Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
දකුණු අප්‍රිකානු පිලට එරෙහිව ටෙස්ට් තරගාවලිය ජය ලැබීමට ප්‍රධාන හේතුව ක්‍රීඩකයන්ට නිදහස ලැබී පීඩනයෙන් මිදීම බව ශ්‍රී ලංකා ටෙස්ට් පිලේ නායක දිමුත් කරුණාරත්න අද (25) පැවසීය.
ටෙස්ට් තරගාවලිය අවසන් වීමෙන් පසුව එක්දින තරගාවලියට සහභාගි නොවන දිමුත් කරුණාරත්න ඇතුළු ක්‍රීඩකයන් හත්දෙනකු ඊයේ පෙරවරුවේ නැවත පැමිණීමෙන් පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී විශේෂ මාධ්‍ය හමුවක් පැවැත්විණි.
එහිදී දිමුත් වැඩි දුරටත් මෙසේ ද පැවසීය.
“එකමුතුකම නැතුව නොවෙයි. එකතුමුකම තිබුණා. ඕස්ට්‍රේලියානු තරගාවලිය ගත්තොත් අපි එකම විදියට තමයි ගියේ. මෙහිදී අපි කළේ ක්‍රීඩකයන්ට නිදහස දුන්නා. විනෝද වෙන්න දුන්නා. මාස තුනක තරගාවලියකට ගියාම අපි විසිපස්දෙනා විතරයි ඉන්නේ. පුහුණුවීම් කරනවා. කාමරයට එනවා. එහෙම ඉන්න එක ක්‍රීඩකයන්ට මානසික පීඩනයක්. මම හිතුවා ඔවුන්ට නිදහස දෙන්න. ඒත තමයි මේ වෙනස”
“පසුගිය කාලේ කණ්ඩායම ඇතුළේ නීති රීති පද්ධතියක් දාන්න වුණා. මම හිතනවා කණ්ඩායමට ගොඩක් නීති රීති අවශ්‍ය නෑ කියලා. නමුත් සමහර නීති තිබිය යුතුයි. අපි වෙන වෙන ප්‍රශ්න නිසා ඕනවාට වඩා නීති දාගත්තා කියලා මම හිතනවා. මම ඒ නිදහස අරන් දුන්නා”
කණ්ඩායමේ එකමුතු බව ඇති කළ ආකාරය දිමුත් මෙසේ පැහැදිළි කළේය.
“මම නායකත්වය බාරගත්තට පසුව මුලින්ම උප නායක නිරෝෂන් දික්වැල්ල සමඟ කථා කරලා කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව තීරණය කළා. ඊට පෙර තරගාවලිවලදී ඇතිවූ තත්ත්වයන් ද අපි සැළකිල්ලට ගත්තා”
“ඉන් පසුව කණ්ඩායමේ සෙසු සියලුම දෙනා සමඟ කතා කරලා අපිට පහසුවෙන් කළ හැකි ආකාරයක් තීරණය කළා. මට ඕන වෙලා තිබුණේ තරග ජයග්‍රහණය කරනවාට වඩා කණ්ඩායමේ එකමුතුව ඇති කරන්නයි”
“පොඩි පොඩි වෙනස්කම් කළා. කන්න බොන්න එකට ගියා. ඔක්කොම එකට හිටියා. ඒත් සමඟම විශ්වාසය වැඩි වුණා. කණ්ඩායමක් ක්‍රීඩා කරන විට සියලු දෙනාම එක දිශාවකට යන්න ඕනේ. දෙන්නෙක් තුන්දෙනෙක් වෙන පැත්තකට ගියාම වැඬේ හරියට කරන්න බෑ”
විවාදයට ලක්වූ ක්‍රීඩක සාදයේ විඩියෝව පිළිබඳව දිමුත් මෙසේ අදහස් දැක්වීය.
