Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
පරාජය වීමේ අවදානමට ලක්ව තිබෙන දෙවැනි ටෙස්ට් තරගයත් එංගලන්තයට එරෙහි ටෙස්ට් තරගාවලියත් බේරා ගැනීමේ අවස්ථාව තවමත් ඉතිරි වී තිබේ. එහෙත් එය කළ හැකිවේද ? ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන්ගේ අවධානයට ලක්ව ඇත්තේ මෙයයි.
ලකුණු 75 ක් ලබාගැනීම සඳහා සම්පූර්ණ දිනයක කාලයක් ඉතිරිව තිබේ. අත ඇත්තේ කඩුලු 3 ක් පමණි.
පිටිය මැද ඉතිරිව සිටින එකම නම්දැරූ පිතිකරුවා වන නිරෝෂන් දික්වැල්ලට එය කළ හැකිනම්, සිව්වැනි ඉනිමේදී ලකුණු 300 ක ඉලක්කයක් හඹා ගොස් ටෙස්ට් තරගයක් ජයගැනීමේ සිව්වැනි අවස්ථාව ශ්‍රී ලංකාවට තිබේ. මීට පෙර සිම්බාබ්වේ පිලට එරෙහිව දෙවතාවකදීත් දකුණු අප්‍රිකානු පිලට එරෙහිව පැවැති තරගයකදීත් සිව්වැනි ඉනිමේදී ලකුණු 300 ක වැඩි ඉලක්කයක් හඹා ගොස් ජයගනීමට ශ්‍රී ලංකා පිල සමත්ව තිබේ.
“තරගය තාමත් සමබර තත්ත්වයක තියෙන්නේ. අවාසනාවට වගේ මම දැවී ගියේ ඉතාමත් තීරණාත්මක මොහොතක....ඒත් අපට තාමත් අවස්ථාව තියෙනවා.” යයි අද සවස තරගයෙන් පසුව ඇන්ජලෝ මැතිව්ස් පැවසීය.
කෙසේ වෙතත් ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගය ජයගැනීමට නම් නිරෝෂන් දික්වැල්ල ඔහුගේ සුපුරුදු දඩබ්බර පිතිහරඹ රටාවෙන් මිදී වගකීම බාරගත යුතුව තිබේ. ඔහුගේ සහයට දැනට ඉතිරි වී සිටින්නේ අකිල ධනංජය, සුරංග ලක්මාල් සහ මාලින්ද පුෂ්පකුමාර පමණි. මේ තිදෙනාගෙන් අකිල ධනංජය කෙරේ තරමක් විශ්වාසය තැබිය හැකි නමුත් ශ්‍රී ලංකා - එංගලන්ත තරගය මේ වන විට පත්ව තිබෙන තත්ත්වයත්, එංගලන්ත පිලේ සිටින පළපුරුදු ක්‍රීඩකයන් විසින් එල්ල කරනු ලබන පීඩනය හමුවේ ඔහු කුමන ආකාරයට ප්‍රතිචාර දක්වයිද යන්න බලා සිටීම වටි.
“අකිල ධනංජය සහ සුරංග ලක්මාල් දෙන්නා පිතිකරුවන් වශයෙන් අවතක්සේරු කරන්න බෑ. අපට තව එක හොඳ සම්බන්ධතාවක් ලැබුණොත් දිනුම අපි අතට ළඟට ඒවි” යයිද මැතිව්ස් පැවසීය.
මුයින් අලීගේ ඉතාම හොඳ පන්දුවක් හමුවේ මැතිව්ස්ගේ දැවී යාම අතිශයින් තීරණාත්මක වූයේ එය වර්ෂාව පතිත වීමට විනාඩි 12 කට පෙර සිදුවූ බැවිනි. මොයින් අලිගේ එම පන්දුව තවත් විනාඩි 12 ක කාලයක් පමා වූයේ නම් ශ්‍රී ලංකා පිලට වඩාත් නවතාවකින් යුතුව හෙට උදෑසන මෙම අභියෝගයට මුහුණ දීමට අවස්ථාව තිබිණ.
ඉනිම ආරම්භයේදීම ලකුණු 26 කට කඩුලු 3 ක් අහිමි කරගත් නමුත් ශ්‍රී ලංකා පිලට මරු පහර දෙකක් වැදුණේ විවේක දෙකකින් පසුවය. දිවා ආහාරයෙන් විනාඩි 6 කට පසුව දිමුත් කරුණාරත්න දැවී ගිය අතර තේ විවේකයෙන් විනාඩි 3 කට පසුව මැතිව්ස් දැවී ගියේය.
තේ පානය වන විට කඩුලු 5 කට 219 ක් වූ ලකුණු පුවරුව විනාඩි 15 ක ඇවෑමෙන් කඩුලු 7 කට 226 ක් ලෙසින් සටහන් විය. මේ විනාඩි 15 ක කාලය ඇතුළත යැවුණේ ඕවර 3.2 ක් හෙවත් පන්දු 20 ක් පමණි.
