන්දු 231 කදී මැතිව්ස් සිය ශතකය සම්පූර්ණ කළ අතර ශතකය කරා යෑමේදී ඔහු ලබා දුන් උඩ පන්දු 4 ක්ම ඉන්දීය පන්දු රකින්නන් අතින් ගිළිහීයෑම කැපී පෙනෙන සිදුවීමක් විය.

ලකුණු 98 ක් ලබා සිටියදී ඉෂාන්ත් ශර්මාගේ පන්දුවක් හමුවේ දුන් පහසු උඩ පන්දුවක් ස්ලිප්හි පන්දු රකිමින් සිටි රෝහිත් ශර්මා අතින් ගිළිහීයෑම මැතිව්ස්ට ශතකය කරා යෑම සඳහා මනා රැකුළක් විය. එය ඉන්දීය කණ්ඩායම නව පන්දුව ලබා ගැනීමෙන් අනතුරුව යැවූ පළමු ඕවරයේ පළමු පන්දුවද විය.

අද දිනයේදී රවින්ද්‍ර ජදේජාගේ පන්දු හමුවේ මැතිව්ස් ශතකය ලබාගැනීමට පෙර (ලකුණු 93 ක් ලබා සිටියදී) දුන් උඩ පන්දුවක් කඩුලු රකින ක්‍රීඩක රිධිමන් සහා අතින්ද, ශතකය ලබාගැනීමේන් අනතුරුව (ලකුණු 104 ක් ලබා සිටියදී) දුන් උඩපන්දුවක් මිඞ් ඕෆ්හි පන්දු රකිමින් සිටි විජේ ශංකර් අතින්ද ගිළිහී ගියේය.

මැතිව්ස්ගේ දැවී යෑමෙන් අනතුරුව සධීර සමරවික්‍රම (33) සමග එක්ව පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 61 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද චන්දිමාල් සමත් විය. මුලු ලකුණු සංඛ්‍යාව 317 ක් වන විට සධීර පිටියෙන් ඉවත් කළ ඉෂාන්ත් ශර්මා එම සම්බන්ධතාවට තිත තැබූ අතර රිධිමන් සහා අතට උඩ පන්දුවක් දෙමින් දැවී යන විට සධීරගේ ඉනිම හතරේ පහර 7 කින් සමන්විත වී තිබිණ.

එතැන් සිට ශ්‍රී ලංකා ලකුණු පුවරුවට තවත් ලකුණු 5 ක් එක් වෙද්දී රොෂේන් සිල්වා සහ නිරෝෂන් දික්වැල්ල ලකුණු ලබාගැනීමටත් පෙරාතුවම ආපසු ක්‍රීඩාගාරය වෙත හරවා යැවූ රවිචන්ද්‍රන් අෂ්වින් ශ්‍රී ලංකා කණ්ඩායම මහත් අසීරු තත්ත්වයට ඇද දැමුවේය.

 

 

ශ්‍රී ලංකා - ඉන්දීය තෙවැනි ටෙස්ට් තරගයේ විශේෂ අවස්ථා...

- 036


අදහස් (0)

චන්දිමාල්-මැතිව්ස්ගෙන් ශ්‍රී ලංකා ඉනිමට මුක්කුවක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.