Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ෆෆ් ඩුප්ලෙසිගේ (නොදැවී 112) සහ ක්වින්ටින් ඩි’කොක්ගේ (81) විශිෂ්ට පිතිහරඹය හමුවේ සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව ජොහැන්නස්බර්ග්හිදී අද (3 වැනිදා) පැවැති පළමු එක්දින තරගය කඩුලු 8 කින් ජයගැනීමට දකුණු අප්‍රිකාව සමත් විය. ඒ අනුව තරග 5 කින් සමන්විත එක්දින තරගාවලිය 1-0 ක් ලෙස පෙරමුණ ගැනීමටද දකුණු අප්‍රිකාව සමත් විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 232 ක ඉලක්කයක් හඹාගිය දකුණු අප්‍රිකානු ක්‍රීඩකයෝ ඕවර 38.5 ක් අවසානයේ කඩුලු 2 ක් පමණක් දැවී පහසුවෙන්ම එම ඉලක්කය සපුරාගත්හ. එහිදී නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ ෆෆ් ඩුප්ලෙසි, පන්දු 104 කදී සිය 11 වැනි එක්දින ශතකය ලබාගනිමින් දකුණු අප්‍රිකාව ජයග්‍රහණය කරා රැගෙන ගියේය.
පන්දු 114 කට මුහුණදුන් ඩුප්ලෙසි හයේ පහරකින් සහ හතරේ පහර 15 කින් සිය ශතකය අලංකාර කළේය. රාසි වැන්ඩර්ඩාසන් පන්දු 43 කදී හතරේ පහර 2 ක් සමගින් නොදැවී ලකුණු 32 ක් රැස්කළ අතර ෆෆ් ඩුප්ලෙසි සමග එක්ව තෙවැනි කඩුල්ල සඳහා පන්දු 93 කදී ලකුණු 82 ක නොබිඳුණු සම්බන්ධතාවයක්ද ගොඩනැගීය.
තිසර පෙරේරා විසින් යවන ලද තරගයේ අටවැනි ඕවරයේදී හතරේ පහර 3 ක් ගැසූ ෆෆ් ඩුප්ලෙසි අවසන් පන්දුවේදී ලබාදුන් පහසු උඩපන්දුව ෂෝට් තර්ඞ් මෑන් කළාපයේ පන්දු රකිමින් සිටි ලක්ෂාන් සඳකැන් අතින් ගිලිහී යනවිට ඔහු ලකුණු 32 ක් ලබා සිටියේය.
අකිල ධනංජයගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව ක්වින්ටින් ඩි’කොක් ලකුණු 81 කට දැවී ගියේය. ධනංජය ඇතුළු පන්දු රකින්නන් කළ ඉල්ලීමට ප්‍රතිචාර දැක්වූ ප්‍රධාන විනිසුරු ඩි’කොක් දැවී ගිය බවට තීරණය කළ නමුත් එම තීරණය සමගින් එකඟ නොවූ ඩි’කොක් විනිසුරු තීරණය විමසීමේ ක්‍රමවේදය ඉල්ලා සිටියේය. පුනරූපණ නැරඹු තෙවැනි විනිසුරුද ප්‍රධාන විනිසුරුගේ තීරණය සමගින් එකඟ වීම නිසා විනිසුරු තීරණය විමසීමේ ක්‍රමවේදය ඉල්ලා සිටීමේ අවස්ථාව දකුණු අප්‍රිකාවට අහිමිවී ගියේය.
පන්දු 55 කදී සිය 19 වැනි අර්ධ ශතකය සම්පූර්ණ කළ ඩි’කොක් දැවීයන විට පන්දු 72 කට මුහුණදී සිටි අතර හතරේ පහර 11 කින් ඔහුගේ ඉනිම අලංකාර විය. ඩුප්ලෙසි සහ ඩි’කොක් එක්ව දෙවැනි කඩුල්ල සඳහා පන්දු 128 කදී ලකුණු 136 ක සම්බන්ධාවයක් ගොඩනගමින් දකුණු අප්‍රිකාවේ ජයග්‍රහණය සඳහා අඩිතාලම දැමූහ.
