Last Update  :  2025-04-22 20:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner තෙවැනි එක්දින තරගය හෙට සූරියවැවදී

තෙවැනි එක්දින තරගය හෙට සූරියවැවදී

සංජය එරමුදුගොඩ - 2017 ජුලි මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සංචාරක සිම්බාබ්වේ පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග පහකින් සමන්විත ‘හිරෝ කුසලාන’ එක්දින ක්‍රිකට් තරගාවලියේ තෙවැනි තරගය සූරියවැව මහින්ද රාජපක්‍ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී හෙට (06) පැවැත්වේ. තරගය පෙරවරු 9.45 ට ආරම්භ වීමට නියමිතය. කණ්ඩායම් දෙකම තරගය බැගින් ජය ලබා 1-1 ක් ලෙස තරගාවලිය සමව පැවතීම නිසා මෙම තරගය දෙපිලටම තීරණාත්මක වී තිබේ.

ශ්‍රී ලංකා පිල අද (05) පෙරවරුවේ අවසන් පුහුණු සැසියට සහභාගි වූ අතර එම පුහුණු සැසියෙන් පසුව ශ්‍රී ලංකා පිලේ නායක ඇන්ජලෝ මැතිව්ස් පැවසුවේ ගාල්ලේදී දෙවැනි තරගය ජය ලැබූ කණ්ඩායම වෙනසකින් තොරව අද තරගයේ ක්‍රීඩා කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බවයි.

නායක මැතිව්ස් කණ්ඩායම පිළිබඳව වැඩි දුරටත් මෙසේ ද පැවසීය.

“මම හිතන්නේ නෑ කණ්ඩායමේ වෙනසක් වෙයි කියලා. අපි හෙටත් තණතීරුව බලනවා. අපි අවුරුදු දෙක තුනකින් සූරියවැව ක්‍රීඩා කළේ නෑ. නමුත් මම හිතන්නේ දෙවැනි තරගයේ 11 දෙනාම ක්‍රීඩා කරයි”
“අලංකාර සූරියවැව ක්‍රීඩාංගණයේ නැවත ක්‍රීඩා කරන්න ලැබීම පිළිබඳව අපි ගොඩක් සතුටු වෙනවා”  

ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ අඛණ්ඩ පන්දු රැකීමේ දුර්වලතාව පිළිබඳව මැතිව්ස් මෙසේ අදහස් දැක්වීය.

“මම හිතන්නේ පන්දු රැකීමේදී පන්දුව ගිලිහී ගියාම වෛයිරස් එකක් වගේ යනවා. ඒක පීඩනයත් එක්ක වෙන දෙයක්. නමුත් පීඩනය කියන්නේ ක්‍රීඩකයන්ට පුරුදු දෙයක් ඒක නිදහසට හේතුවක් නොවෙයි. අපි පුහුණු සැසිවලදී පන්දු රැකීමට වැඩි කාලයක් දුන්නා. අපි ගොඩක් පහන්සි වුණා”

දිනේෂ් චන්දිමාල්ට අවස්ථාව නොදී චාමර කපුගෙදර පිතිකරුවකු ලෙස සංචිතයට ඇතුළත් කිරීම පිළිබඳව කළ විමසුමේදී මැතිව්ස් මෙසේ පැවසීය.

“මෙම තරගාවලියට තේරීම් කමිටුව චන්දිමාල්ව සළකා බැලුවේනෑ. හම්බන්තොට එනවිට අපිට පිතිකරුවකුගේ අවශ්‍යතාවක් තිබුණා. මොකද හදිසියක් උනොත් උදේ ක්‍රීඩකයෙක් ගේන්න බෑ. අපිට මැඳ පෙළ පිතිකරුවකුගේ අවශ්‍යතාවක් තිබුණා. ඒ නිසා තමයි කපුගෙදරව ගෙනාවේ”