“එංගලන්ත පන්දු යවන්නන්ට එහි ගෞරවය දෙන්න වෙනවා. ඔවුන් අපට දුර්වල පන්දු දුන්නේම නැති තරම්. ලකුණු ලබාගැනීම ඒ තරමටම අසීරුයි...දිමුත්...., එයා නම් අද හොඳින්ම පන්දුවට පහර දුන්නා. ඔහු දැවී ගියේ අති විශිෂ්ට පන්දු රැකීමකින්...තරගය වෙනස් කළ තැන එතැනයි”
“එයා තමයි ලකුණු අතර සිටින පිතිකරුවා..එතැදී අපට ටිකක් ලෙකු සම්බන්ධතාවක් ගොඩනඟා ගන්න ලැබුණා නම් මේ වනවිට තරගයේ පාලනය අපට අතේ තියාගෙන ඉන්න තිබුණා” යයිද මැතිව්ස් පැවසීය.
දිමුත් කරුණාරත්න දැවී යාමට පෙර ලකුණු සංඛ්‍යාව සටහන් වූයේ කඩුලු 3 කට 103 ක් ලෙසිනි. තමන් ලබාගත් ටෙස්ට් ශතක 8 න් අවස්ථා 5 කදීම ලකුණු 140 සීමාව පසුකර ගොස් සිටි දිමුත් කරුණාරත්න දිගු ඉනිමකට මුල පුරා තිබිණ. එහෙත් සිව්වැනි කඩුල්ල වෙනුවෙන් දිමුත් කරුණාරත්න සහ මැතිව්ස් අතර පැවති සම්බන්ධතාව බිඳ වැටුණේ අතිශය අවාසනාවන්ත ලෙසිනි.
අදිල් රෂීඞ්ගේ පන්දුවට දිමුත් කරුණාරත්න ඉතාම හොඳින් ගැසූ ස්වීප් පහරකින් පන්දුව ඇදී යද්දී ෆෝවර්ඞ් ‘ෂොට් ලෙග්’ හි සිටි කීටන් ජෙනිංග්ස් ඊට වමතින් ගැසුවේය. හතරේ සීමාව දෙසට ඇදී ගිය පන්දුව ජෙනිංස්ග්ගේ පහරින් ගමන් මග වෙනස් කරද්දී කඩුලු රකින්නා වූ බෙන් ෆෝක්ස් එය රැකගැනීම හේතුවෙන් දිමුත් කරුණාරත්නගේ ඉනිම ලකුණු 57 දී අවසන් විය.
එය ටෙස්ට් තරගයකදී ඉතාමත් කළතුරෙකින් දැකගත හැකි, පන්දු රකින්නන් දෙදෙනකුගේ එකමුතුවකින් රැකගත් උඩපන්දුවක් විය.
මෙම තරගාවලියේදී විවේක කාලයන් වලට පසුව ඇන්ජලෝ මැතිව්ස් දැවී යාම සුපුරුදු දසුනක් විය. එහෙත් ඉනිම හතරෙන් තුනකදීම ඔහු අර්ධ ශතක ලබාගත්තේය. සාමාන්‍යයෙන් දිගු ඉනිම කරා යාමේ ප්‍රවණතාවකින් යුතු මැතිව්ස් විවේක කාලයන් නිමා වූ සැණින් දැවී යාම ශ්‍රී ලංකා පිලට දැරිය නොහැකි පාඩුවක් වී තිබේ.
“මම දැවී ගියේ හරිම අවාසනාවන්ත වෙලාවක. මට දික්වැල්ලත් එක්ක තව ටිකක් සම්බන්ධතාව දිගු කරගන්න පුළුවන් වුණා නම්, මේ තරගයේ දැන් තියෙන තත්ත්වය සෑහෙන්න වෙනස්....ඒ කොහොම වුණත් අපට තවම අවස්ථාව තියෙනවා” යයිද මැතිව්ස් කීවේය.
තවමත් යැවෙමින් තිබෙන්නේ ශ්‍රී ලංකා දෙවැනි ඉනිමේ 66 වැනි ඕවරයයි. පන්දුව තරමක් මෙලෙක් වී තිබෙන බැවින් පන්දු යවන්නන්ට තම තමන්ට රිසි දේ කරගත නොහැක. එහෙත් ලකුණු ලබාගැනීමේදී පිතිකරුවන්ට කිසියම් වාසියක් තිබේ.
දෙවැනි නව පන්දුව ලබාගැනීමට පෙර, ඉතිරිව තිබෙන ඕවර 14 දී හැකි තරම් ලකුණු ලබාගැනීම ශ්‍රී ලංකා පිලේ අපේක්‍ෂාවයි. එහෙත් හෙට උදෑසන පළමු හෝරාව තුළදී තරගයේ ඉරණම සම්බන්ධයෙන් කිසියම් අදහසක් ලබාගැනීමට නරඹන්නන්ට අවස්ථාව තිබේ.
එක්දින සහ විස්සයි-20 කණ්ඩායමෙන් ඉවතට විසිවූ නමුත් ටෙස්ට් තරගාවලියේදී හොඳින් දස්කම් දැක්වීමට අවස්ථාව ලැබීම සම්බන්ධයෙන් සතුටට පත්ව සිටින මැතිව්ස් ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් දස්කම් මධ්‍යස්ථානයේ කාර්ය මණ්ඩලයට ස්තුති කිරීමට අමතක නොකළේය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.