Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner ජැක් කලිස් - ඕවිස් ෂා රෝයල්ස් පිල දිනවති

ජැක් කලිස් - ඕවිස් ෂා රෝයල්ස් පිල දිනවති

සංජය එරමුදුගොඩ - 2018 පෙබ මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ස්විට්සර්ලන්තයේ ශාන්ත මොරිට්ස්හිදී පළමු වරට පැවැත්වෙන ‘අයිස් ක්‍රිකට් චැලේන්ච්’ විස්සයි20 තරගාවලියේ දෙවැනි තරගයේදී විරේන්ද්‍ර ෂෙවාග් නායකත්වය දැරූ ඩයමන්ඞ්ස් කණ්ඩායමට එරෙහිව කඩුලු 8 ක ජයක් අත්කර ගැනීමට සහිඞ් අෆ්රිඞ් නායකත්වය දැරූ රෝයල්ස් කණ්ඩායම සමත් විය. ඒ අනුව තරග 2 කින් සමන්විත වූ තරගාවලිය 2-0 ක් ලෙස ජයගැනීමටද රෝයල්ස් කණ්ඩායමට හැකි විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 206 ක දැවැන්ත ඉලක්කයක් හඹාගිය රෝයල්ස් ක්‍රීඩකයෝ පන්දු 20 ක් ඉතිරිව තිබියදී කඩුලු 2 ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියහ. තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 94 ක සම්බන්ධතාවක් ගොඩනැගූ ජැක් කලිස් (නොදැවී 90) සහ ඕවිෂ් ෂා (නොදැවී 43) රෝයල්ස් කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියේය.

ප්‍රවේගකාරී පිතිහරඹයක නිරත වූ කලිස් පන්දු 37 කදී ලකුණු 90 ක් රැස්කළ අතර පන්දු 24 කදී අර්ධ ශතකය සම්පූර්ණ කළේය. රෝයල්ස් කණ්ඩායම දිනවීම සඳහා කලිස්ට අනගි සහයක් දුන් ෂා පන්දු 21 කදී නොදැවී ලකුණු 43 ක් රැස්කළේය. පන්දු 36 කදී ලකුණු 58 ක් රැස්කළ ග්‍රැහැම් ස්මිත්, රෝයල්ස් කණ්ඩායමේ ජයග්‍රහණය සඳහා මනා අඩිතාලමක් දැමීය.  

එහිදී ඩයමන්ඞ්ස් කණ්ඩායමේ පන්දු යවන්නන් දැඩි ලෙස පහර කෑමකට ලක්වූ අතර රමේෂ් පවර්ගේ ඕවර 4 දී ලකුණු 55 ක්ද, අජිත් අගාකාර්ගේ ඕවර 3 දී ලකුණු 41 ක්ද, ලසිත් මාලිංගගේ ඕවර 3 දී ලකුණු 40 ක්ද, රැස්කිරීමට රෝයල්ස් කණ්ඩායමේ පිතිකරුවෝ සමත් වූහ.

පළමුවෙන් පන්දුවට පහරදුන් ඩයමන්ඞ්ස් කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 5 ක් දැවී ලකුණු 205 ක් රැස්කළ අතර 5 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 114 ක සම්බන්ධතාවක් ගොඩනැගූ ඇන්ඩෘ සයිමන්ස් (නොදැවී 67) සහ මොහොමඞ් කයිෆ් (57) ඩයමන්ඞ්ස් කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව 200 සීමාවෙන් ඔබ්බට රැගෙන ගියහ.

එහිදී පන්දු 30 කට මුහුණදුන් කයිෆ්, හයේ පහර 5 කින් සහ හතරේ පහර 3 කින් සිය අර්ධ ශතකය අලංකාර කළ අතර ඇන්ඩෘ සයිමන්ස් නොදැවී ලකුණු 67 ක් රැස්කළේ පන්දු 42 කට මුහුණ දෙමිනි. නායක විරේන්ද්‍ර ෂෙවාග් පන්දු 22 කදී වේගවත් ලකුණු 46 ක් රැස්කරමින් ඩයමන්ඞ්ස් කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදුන්නේය.

ඩයමන්ඩ්ස් කණ්ඩායම නියෝජනය කළ තිලකරත්න ඩිල්ෂාන්ට (05) සහ මහේල ජයවර්ධනට (00) පන්දුවට පහරදීමේදී වැඩි යමක් කිරීමට නොහැකි වූහ. අබ්දුල් රසාක්ගේ පන්දුවක් හමුවේ කඩුලු රකින ක්‍රීඩක මැට් ප්‍රයර් අතට උඩ පන්දුවක් දෙමින් ඩිල්ෂාන් දැවී ගිය අතර මහේලද මුහුණදුන් පළමු පන්දුවේදීම දැවී ගියේ ඩිල්ෂාන් දැවී ගිය අයුරින්මය.

සිය ඕවර 4 තුළදී ලකුණු 48 කට කඩුලු 3 ක් දවාගත් අබ්දුල් රසාක්,  රෝයල්ස් කණ්ඩායමේ සාර්ථකම පන්දු යවන්නා බවට පත්විය.  


- 036

ඡායාරූපය - ‍ෆොක්ස්පෝර්ට් අනුග්‍රහයෙනි

 


අදහස් (0)

ජැක් කලිස් - ඕවිස් ෂා රෝයල්ස් පිල දිනවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.