Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner ඩිල්ෂාන්ගේ පැමිණීමෙන් විකල්ප අවස්ථා වැඩිවේ

ඩිල්ෂාන්ගේ පැමිණීමෙන් විකල්ප අවස්ථා වැඩිවේ

සංජය එරමුදුගොඩ - 2014 මාර් මස 21 {{hitsCtrl.values.hits}} Views 9 Comment
A A A

 

විස්සයි:20 කි‍්‍රකට් කී‍්‍රඩාවේ අන්තර්ජාතික ශ්‍රේණිගත කිරීම් අනුව ලෝකයේ අංක 1 හිමි කණ්ඩායම වශයෙන් විස්සයි:20 ලෝක කුසලාන තරග බිමට පිවිසෙන ශී‍්‍ර ලංකා කණ්ඩායම වෙනුවෙන් ආරම්භක පිතිකරුවාගේ භූමිකාව බාරගැනීමට තිලකරත්න ඩිල්ෂාන් සූදානමින් සිටී. ශී‍්‍ර ලංකාව සහ දකුණු අපි‍්‍රකාව අතර ලෝක කුසලාන තරගය හෙට (22 වැනිදා) ශී‍්‍ර ලංකාවේ වේලාවෙන් පස්වරු 3.00 ට ආරම්භ වීමට නියමිතය.
 
එක්දින තරගයකදී පන්දුවට පහර දෙමින් සිටි අවස්ථාවක මහපට ඇගිල්ලේ පන්දුවක් වැදීම නිසා තුවාල ලබා සිටි ඩිල්ෂාන් ආසියානු කුසලාන තරගාවලියට සහභාගි නොවූ නමුත් ලෝක කුසලාන තරගාවලියේ පෙරහුරු තරග දෙකේදීම ආරම්භක පිතිකරුවා ලෙසින් කී‍්‍රඩා කරමින් නැවතත් ආරම්භක පිතිකරුවාගේ වගකීම බාර ගැනීමට සූදානම් බව පෙන්වා සිටියේය.

”කණ්ඩායමේ කී‍්‍රඩකයන් සියලූ දෙනාම වාගේ හොඳින් සිටිනවා. ඩිල්ෂාන්ගේ ඇ`ගිල්ලේ තවමත් පොඩි වේදනාවක් තිබුණත් ඔහු හෙට තරගයට සූදානම්” යයි ශී‍්‍ර ලංකා නායක දිනේෂ් චන්දිමාල් අද (21 වැනිදා) චිතගොන්හිදී පුහුණුවීම් කිරීමෙන් අනතුරව පැවැසීය.

ඩිල්ෂාන් ආරම්භක පිතිකරුවා ලෙසින් එක්වීම නිසා මෙම තරගයේදී පිතිකරු ලයිස්තුවේ අනු පිළිවෙල සම්බන්ධයෙන් වෙනස් කම් කිහිපයක් කිරීමටද ශී‍්‍ර ලංකා කණ්ඩායම සිතමින් පසුවෙයි.

මෙම ලෝක කුසලාන තරගාවලියේ කණ්ඩායම් දෙස බැලීමේදී ඉතාමත්ම ප‍්‍රබල ආරම්ක පිතිකරු යුගළයක් ශී‍්‍ර ලංකා කණ්ඩායමට සතුවන අතර එය ප‍්‍රවේගකාරී වමත් - දකුණත් සංයෝගයකි.

එම සංයෝගයට ඇතුළත් කුසල් ජනිත් පෙරේරා හෝ තිලකරත්න ඩිල්ෂාන් දෙදෙනාගෙන් පළමුව දැවීයන පිතිකරුවා සහ ඒ වන විට ලකුණු පුවරුවේ ඇති ලකුණු සංඛ්‍යාවත් සැලකිල්ලට ගනිමින් අංක 3 පිතිකරුවා කවුරුන්ද යන්න තීරණය කිරීමේ අපූරු අවස්ථාවක්ද ශී‍්‍ර ලංකා පිල සතුය. එයට හේතුව අංක 3 සහ 4 ස්ථානයන්හි කී‍්‍රඩා කිරීමට නියමිත කුමාර් සංගක්කාර මෙන්ම මහේල ජයවර්ධනද  ඕනෑම අවස්ථවකට මුහුණ දෙමින් තත්ත්වය පාලනය කරගැනීමේ ඉහළම අත්දැකීම් ප‍්‍රමාණයක් ලබා ඇති, මේ වන විට ලෝකයේ සිටින විශිෂ්ටතම පිතිකරුවන් දෙදෙනා වීමයි.

ශී‍්‍ර ලංකා කණ්ඩායමේ වාසියට හරවාගත හැකි මෙම සුවිශේෂී තත්ත්වය නිසා අංක 5 පිතිකරුවා සමගින් අවදානම් සෙල්ලමක් කරමින් වාසනාව උරගා බැලීමේ ඉඩක්ද නිර්මාණය වී තිබේ. එනම් දග පන්දු යැවීමේ හැකියාව ඇති සීකුගේ ප‍්‍රසන්න හෝ තුන් ඉරියව් කී‍්‍රඩක තිසර පෙරේරා යන දෙදෙනාගෙන් අයෙක් අංක 5 ස්ථානයට යොදවමින් අත්දැකීම් බහුල මෙන්ම පීඩනය හසුරුවාගැනීමේ නිපුණතාවෙන්ද යුත් ඇන්ජලෝ මැතිව්ස් අංක 6 සඳහා රඳවා ගැනීමයි.

