Last Update  :  2025-04-21 20:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner තිසරගෙන් කයිවාරුවක්

තිසරගෙන් කයිවාරුවක්

සංජය එරමුදුගොඩ - 2017 දෙසැ මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා කණ්ඩායමේ නවතම එක්දින නායකයා වන තිසර පෙරේරා සිය පළමු තරගාවලිය ආරම්භ කරන්නේ තරමක කයිවාරුවකිනි. ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන එක්දින තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ පසුගිය තරග වාර්තාව වෙනස් කිරීම කෙරෙහි තමන් උනන්දු වන බව තිසර පෙරේරා කීවේය.

තරගාවලියේ පළමු තරගය අති සුන්දර ධරම්ශාලා නගරයේදී හෙට පැවැත්වෙයි. උතුරු ඉන්දියාවේ හිමචාල් ප්‍රාන්තයේ හිමාලය කඳුවැටිය පාමුල පිහිටි මෙම මනස්කාන්ත ක්‍රීඩාංගණය හිමචාල් ප්‍රදේශයේ ක්‍රිකට් සංගමය සතුය. කාලගුණ වාර්තා අනුව හෙට දිනයේ දිවා කාලයේ සෙල්සියස් අංශක 16 ක් පමණ වන උෂ්ණත්වය රාත්‍රියේදී සෙල්සියස් අංශක 7 ක් දක්වා පහළ බැසිය හැකිය.

මේ වසර තුළදී එක්දින තරගාවලි දෙකකදීම 5-0 කින් පරාජය වී සිටින ශ්‍රී ලංකා කණ්ඩායමට මෙහෙයවීමට ඉදිරිපත් වන සිව්වැනි නායකයා තිසර පෙරේරායි. වසර මුලදී දකුණු අප්‍රිකානුවන් හමුවේ 5-0 ක් තරගාවලි පරාජයක් උරුම කරගත් ශ්‍රී ලංකා කණ්ඩායම අගෝස්තු මාසයේදී ඉන්දියානුවන් හමුවේ ශ්‍රී ලංකාවේදීම 5-0 ක තරගාවලි පරාජයක් අත්වින්දේය. ඉන් අනතුරුව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පාකිස්තානුවන් හමුවේ තවත් 5-0 ක තරගාවලි පරාජයකට මුහුණ දුන්නේය.

වසර 2017 දී සහභාගි වූ එක්දින තරග 22 කින් ශ්‍රී ලංකා කණ්ඩායම ජයගෙන ඇත්තේ බංග්ලාදේශයට එරෙහිව තරගයක්, ඉන්දියාවට එරෙහිව එංගලන්තයේදී පැවැති තරගයක් සහ සිම්බාබ්වේ පිලට එරෙහිව ශ්‍රී ලංකාවේදීම පැවැති තරග දෙකක් පමණි. සෙසු තරග 18 ම පරාජය වී සිටින ශ්‍රී ලංකා කණ්ඩායම එක දිගට එක්දින තරග 12 කින් පරාජය වී සිටී.

ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමට ඇති එකම සැනසීම වන්නේ ඉන්දීය නායක විරාට් කෝලි විවේක ගන්වා සිටීමයි. ටෙස්ට් තරගාවලියේදී ද්විත්ව ශතක දෙකක් සමගින් ලකුණු 610 ක් ලබාගත් කෝලි නොමැති ඉන්දීය පිලේ නායකත්වය අනුකම්පා විරහිත පිතිකරුවකු වන රෝහිත් ෂර්මාට පැවරී තිබේ. ටෙස්ට් තරගාවලියේ ඉනිම තුනකදී (නොදැවී 102, 65 සහ නොදැවී 50) ලකුණු 217 ක් ලබාගත් ෂර්මා ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් වතාවට ඉන්දියාවේ කළ සංචාරයේදී නොදැවී ලකුණු 264 ක් ලබාගනිමින් ලෝක වාර්තාවක් ද පිහිටුවීය.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉන්දීය පන්දු යවන්නන් හමුවේ සාර්ථක වූ පිතිකරුවන් තිදෙනා වන ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල් සහ ධනංජය සිල්වා යන තිදෙනාගෙන් දෙදෙනකුගේම සේවය මෙම තරගයට අහිමි වී තිබේ. එක්දින කණ්ඩායමට නොතේරුණු චන්දිමාල් ටෙස්ට් තරගාවලියෙන් පසුව සියරට පැමිණි අතර ධනංජය ද සිල්වා තුවාල ලැබීම හේතුවෙන් මෙම තරගයට ක්‍රීඩා නොකරන බව ශ්‍රී ලංකා කළමණාකරු අසංක ගුරුසිංහ මහතා පැවසීය.

