Last Update  :  2025-04-21 11:18:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner දකුණු අප්‍රිකානුවෝ පුහුණු තරගයෙන් ජය ලබති

දකුණු අප්‍රිකානුවෝ පුහුණු තරගයෙන් ජය ලබති

Nisanka Sandeepani - 2018 ජුලි මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන කණ්ඩායම එරෙහිව කොළඹ පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී අද (26 වැනිදා) පැවැති පුහුණු එක්දින තරගයෙන් ලකුණු 63 ක ජයක් අත්කර ගැනිමට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත් විය. ජයග්‍රහණය සඳහා ලකුණු 294 ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන කණ්ඩයමට ඕවර 44.1 ක් අවසානයේ සියලු දෙනා දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 230 ක් පමණි. 

එහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන කණ්ඩායම වෙනුවෙන් අර්ධ ශතක ලබාගැනීමට ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න (50) සහ ඉසුරු උදාන (53) සමත් වූහ. පන්දු 57 කදී හතරේ පහර 5 ක් සමග අර්ධ ශතකය සම්පූර්ණ කිරීමත් සමග තබ්‍රේස් ශම්සිගේ පන්දුවක් හමුවේ විලියම් මුල්ඩර් අතට උඩපන්දුවක් දෙමින් දිමුත් පිටියෙන් ඉවත්ව ගියේය. සෙසු ආරම්භක පිතිකරු ෂෙහාන් ජයසූරිය එක් ලකුණකට දැවී යෑමෙන් අනතුරුව ශ්‍රී ලංකා ඉනිම ගොඩනැගීම සඳහා දිමුත්ට අනගි සහයක් දුන් නායක ධනංජය ද සිල්වා පන්දු 33 කදී හතරේ පහර 7 ක් සමග ලකුණු 36 ක් රැස්කළේය. 

මුලු ලකුණු සංඛ්‍යාව 140 ක්ව තිබියදී ශ්‍රී ලංකා ඉනිමේ 7 වැනි කඩුල්ලත් බිඳ වැටුණ අතර එතැන් සිට 8 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 69 කදී ලකුණු 63 ක සම්බන්ධතාවක් ගොඩනැගීමට ඉසුරු උදාන (53) සහ ප්‍රභාත් ජයසූරිය (21) සමත් වූහ. එහෙත් ජූනියර් ඩාලාගේ පන්දුවක් හමුවේ රීසා හෙන්ඩි්‍රක්ස් අතට උඩපන්දුවක් දෙමින් උදාන දැවී යෑමත් සමග ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන කණ්ඩායමේ අවසන් බලාපොරොත්තුවත් සුන්වී ගියේය. පන්දු 52 කදී ලබාගත් සිය අර්ධ ශතකය, ලකුණු පුවරුව අසලටම එල්ල කළ දැවැන්ත හයේ පහර 3 කින් සහ හතරේ පහර 5 කින් අලංකාර කිරීමට උදාන සමත් විය.  

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානු කණ්ඩායම ඕවර 49.4 ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 293 ක් ලබා ගත්තේය. එහිදී වේගවත් පිතිහරඹයක නිරත වූ නායක ෆෆ් ඩුප්ලෙසි පන්දු 60 කදී ලකුණු 71 ක් රැස්කළේ දැවැන්ත හයේ පහරක් සහ හතරේ පහර 10 ක් සමගිනි. ලකුණු 32 කට කඩුලු 3 ක් බිඳවැටී අසීරු තත්වයකට පත්ව තිබූ දකුණු අප්‍රිකානු කණ්ඩායම එම තත්වයෙන් මුදවාගත් ඩුප්ලෙසී, සිවුවැනි කඩුල්ල වෙනුවෙන් ජේ.පී. ඩුමිනි (19) සමග එක්ව පන්දු 49 කදී ලකුණු 67 ක සම්බන්ධතාවක් ගොඩනැගුවේය. 