“චන්දිමාල් දිගටම පන්දුවට පහර දුන්නේ අංක 4 ස්ථානයේ. දැන් එම ස්ථානයේ උපුල් තරංග ක්‍රීඩා කරනවා. ඔහු පසුගිය තරග දෙකේම හොඳින් ක්‍රීඩා කළා. ඒ නිසා තේරීම් කමිටුව තීරණය කළා එම ස්ථානයේ වෙනසක් අවශ්‍ය නෑ කියලා. උපුල්ට ඕනෑම තැනක පන්දුවට පහර දෙන්න පුඵවන්”

“චන්දිමාල් සහ කපුගෙදර සංසන්දනය කරන්න අපහසුයි. පිතිකරු අංශයෙන් ලැබුවොත් දෙවිදියක්. චන්දිමාල් මුල් පෙළ පිතිකරුවෙක්, කපුගෙදර කියන්නේ අංක පහට පසුව ක්‍රීඩා කරන කෙනෙක්. කණ්ඩායමේ සංයුතිය ගත්තොත් ආරම්භක පිතිකරුවකු හෝ අංක හතර ප්‍රශ්නයක් වුණොත් උපුල් තරංග ඉන්නවා ආදේශ කරන්න. මැද පෙළට කවුරුත් හිටියේ නෑ”

“උපුල් තරංගටත් අපි මෑතකදී සාර්ථක වෙන්න ස්ථිර ස්ථානයක් දුන්නේ නෑ. අපේ අවශ්‍යතාව වෙලා තියෙන්නේ හැකි උපරිමයෙන් ස්ථිර තැනක් ලබා දෙන්නයි”

ලසිත් මාලිංග අද තරගයට ක්‍රීඩා කරන්නේද යන ප්‍රශ්නයට මැතිව්ස් මෙසේ පිළිතුරු සැපයීය.

“මාලිංගට කිසිඳු ප්‍රශ්නයක් නෑ. ඉදිරි දින පහේදී අපි තරග තුනකට ක්‍රීඩා කරනවා. වේග පන්දු යවන්නන්ට තමයි ගොඩක් අමාරු වෙන්නේ. ඒ නිසා තමයි වේග පන්දු යවන්නන් දෙන්නෙක් ඉල්ලුවේ” යැයි මැතිව්ස් වැඩි දුරටත් පැවසීය.

මාලිංග අද පුහුණු සැසියේදී වඩාත් උනන්දුවෙන් පන්දු රැකීමේ පුහුණු සැසියට සහභාගි වූ ආකාරය දැකගත හැකි විය.

ශ්‍රී ලංකා පිලේ ජ්‍යෙෂ්ඨ වේග පන්දු යවන්නකු වන සුරංග ලක්මාල්ට අසනීප තත්ත්වයක් හේතුවෙන් සංචිතයෙන් ඉවත්වීමට සිදුවී ඇති අතර ඒ වෙනුවට නුවන් කුලසේකර සහ ළහිරු කුමාර සංචිතයට ඇතුළත් කිරීමට තීරණය කර තිබේ.

නායක ඇන්ජලෝ මැතිව්ස් ඒ පිළිබඳව අද (05) මෙසේ පැවසීය.

“දෙවැනි තරගයට පෙර සුරංග ලක්මාල් සංචිතයට ඇතුළත් වුවද අවාසනාවකට ඔහු උණ රෝගය වැළදීම හේතුවෙන් මේ වන විට ගාල්ලට පිටත්කර යැව්වා. දින දෙකක් ඔහුට උණ තිබුණා. ඒ වෙනුවට නුවන් කුලසේකර සහ ළහිරු කුමාර සංචිතයට ඇතුළත් කිරීමට අනුමැතිය ලබා ගැනීමට යොමු කර තිබෙනවා”

“පිතිකරුවන් අට දෙනෙක් ඉන්නවා. දඟ පන්දු යවන්නන් දෙදෙනකු ඉන්වා. අපේ වේග පන්දු යවන්නන් තිදෙනකු අද තරගයේ ක්‍රීඩා කළහොත් අපිට අතිරේක වේග පන්දු යවන්නන් සිටිය යුතුයි. ඒ නිසා තමයි වේග පන්දු යවන්නන් දෙදෙනකුම ගෙනාවේ”

කුලසේකර සහ ළහිරු අද පුහුණු සැසියට සහභාගි නොවූ අතර අද පස්වරුවේ සංචිතයට එකතුවීමට නියමිතව තිබුණි.