තත්ත්වය එසේ වුවත් තිසර පෙරේරා කියන්නේ වෙනත් කතාවකි.

“අපට ඉතාමත් සමබර කණ්ඩායමක් සිටිනවා. ක්‍රීඩකයන් දෙදෙනෙක් (අසේල ගුණරත්න සහ කුසල් පෙරේරා) නැවතත් කණ්ඩායමට එකතු වෙන්නේ ආබාධ වලින් සුවය ලැබීමෙන් පසුවයි. අපට කිසියම් සුවිශේෂී යමක් කරන්න පුළුවන් කියා අප බලාපොරොත්තු වෙනවා”

“අපි (දිල්ලියේදී) මානසිකව වැටිලා හිටියේ නෑ. අපි ශක්තිමත්.....අපට හොඳ පුහුණු සැසි දෙකක් ලැබුණා. මේ මොහොත වන විට මානසික වශයෙන් වගේම ශාරීරික වශයෙනුත් අප ඉතාමත් ශක්තිමත් ස්ථානයක ඉන්නවා” යයිද තිසර පෙරේරා අද පැවැති පුවත් පත් සාකච්ඡාවේදී පැවසීය.

එක්දින තරගාවලියේදී ශ්‍රී ලංකා පිලට ඇති එක සහනයක් වන්නේ හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් පන්දු යැවීමට එකඟ වීමයි. ටෙස්ට් තරගාවලියේදී පන්දු නොයැවූ මැතිව්ස් එක්දින සහ විස්සයි-20 තරග වලදී පන්දු යැවීමට කැමැත්ත පළකර ඇත. වසරක පමණ කාලයක් පන්දු යැවීමෙන් වැළකී සිටි මැතිව්ස් ඉන්දියාවට එරෙහිව පැවැති තරගාවලියේදී නැවතත් පන්දු යැවීම ආරම්භ කළ නමුත් පාදයේ කලව පසුපස මස්පිඬුව ඉරියාම හේතුවෙන් ඔහුට පාකිස්තානු තරගාවලියත් අහිමි විය.

“අපට අධිවේගී ලකුණු රැස්කරන්නන් ඉන්නවා. නිරෝෂන් දික්වැල්ල, ධනුෂ්ක ගුණතිලක, උපුල් තරංග වගේම ඇන්ජලෝ මැතිව්ස් දිහා බලන්න. ඒ ඔක්කොම අධිවේගී ලකුණු රැස්කරන්නන්....අපට අපේ රස්සාව කරන්න ඕනේ. එතකොට අපට ඕනෑම කණ්ඩායමක් පරාජය කරන්න පුළුවන්” යයිද තිසර පෙරේරා පැවසීය.


ශ්‍රී ලංකා සංචිතය:
තිසර පෙරේරා (නායක), කුසල් පෙරේරා, ධනුෂ්ක ගුණතිලක, උපුල් තරංග, ඇන්ජලෝ මැතිව්ස්, නිරෝෂන් දික්වැල්ල, සදීර සමරවික්‍රම, අසේල ගුණරත්න, ධනංජය ද සිල්වා, ළහිරු තිරිමාන්න, සචිත් පතිරණ, චතුරංග ද සිල්වා, අකිල ධනංජය, සුරංග ලක්මාල්, දුෂ්මන්ත චමීර සහ නුවන් ප්‍රදිප්


ඉන්දීය සංචිතය:
රෝහිත් ශර්මා (නායක), ජස්ප්‍රිට් බුම්රා, යුෂ්වින්දර් චාහල්, ශිකර් ධවාන්, මහේන්ද්‍ර සිං දෝනි, ශ්‍රෙයාස් අයියර්, කේදර් ජාදව්, දිනේෂ් කාර්තික්, සිද්ධාර්ත් කෞල්, කුල්දීප් යාදෙව්, බුවනේෂ්වර් කුමාර්, මනීෂ් පාන්ඬේ, හර්දීක් පාණ්ඩ්‍යා, අක්ෂර් පටෙල් සහ අජින්ක්‍යා රහනේ

 


අදහස් (0)

තිසරගෙන් කයිවාරුවක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.