දෙවැනි ඕවරයේ අවසන් පන්දුවේදී ආරම්භක පිතිකරු රීසා හෙන්රික්ස් ලකුණකට දවාගනිමින් ශ්‍රී ලංකාව වෙනුවෙන් සාර්ථක ආරම්භයක් ලබාගැනීමට විශ්ව ප්‍රනාන්දු සමත් විය.
පසුපෙළ පිතිකරුවන්ගේ දුර්වල පිතිහරඹය හේතුවෙන් ඕවර 47 ක් අවසානයේ සියලු දෙනා දැවී ශ්‍රී ලංකාවට රැස්කිරීමට හැකි වූයේ ලකුණු 231 ක් පමණි. ලකුණු 210 කට කඩුලු 5 ක් ලෙස පැවැති ලකුණු පුවරුව නොසීතු අයුරින් මිනිත්තු කිහිපයක් තුල ලකුණු 213 කට කඩුලු 8 ක් ලෙස වෙනස් විය. ලකුණු 3 ක් තුළ කඩුලු 3 ක් දැවීයාම හේතුවෙන් ශ්‍රී ලංකා ඉනිම යළි ගොඩනැගීමට නොහැකි අකාරයට කඩා වැටුණි. දුවද්දී දැවීයාමකට හසුවූ අකිල ධනංජයට එක් පන්දුවකට හෝ මුහුණදීමට නොහැකිවූ අතර තිසර පෙරේරාට රැස්කිරීමට හැකි වූයේ ලකුණු 7 ක් පමණි.
ලකුණු රැස්කිරීමේ වේගය වැඩි කිරීමට ගත් උත්සාහයකදී රාසි වැන්ඩර්ඩාසන් අතට උඩපන්දුවක් දෙමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියාවූ කුසල් මෙන්ඩිස් ලකුණු 60 කට දැවී ගියේය. ඉම්රාන් තහීර්ගේ තෙවැනි කඩුල්ල ලෙස මෙන්ඩිස් දැවීයන විට පන්දු 73 කට මුහුණදී සිටි අතර හයේ පහරක් සහ හතරේ පහර 5 ක් ඔහුගේ ඉනිමට ඇතුළත් විය. පන්දු 55 කදී ලබාගත් මෙන්ඩිස්ගේ 13 වැනි එක්දින අර්ධ ශතකය ඔහු ඉනිම 29 ක් තුළ ලබාගත් දෙවැනි අර්ධ ශතකය ලෙස සටහන් විය.
කුසල් මෙන්ඩිස් ලකුණක් ලබා සිටියදී ඉම්රාන් තහීර්ගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කළේ යැයි කළ ඉල්ලීම පිළිගත් ප්‍රධාන විනිසුරුවරයා ඔහු දැවීගිය බවට තීරණය කළේය. නමුත් එම තීරණය සමගින් එකඟ නොවූ මෙන්ඩිස් විනිසුරු තීරණය විමසීමේ ක්‍රමවේදය ඉල්ලා සිටි අතර පුනරූපණ නැරඹීමේදී පන්දුව කඩුල්ලේ නොවැදී යන ආකාරයක් දිස්වීම හේතුවෙන් තෙවැනි විනිසුරු ඔහු දැවී නොගිය බවට තීරණය කළේය.
කුසල් මෙන්ඩිස් සමගින් එක්ව පස්වැනි කඩුල්ල සඳහා පන්දු 106 කදී ලකුණු 94 ක සම්බන්ධතාවයක් පවත්වමින් ශ්‍රී ලංකා ඉනිම ගොඩනැගූ ධනංජය ද සිල්වා ස්ටම්ප් කිරීමකට හසුව ලකුණු 39 කට දැවී ගියේය. ඉම්රාන් තහීර්ගේ දෙවැනි කඩුල්ල ලෙස ධනංජය ද සිල්වා දැවීයන විට පන්දු 52 කට මුහුණදෙමින් හතරේ පහර 3 ක් එල්ල කිරීමට සමත් විය.