සිම්බාබ්වේ පිල අද පස්වරුවේ අවසන් පුහුණු සැසිට සහභාගි වූ අතර පුහුණු සැසියට පෙර මාධ්‍ය හමුවට සහභාගි වූ සිම්බාබ්වේ නායක ග්‍රැහැම් ක්‍රීමර් පැවසුවේ තරගයට සහභාගි වන කණ්ඩායම පස්වරුවේ තීරණය කරන බවයි.
 
“අපි දැන් පුහුණු සැසියට සහභාගි වෙනවා. එහිදී තණතීරුව පරීක්‍ෂා කරලා පස්වරුවේ ක්‍රීඩා කරන 11 තීරණය කරනවා”

“සූරියවැව ක්‍රීඩාංගණය විශාල ක්‍රීඩාංගණයක් ඒ වගේම ලස්සනයි. අපිට ක්‍රීඩාංගණය අභියෝගයක් බවට පත්වෙයි. අපේ සියලුම ක්‍රීඩා රටාව ක්‍රීඩාංගණයට ගැලපෙන ආකාරයට සකස් කරගත යුතුයි” යැයි ක්‍රීමර් වැඩි දුරටත් පැවසීය.

තණතීරුව අද පස්වරුව වන විට පිතිකරුවන්ට වඩාත් යෝග්‍ය වේ යැයි සිතිය හැකි ආකාරයට සකස්කරමින් තිබූ අතර වියලී ගිය තණකොළ යම් ප්‍රමාණයකට දැකගත හැකි විය.  

 සූරියවැව ක්‍රීඩාංගණයේ වසර දෙකකට ආසන්න කාලයකට පසුව ජාත්‍යන්තර තරගයක් පැවැත්වීම මෙහිදී කැපී පෙනේ. මෙම තරගාවලියේ අවසන් තරග තුනම සූරියවැවදී පැවැත්වේ.

මෙම ක්‍රීඩාංගණයේ අවසන් එක්දින ජාත්‍යන්තර තරගය 2015 වසරේ ජූලි මස 26 වැනිදා ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැත්විණි.  


ශ්‍රී ලංකා එක්දින සංචිතය:
ඇන්ජලෝ මැතිව්ස් (නායක), උපුල් තරංග (උප නායක), නිරෝෂන් දික්වැල්ල, ධනුෂ්ක ගුණතිලක, කුසල් මෙන්ඩිස්, අසේල ගුණරත්න, වනිඳු හසරංග, ලක්‍ෂාන් සඳකැන්, අකිල ධනංජය, නුවන් ප්‍රදීප්, ලසිත් මාලිංග, දුෂ්මන්ත චමීර, චාමර කපුගෙදර, නුවන් කුලසේකර සහ ළහිරු කුමාර


සිම්බාබ්වේ එක්දින සංචිතය:
ග්‍රැහැම් ක්‍රීමර් (නායක), සොලමන් මීර්, හැමිල්ටන් මසකඞ්ෂා, රයන් බර්ල්, ක්‍රෙග් එර්වින්, සීන් විලියම්ස්, පීටර් මූර්, සීකන්දර් රාසා, ටෙන්ඩායි චටාරා,  ක්‍රිස් මොෆු, ඩොනල් ටිරිපානෝ, රිචඞ් නගරාවා, වෙලින්ටන් මසකඞ්ෂා, මැල්කම් වෝලර්, චමූ චිබාබා සහ ත්‍රිසායි මුසකන්ඩා

 


අදහස් (0)

තෙවැනි එක්දින තරගය හෙට සූරියවැවදී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.