කඩුල්ල තුළට දෝලනය වන පන්දුවක් මගින් ඩුමිනිගේ කඩුල්ල බිඳදැමූ ඉසුරු උදාන දකුණු අප්‍රිකානු සිවුවැනි කඩුල්ලේ සම්බන්ධතාවට තිත තැබුවේය. ප්‍රභාත් ජයසූරියගේ පන්දුවකට හරවා පහරක් ගැසීමට උත්සහ කිරීමේදී පිත්තේ දාරයේ වැදී ඉහළ ගිය පන්දුව දිමුත් කරුණාරත්නගේ දෑත් අතර සිරවීමත් සමග ඩුප්ලෙසීගේ ඉනිමද නිමාවට පත්විය. 

ඩුප්ලෙසිගේ දැවීයෑමෙන් අනතුරුව ඬේවිඞ් මිලර් (40) සමග එක්වූ රීසා හෙන්ඩි්‍රක්ස් (59) දකුණු අප්‍රිකානු ඉනිමේ 6 වැනි කඩුල්ල සඳහා පන්දු 70 කදී තවත් ලකුණු 70 ක් එක් කළේය. පන්දු 54 කට මුහුණදුන් හෙන්ඩි්‍රක්ස් හතරේ පහර 8 කින් සිය අර්ධ ශතකය සැරසූ අතර පන්දු 47 කදී වාර්තා වූ මිලර්ගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 2 ක් ඇතුළත් විය. නිෂාන් පිරිස්ගේ සහ ප්‍රභාත් ජයසූරියගේ පන්දු හමුවේ පිළිවෙලින් මිලර් සහ හෙන්ඩි්‍රක්ස් ලබාදුන් උඩ පන්දු සාර්ථක අයුරින් රැකගත් කඩුලු රකින ක්‍රිඩක මිනෝද් භානුක, දකුණු අප්‍රිකානු ලකුණු පුවරුව ලකුණු 225 කට කඩුලු 7 ක් බවට පත් කළේය. 

දකුණු අප්‍රිකානු ඉනිමේ අවසන් ඕවර කිහිපයේදි දක්ෂ පිතිහරඹයක නිරත වූ විලියම් මුල්ඩර් පන්දු 57 කදි හතරේ පහර 8 ක් සමග ලකුණු 56 ක් රැස්කළේය. අවසන් පිතිකරුවා ලෙස පිටියට පිවිසි ජූනියර් ඩලා (නොදැවී 19) සමග එක්ව 10 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 59 කදී ලකුණු 60 ක සම්බන්ධතාවක් ගොඩනගමින් දකුණු අප්‍රිකානු ඉනිමේ ලකුණු සංඛ්‍යාව 300 සීමාව අභියසට රැගෙන යෑමටද මුල්ඩර් සමත් විය. අවසන් ඕවරයේ සිවුවැනි පන්දුවේදී අසිත ප්‍රනාන්දුගේ පන්දුවක් හමුවේ මුල්ඩර් කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවීමත් සමග දකුණු අප්‍රිකානු ඉනිම නිමාවට පත් විය.  

මුලු ලකුණු සංඛ්‍යාව 29 ක් වන විට දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් දෙදෙනාම පිටියෙන් ඉවත් කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පන්දු යවන්නන් දෙදෙනා සමත් වූහ. ලකුණු ලබාගැනීම ආරම්භ කිරීමටත් පෙර ක්වින්ටන් ඩි’කොක් කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකර ගැනීමට බිනුර ප්‍රනාන්දු සමත් වෙද්දී, හතරේ පහර 3 ක් සමග ලකුණු 16 ක් ලබා සිටි හෂීම් අම්ලා දැවී ගියේ අසිත ප්‍රනාන්දුගේ පන්දුවක් හමුවේ බිනුර අතට උඩ පන්දුවක් දෙමිනි. 


අදහස් (0)

දකුණු අප්‍රිකානුවෝ පුහුණු තරගයෙන් ජය ලබති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.