Last Update  :  2025-04-21 11:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner දිමුත් කරුණාරත්නත් වැඩට බසී

දිමුත් කරුණාරත්නත් වැඩට බසී

Nisanka Sandeepani - 2018 ජුනි මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දිමුත් කරුණාරත්නගේ (161) විශිෂ්ට පිතිහරඹය හමුවේ සංචාරක ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම සහ බංග්ලාදේශ ‘ඒ’ කණ්ඩායම අතර චිතගොන්හිදී පැවැති පළමු නිල නොවන ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරව අද (28 වැනිදා) අවසන් විය. නායකත්වයේ ඉනිමක් ක්‍රීඩාකළ දිමුත් කරුණාරත්න වේගවත් ලකුණු රැස්කිරීමක නිරත වෙමින් පන්දු 165 කදී ලකුණු 161 ක් රැස්කළ අතර හයේ පහරකින් සහ හතරේ පහර 23 කින් ඔහුගේ ඉනිම අලංකාර විය.

සිවුවැනි සහ අවසන් දිනයේදී තරගය අවසන් කරන විට දෙවැනි ඉනිම සඳහා පන්දුවට පහරදෙමින් සිටි ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම කඩුලු 2 ක් දැවී ලකුණු 262 ක් ලබාසිටි අතර බංග්ලාදේශ ‘ඒ’ කණ්ඩායමට වඩා ලකුණු 297 ක් ඉදිරියෙන් සිටියේය. ළහිරු මිලන්ත සමගින් පළමු කඩුල්ල සඳහා ලකුණු 93 ක සම්බන්ධතාවයක් ගොඩනැගූ දිමුත් කරුණාරත්න දෙවැනි කඩුල්ල සඳහා ළහිරු තිරිමාන්න සමඟින්ද ලකුණු 165 ක තවත් සම්බන්ධතාවයක් ගොඩනැගීය.

ළහිරු තිරිමාන්න මෙන්ම දිමුත් කරුණාරත්නත් පිතිකරුවන් ලෙසින් සාර්ථක වන්නේ ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර ටෙස්ට් තරගාවලිය ආරම්භ වීමට සති දෙකකට පමණ කලිනි.

පළමු ඉනිමේදී ශතකයක් (168) ලබාගනිමින් ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම ලකුණු 400 සීමාවෙන් ඔබ්බට රැගෙන යාමට දායකවූ ළහිරු තිරිමාන්න සිවුවැනි දිනයේදී තරගය අවසන් කරනවිට ලකුණු 67 ක් රැස්කරමින් නොදැවී කඩුල්ලේ රැඳී සිටියේය. දෙවැනි ඉනිමේදී පන්දු 121 කට මුහුණදුන් තිරිමාන්නගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 5 ක් ඇතුළත් විය.

බංග්ලාදේශ ‘ඒ’ කණ්ඩායමේ නායක මොසඩක් හොසේන් පන්දු යවන්නන් අටදෙනෙකු යොදාගනිමින් ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමේ පිතිකරුවන් මෙල්ල කිරීමට උත්සහ කළද ඉන් පලක් නොවීය.

ඊයේ තරගය නතර කරනවිට කඩුලු 4 ක් දැවී ලකුණු 360 ක් රැස්කරමින් ප්‍රබල ස්ථානයක පසුවු බංග්ලාදේශ ‘ඒ’ කණ්ඩායමට අද දිනයේදී සියලුදෙනා දැවී පළමු ඉනිම සඳහා රැස්කිරීමට හැකිවූයේ ලකුණු 414 ක් පමණි. පසුපෙළ පිතිකරුවන්ගේ දුර්වල පිතිහරඹය හමුවේ බංග්ලාදේශ ‘ඒ’ කණ්ඩායමේ අවසන් කඩුලු 6 ලකුණු 27 ක් තුළ දවාගැනීමට ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමේ පන්දු යවන්නෝ සමත්වූහ.

තෙවැනි දිනයේ තරගය අවසන් කරනවිට ලකුණු 144 ක් රැස්කරමින් කඩුල්ලේ රැඳී සිටි සබීර් රහ්මන් අද දින සිය ඉනිමට තවත් ලකුණු 21 ක් එක්කරගත් අතර ලක්ෂාන් සඳකැන්ගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවාකිරීමේ වරදට හසුව දැවී ගියේය. පන්දු 287 කට මුහුණදෙමින් ලකුණු 165 ක් රැස්කළ සබීර් රහ්මන්ගේ ඉනිම හයේ පහර 2 කින් සහ හතරේ පහර 16 කින් අලංකාර විය.

අද දින පළමු කඩුල්ල ලෙස සකීර් හුසේන් ලකුණු 35 කට දැවීයන විට සබීර් රහ්මන් සමගින් එක්ව පස්වැනි කඩුල්ල සඳහා ලකුණු 104 ක සම්බන්ධතාවයක්ද ගොඩනගා තිබුණි.

විශිෂ්ට පන්දු යැවීමක නිරතවූ ලක්ෂාන් සඳකැන් කඩුලු 5 ක් දවාගනිමින් එක් අන්තයක පන්දුවෙන් දස්කම් දක්වන විටදී ඔහුට අනගි සහයක් ලබාදුන් ප්‍රභාත් ජයසූරියද අනෙත් අන්තයෙන් කඩුලු 3 ක් දවාගත්තේය.

 


අදහස් (0)

දිමුත් කරුණාරත්නත් වැඩට බසී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.