Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner තරංග කොළඹ පිලේ ජය ඉක්මන් කරයි

තරංග කොළඹ පිලේ ජය ඉක්මන් කරයි

සංජය එරමුදුගොඩ - 2018 අගෝ මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

උපුල් තරංගගේ (81) විශිෂ්ට පිතිහරඹය හමුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ රංගිරි දඹුල්ල ක්‍රීඩාංගණයේදී අද (26 වැනිදා) පැවැති දිවා තරගයේදී ගාල්ල කණ්ඩායමට එරෙහිව කඩුලු 7 ක ජයක් හිමිකර ගැනීමට කොළඹ කණ්ඩායම සමත්විය. ඒ අනුව මෙම තරගාවලියේදී ඔවුන් සහභාගීවූ තරග හතරම ජයගනිමින් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට කොළඹ කණ්ඩායම සමත්විය.

වේගවත් පිතිහඹයක නිරතවූ උපුල් තරංග පන්දු 41 කදී හයේ පහර 5 ක් සහ හතරේ 8 ක් සමගින් ලකුණු 81 ක් රැස්කරමින් කොළඹ කණ්ඩායමේ ජයග්‍රහණය ඉක්මන් කළේය. ශතකයක් සහ අර්ධ ශතක 2 ක් රැස්කළ තරංග තරග මෙවර තරගාවලියේ තරග 3 කදී ලකුණු 302 ක් රැස්කරමින් වැඩිම ලකුණු රැස්කළ පිතිකරුවන් අතර පෙරමුණේ පසුවෙයි.

දෙවැනි කඩුල්ල සඳහා දිනේෂ් චන්දිමාල් සමගින් එක්ව පන්දු 56 කදී ලකුණු 97 ක සම්බන්ධතාවයක් ගොඩනැගීමට උපුල් තරංග සමත්විය.

කොළඹ කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යමින් නොදැවී කඩුල්ලේ රැඳී සිටි නායක දිනේෂ් චන්දිමාල් පන්දු 38 කදී හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමගින් ලකුණු 38 ක් රැස්කළේය.

ගාල්ල කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න පන්දු යවන්නන් 5 දෙනෙකු යොදාගනිමින් ඔවුන් රැස්කළ ලකුණු සංඛ්‍යාව ආරක්ෂා කරගැනීමට උත්සහ ගත්තද පන්දු යවන්නන්ට එය පහසු කාර්යයක් නොවූහ. කසුන් රාජිත කඩුලු 2 ක් සහ දුෂ්මන්ත චමීර කඩුල්ලක් දවාගැනීමට සමත්වූහ.

උපුල් තරංග සහ අවිශ්ක ප්‍රනාන්දු ආරම්භ පිතිකරුවන් ලෙස ලකුණු හඹායෑමට පිටියට පිවිසි අතර අවිශ්ක ප්‍රනාන්දුට වැඩි වේලා කඩුල්ලේ රැඳී සිටීමට අවස්ථාවක් ලබානොදුන් කසුන් රාජිත ලකුණු 6 කට ඔහුව පිටියෙන් ඉවත් කළේය.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ගාල්ල කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 131 ක් රැස්කිරීමට සමත්විය.

ලකුණු රැස්කිරීමට ප්‍රථම ගාල්ල කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙස නිරෝෂන් දික්වැල්ල පිටියෙන් ඉවත් කිරීමට නුවන් ප්‍රදීප් සමත්වූ අතර ලකුණු 5 ක් ලබාගෙන සිටි දිමුත් කරුණාරත්න පිටියේ ස්ථාවර වීමට පෙර දවාගැනීමට ශෙහාන් ජයසූරිය සමත්විය.

ධනංජය ද සිල්වා සමගින් එක්ව සාර්ථක ලකුණු රැස්කිරීමක නිරතව සිටි කුසල් මෙන්ඩිස් ගැසූ පහරකින් ඉහළ නැගි පන්දුව උපුල් තරංග රැකගැනීමත් සමගින් ඔහුගේ ඉනිම ලකුණු 36 කට අවසන් විය. පන්දු 25 කට මුහුණදුන් කුසල් මෙන්ඩිස්ගේ ඉනිමට හතරේ පහර 3 ක් ඇතුළත් විය.

සාර්ථක ලකුණු රැස්කිරීමක නිරතව සිටි ගාල්ල කණ්ඩායමේ බලාපොරොත්තු සුන් කරමින් ඔවුන්ගේ ඉනිම සුනුවිසුනු කරදැමීමට කොළඹ කණ්ඩායමේ දඟපන්දු යවන්නෝ සමත්වූහ. ලකුණු 95 කට කඩුලු 3 ක් ලෙස පැවැති ගාල්ල ඉනිමේ කඩුලු 4 ක් පන්දු 9 ක් තුළ දැවීයාම හේතුවෙන් ඒ අතරතුර ඔවුන්ට රැස්කිරීමට හැකිවූයේ ලකුණු 2 ක් පමණි.

ගාල්ල කණ්ඩායම වැඩිම ලකුණු ලාභියාවූ ධනංජය ද සිල්වා පන්දු 30 කදී හයේ පහරක් සහ හතරේ පහර 6 ක් සමගින් ලකුණු 44 ක් රැස්කිරීමට සමත්විය.

අටවැනි කඩුල්ල සඳහා එක්වූ මතුෂ්ක ප්‍රනාන්දු සහ ජෙෆ්රි වැන්ඩසේ ලකුණු 27 ක් එක්කරමින් ගාල්ල කණ්ඩායමේ මුළු ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීමට සමත්වූහ.

කොළඹ කණ්ඩායම නායක දිනේෂ් චන්දිමාල් පන්දු යවන්නන් හයදෙනෙකු පන්දු යැවීම සඳහා යොදවාගත් අතර අකිල ධනංජය සිය ඕවර 4 ලකුණු 28 කට සීමාකරමින් කඩුලු 3 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය. අනෙක් පන්දුයවන්නන් පස්දෙනා කඩුල්ල බැගින් දවාගැනීමට සමත්වූහ.

අද තරගයේදී කොළඹ කණ්ඩායම දිනේෂ් චන්දිමාල් විසිනුත් ගාල්ල කණ්ඩායම දිමුත් කරුණාරත්න විසිනුත් මෙහෙයවනු ලබති. ඊයේ ගාල්ල කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩාකළ අසිත ප්‍රනාන්දු වෙනුවට නුවන් ප්‍රදීප් සහ කොළඹ කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩාකළ කසුන් මධුසංක වෙනුවට දුෂ්මන්ත චමීර කණ්ඩායමට කැඳවූහ.

 

 

කොළඹ - ගාල්ල වි20 ලීග් තරගයේ විශේෂ අවස්ථා...

ඡායාරූප - ළහිරු හර්ෂණ


අදහස් (0)

තරංග කොළඹ පිලේ ජය ඉක්මන් කරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.