“එක එක්කෙනාට එක එක ප්‍රශ්න තියෙන්න පුළුවන්. කුසල්ගේ ප්‍රකාශය මොනවා සම්බන්ධයෙන් ද කරන්නෙ කියලා කවුරුත් දැනගෙන හිටියේ නෑ. ඔහුගෙන් තමයි අහන්න ඕනේ ක්‍රිකට් ආයතනයට කියන්න හදන්නේ මොකක්ද කියලා. එහිදී අපි කථා කරන්න හදන්නේ වෙන දෙයක් නමුත් ආවේ වෙන දෙයක්. මම ඔහුගේ පෞද්ගලික ප්‍රශ්න ගැන දන්නේ නෑ”
“ඒක ඇත්තටම ගොඩක් හොඳ දෙයක් නොවෙයි. ඩේරසින් රූම් එක පෞද්ගලික තැනක්. අපි හොඳට හෝ නරකට ක්‍රීඩා කරන විට එතන තමයි තියෙන්නේ. කණ්ඩායමේ ඇතුළේ තියෙන්න ඕන දෙයක් එළියට ගිය එක ගැන මම ඇත්තටම කණගාටු වෙනවා”
“අපි තරගාවලි තුනක පරාජයකින් පසුව තමයි තරගාවලියක් ජය ලැබුවේ. මම නායකයා ලෙස කටයුතු කළ පළමු තරගාවලිය වීම නිසා මට විශේෂයක් තියෙනවා”
“මෙම ජයග්‍රහණයට ප්‍රධාන හේතුවක් වුණා නවක ක්‍රීඩකයන් හැකියාවන් පෙන්වීම. ලසිත් ඇඹුල්දෙණිය, ඕෂධ ප්‍රනාන්දු, විශ්ව, කසුන් දස්කම් දැක්වුවා. මේක සමස්ත කණ්ඩායම ලැබූ ජයග්‍රහණයක්”
“ක්‍රීඩකයන් කණ්ඩායම් හැගීමෙන් ක්‍රීඩා කිරීම තමයි මෙහිදී වෙනස වුණේ. ඒක තමයි ජයග්‍රහණයට ලොකුම හේතුව වුණේ”
“කුසල් ජනිත්ගේ ඉනිම පළමු තරගය ජය ගන්න වඩාත් බලපෑවා. ඇඹුල්දෙණියගේ පන්දු යැවීමත් එහිදී මතක් කළ යුතුයි. දෙවැනි තරගයේදී සුරංග, විශ්ව, කසුන් යන වේගපන්දු යවන්නන්ගේ පන්දු යැවීම තුළ අපි තරගයේ රැදී සිටියා”
“ඉදිරි තරගාවලිවලත් කණ්ඩායම එකතුව තියාගෙන ක්‍රීඩා කරන්න බලාපොරොත්තු වෙනවා”
මෙම මාධ්‍ය හමුවට සහභාගි වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා පැවසුවේ තේරීම් කමිටුවේ කටයුතුවලට විධායක කමිටුව අත නොතබන බවයි.
ශම්මි සිල්වා මහතා වැඩි දුරටත් මෙසේ ද පැවසීය.
“අසන්ත ද මෙල් මහතා සහ මා හමුවුණා. ඒ මහතා සහ ඔහුගේ කමිටුවේ දැක්ම පිළිබඳව අපි ගොඩක් පැහැදීමෙන් ඉන්නවා. අපේ දේශිය තරගාවලිය මදී කියලා කියනවා. නමුත් දක්‍ෂයන්ට සහ තරුණයන්ට තැන දෙනවා නම් බාගෙට ෆිට් ක්‍රීඩකයො නැතුව ෆුල් ෆිට් ක්‍රීඩකයෝ ගස්සනවා නම් අපේ කණ්ඩායම ඉන්දීය කණ්ඩායම අභිබවායන්න පුළුවන් කණ්ඩායමක්”
“අපේ තේරීම්වල තමයි ප්‍රශ්නෙ. වසර දෙක තුනක සිට තිබුණා. අපිට දස්කම් තියෙනවා. දස්කම් දක්වන ක්‍රීඩකයන්ට අවස්ථාව ලබාදීම ගැන තේරීම් කමිටුවට මම ස්තූතිය පිරිනමනවා”
“මෙම ජයග්‍රහණයෙන් ඔලුව උදුම්මා ගන්න නරකයි. ක්‍රිඩකයෝ හැටියට මීට වඩා විනය හදාගත්තොත් මීට වඩා ලොකු තැනකට අපිට යන්න පුළුවන්. ක්‍රීඩකයෝ සමාජ මාධ්‍ය ජාලවලින් ඔවුන්ගේ ඔළුව අයින් කළොත් අපිට ලෝකයේ හොඳ කණ්ඩාමක් වෙන්න පුළුවන්”
ලේකම් මොහාන් ද සිල්වා මහතා පැවසුවේ දේශීය තරගාවලිය තව දුරටත් තරගකාරී කිරීමට පියවර ගන්නා බවයි.
“දේශීය තරගාවලිවල තරගකාරිත්වය අඩු කියලා පසුගිය කාළේ දිගින් දිගටම අදහස් පළ වුණා. පළාත් ක්‍රිකට් ගහන්න ඕනේ. එතින් ජාතික කණ්ඩායමට යන්න ඕනේ කියලා කිව්වා”
“ඔෂධ ප්‍රනාන්දු, ලසිත් ඇඹුල්දෙණිය වැනි ක්‍රීඩකයෝ දේශීය තරගාවලිය පිළිබඳ ඔය අදහස බොරු කරලා තියෙනවා. මානසිකත්වයක් සහ කැපවීම තියෙනවා නම් අපේ අන්තර් සමාජ මට්ටම හොඳයි. අපි ලෝක කුසලාන දෙකක් ජය ලැබුවේ මේ දේශීය තරගාවලියෙන් ආපු ක්‍රීඩකයන්ගෙන් නොවෙයිද?
“අපි උත්සහ කරනවා දේශීය තරගාවලියේ තරගකාරිත්වය වැඩි කරන්න. අපිටත් ඒක දැනිලා තියෙනවා. නමුත් ක්‍රීඩකයන් බිහිවීමට ඒක හේතුවක් නොවයි”
“අපි සැළසුම් කරගෙන හිටියා ලංකා ප්‍රීමියර් ලීග් කියලා තරගාවලියක් පවත්වන්න. ජාතයන්තර ක්‍රීඩකයෝ 45 ක් සමඟ. අවාසනාවකට අපිට යන්න වුණා මැයි මාසේ. ඒ තරගාවලිය නැවතුණා” යැයි මොහාන් මහතා වැඩි දුරටත් පැවසීය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.