(මේ සම්බන්ධයෙන් ඔබගේ අදහස් කෙළිමඬල වෙබ් අඩවියේ ‘මගේ මතය’ තීරුවට එක් කළ හැකිය)

”පෙරහුරු තරග දෙකේදී අපි වෙනස් ආකාරයේ පිතිකරු අනුපිළිවෙලක් ගැනත් අත්හදා බැලීමක් කළා. පුහුණු තරගයේදී සීකුගේ ප‍්‍රසන්න අංක 5 පිතිකරුවා වශයෙන් එවීමත් එයින් එකක්”

”අපේ පිතිකරු අනුපිළිවෙල ගැන අප තවමත් අවසන් තීරණයක් ගෙන නෑ. ඒ කොහොම වුණත් අපි අපේ හිත සම්පූර්ණයෙන්ම මේ තරගය වෙනුවෙන් යොමුකරලා ඉවරයි” යයිද චන්දිමාල් චිතගොන්හිදී පැවසීය.

මැතිව්ස් අංක 6 ස්ථානයට එන්නේ නම් එන එන පන්දුවට හැරුණු හැරුණු අතේ පහර දෙමින් පන්දු යවන්නන්ගේ ගණන් බැස්සවීමේ අවස්ථාව අංක 5 පිතිකරුවාට ලැබෙන අතර විස්සයි:20 තරග වලදී එය විශාල වාසි ගෙන දෙන්නකි.

ටෙස්ට් තරගාවලියක් සඳහා ශී‍්‍ර ලංකා කණ්ඩායම බංග්ලාදේශයට පැමිණි ජනවාරි අවසන් සතියේ සිට මේ දක්වා මාස දෙක හමාරකට වැඩි කාලයක් දිගින් දිගටම තරග සඳහා යොදා ගැනීම හේතුවෙන් බංග්ලාදේශයේ තණතීරු එන්න එන්නම මන්දගාමී වෙමින් පවතී. එවන් තණතීරුවකදී ශී‍්‍ර ලංකාවේ දග පන්දු යවන්නන්ට මුහුණ දෙන ආකාරය මෙම තරගයේ තීරණය සම්බන්ධයෙන් විශාල බලපෑමක් කරන බව දකුණු අපි‍්‍රකානු නායක ෆෆ් ඩු ප්ලෙසි කියයි.

”ශී‍්‍ර ලංකා කණ්ඩායම සතුව ඉතාමත් විශිෂ්ට ගනයේ දග පන්දු යවන්නන් සිටිනවා. ඒත් මේ තණතීරුවේ දැන් තිබෙන ස්වභාවය අනුව එයින් තියුණු දග කැවීමක් අපේක්‍ෂා කළ නොහැකියි”

”මාලිංග කියන්නේත් ඉතාමත් විශිෂ්ට ගණයේ විස්සයි:20 කී‍්‍රඩකයෙක්. ඇරත් ශී‍්‍ර ලංකා කණ්ඩායමේ තරග දිනවන්නන් කිහිප දෙනකුම ඉන්නා නිසා වඩාත් වැදගත් වන්නේ එදා තරගයේදී අපට කළහැකි හොඳම දේ කිරීමයි” යයිද ඩු ප්ලෙසි පැවසීය.

තණතීරුවේ තණකොළ පවතින නමුත් එයින් වේග පන්දු යවන්නන්ට වැඩි වාසියක් අපේක්‍ෂා කළ නොහැකි බැවින් ශී‍්‍ර ලංකා කණ්ඩායම වෙනුවෙන් දග පන්දු යවන්නන් දෙදෙනකු කී‍්‍රඩා කිරීමේ වැඩි අවස්ථාවක් තිබේ. සචිත‍්‍ර සේනානායක, රංගන හේරත් සහ අජන්ත මෙන්ඩිස් තිදෙනාගෙන් දෙදෙනකුට හෙට තරගයේදී අවස්ථාව ලැබෙනු ඇතැයිද කණ්ඩායම් ආරංචි මාර්ග කියයි. කෙසේ වෙතත් තිලකරත්න ඩිල්ෂාන්ද  ඕනෑම අවස්ථාවකදී පන්දු  ඕවර 4 ම යැවීමට සමත් පිට දග පන්දු යවන්නකු බව අමතක කළ නොහැකිය.


ශී‍්‍ර ලංකා සංචිතය
දිනේෂ් චන්දිමාල් (නායක), තිලකරත්න ඩිල්ෂාන්, කුසල් ජනිත් පෙරේරා, මහේල ජයවර්ධන, කුමාර් සංගක්කාර, ඇන්ජලෝ මැතිව්ස්, ළහිරු තිරිමාන්න, සීකුගේ ප‍්‍රසන්න, සචිත‍්‍ර සේනානායක, නුවන් කුලසේකර, අජන්ත මෙන්ඩිස්, ලසිත් මාලිංග, රංගන හේරත්, තිසර පෙරේරා සහ සුරංග ලක්මාල්

 

දකුණු අපි‍්‍රකානු සංචිතය:
ෆෆ් ඩු ප්ලෙසි (නායක), හසිම් අම්ලා, ෆර්හාන් බෙහාර්ඞීන්, ක්වින්ටින් ඩි කොක්, ඒ. බී. ඩිවිලියර්ස්, ජේ. බී. ඩුමිනි, බෝරන් හෙන්රිකස්, ඉම්රාන් තහීර්, ඬේවිඞ් මිලර්, ඇල්බි මෝකල්, මෝර්නේ මෝකල්, වේන් පානෙල්, ඒරන් පැන්ගිසෝ, ඬේල් ස්ටෙයින් සහ ලොන්වාබෝ සොත්සොබි

 


අදහස් (9)

ඩිල්ෂාන්ගේ පැමිණීමෙන් විකල්ප අවස්ථා වැඩිවේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.