පිතිකරුවන් අතර පැවැති දුර්වල සංනිවේදනය හේතුවෙන් ඉතා හොඳින් පන්දුවට පහරදෙමින් සිටි ඕෂධ ප්‍රනාන්දුට අවාසනාවන්ත දුවද්දී දැවීයාමකට හසුව පිටියෙන් ඉවත්වීමට සිදුවි ය. සිය මංගල එක්දින තරගයේදීම අර්ධ ශතකයක් ලබාගත හැකිව තිබුණද ඊට එක් ලකුණක් පමණක් මෙපිටින් සිටි ඕෂධ දැවී යන විට පන්දු 49 කට මුහුණදී සිටි අතර හයේ පහර 2 ක් සහ හතරේ පහර 5 ක් සිය ඉනිමට එක්කරගෙන සිටියේය.
ලකුණු 23 කට කඩුලු 2 ක් දැවී තිබියදී ඕෂධ ප්‍රනාන්දු සමගින් එක්ව තෙවැනි කඩුල්ල සඳහා පන්දු 78 කදී ලකුණු 76 ක සම්බන්ධතාවයක් ගොඩනැගූ කුසල් පෙරේරා ලකුණු 33 කට දැවී ගියේය. ඉම්රාන් තහීර්ගේ පන්දුවක් හමුවේ ඩි’කොක් අතට උඩ පන්දුවක් දෙමින් දැවීයන විට පන්දු 36 කට මුහුණදී සිටි කුසල් පෙරේරාගේ ඉනිමට හතරේ පහර 4 ක් ඇතුළත් විය.
ලුන්ගි න්ගිඩි යැවූ තරගයේ 10 වැනි ඕවරයේ පළමු පන්දුවේදී ඕෂධ ප්‍රනාන්දු පහරක් ගැසීමට ගියද පිත්තේ නොවැදුණු පන්දුව කඩුලු රකින්නා වෙත ඇදී ගියේය. නමුත් පසුව පුණරූපන නැරඹීමේදී පන්දුව පිත්තේ දාරයේ වැදී කඩුලු රකින්නා වෙත ගොස් තිබූ නමුත් කිසිවකු එය දැවීයාමක් ලෙස ඉල්ලීමක් නොකිරීම හේතුවෙන් ඕෂධ ප්‍රනාන්දුට කඩුල්ලේ රැඳී සිටීමේ වාසනාව හිමිවූ අතර ඒ වනවිට ඔහු ලකුණු 20 ක් රැස්කර සිටියේය.
පිට ඉන්නෙන් ඉවතට ඇදීගිය පන්දුවකට වැරෙන් පහරක් ගැසීමට උපුල් තරංග උත්සහ කළද පිත්තේ ඇතුල් දාරයේ වැදුණු පන්දුව බලාපොරොත්තු නොවූ ආකාරයෙන් කඩුල්ල වෙත ඒම නිසා ලුන්ගි න්ගිඩිට දෙවැනි කඩුල්ලත් හිමිවිය.
ආරම්භක පිතිකරු නිරෝෂන් දික්වැල්ල, කගීසෝ රබාඩා යැවූ පළමු ඕවරයේ පළමු පන්දු දෙකෙහිදී හතරේ පහර 2 ක් ගසමින් වේගවත් ආරම්භයක් ලබාගත්තද දෙවැනි ඕවරයේ ඔහු මුහුණදුන් පළමු පන්දුවේදීම පන්දු යැවූ ලුන්ගි න්ගිඩි අතට පහසු උඩපන්දුවක් දෙමින් දැවී ගියේය.
කාසියේ වාසිය දිනාගත් දකුණු අප්‍රිකානු නායක ෆෆ් ඩු ප්ලේසීස් පළමුව පන්දුවට පහරදීම සඳහා ශ්‍රී ලංකාවට ආරාධනා කළ අතර ඕෂධ ප්‍රනාන්දු ශ්‍රී ලංකාව වෙනුවෙන්ද, ඇන්රිච් නෝජේ දකුණු අප්‍රිකාව වෙනුවෙන්ද එක්දින වරම් හිමිකර ගැනීමට සමත් වූහ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.