Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner දකුණු අප්‍රිකාවට ලකුණු 113 ක ජයක්

දකුණු අප්‍රිකාවට ලකුණු 113 ක ජයක්

සංජය එරමුදුගොඩ - 2019 මාර් මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව සෙන්චූරියන්හිදී අද (6 වැනිදා) පැවැති දෙවැනි එක්දින තරගය ලකුණු 113 කින් ජයගැනීමට දකුණු අප්‍රිකාව සමත්විය. ඒ අනුව තරග 5 කින් සමන්විත එක්දින තරගාවලිය 2-0 ක් ලෙස පෙරමුණ ගැනීමටද ඔවුහු සමත්වූහ.

ජයග්‍රහණය සඳහා ලකුණු 252 ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකාවට ඕවර 32.2 කදී සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 138 ක් පමණි. ශ්‍රී ලංකා කණ්ඩායමේ අවසන් කඩුලු 7 ලකුණු 46 ක් තුල දවාගැනීමට දකුණු අප්‍රිකානු පන්දු යවන්නෝ සමත්වූහ.

තිසර පෙරේරා ලකුණු ලබාගැනීම වේගවත් කිරීමට උත්සහ කළද ඉම්රාන් තහීර්ගේ පන්දුවක් හමුවේ ඬේවිඞ් මිලර්ට උඩපන්දුවක් දෙමින් ලකුණු 23 කට දැවී ගියේය. පන්දු 37 කට මුහුණදුන් තිසරගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 2 ක් ඇතුළත් විය.

ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණූ හඹායෑම තවත් අසීරූ කරමින් පස්වැනි කඩුල්ල ලෙස ඕෂධ ප්‍රනාන්දු කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව ලකුණු 31 කට දැවී ගියේය. පන්දු රකින්නන් කළ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් ප්‍රධාන විනිසුරුවරයා විසින් පිතිකරු දැවීගිය බවට තීරණය කළද ඉන් සැහීමට පත්නොවූ ඕෂධ ප්‍රනාන්දු විනිසුරු තීරණය විමසීමේ ක්‍රමවේදය ඉල්ලා සිටියේය. ප්‍රධාන විනිසුරු විසින් පිතිකරු දැවීගිය බවට තීරණය කර තිබීම හේතුවෙන් තෙවැනි විනිසුරුටද එම තීරණය සමගින් එකඟවීමට සිදුවිය. නමුත් විනිසුරු තීරණය විමසීමේ ක්‍රමවේදය ඉල්ලා සිටීමේ අවස්ථාව අහිමි නොවීය.

ලකුණු 52 කට කඩුලු 3 ක් දැවී තිබියදී ඕෂධ ප්‍රනාන්දු සහ කුසල් මෙන්ඩිස් එක්ව සිවුවැනි කඩුල්ල සඳහා ලකුණු 40 ක සම්බන්ධතාවයක් ගොඩනගමින් ශ්‍රී ලංකා ඉනිම ගොඩනැගීමට උත්සහ කළද අවාසනාවන්ත දුවද්දී දැවීයාමකට හසුව මෙන්ඩිස් දැවී යාමත් සමගින් එම සම්බන්ධතාවයට තිත තැබුණි. පන්දු 31 කට මුහුණදුන් මෙන්ඩිස්ට හතරේ පහර 2 ක් සමගින් රැස්කිරීමට හැකිවූයේ ලකුණු 24 ක් පමණි.

ආරම්භක පිතිකරුවන්වූ නිරෝෂන් දික්වැල්ල (6) සහ අවිෂ්ක ප්‍රනාන්දු (10) ලකුණු 29 ක් තුල පිටියෙන් ඉවත් කිරීමට කගීසෝ රබාඩා සහ ලුන්ගි න්ගිඩි සමත්වූහ. දික්වැල්ලගේ කඩුල්ල දවාගත් කගීසෝ රබාඩා එක්දින කඩුලු 100 සම්පූර්ණ කිරීමට සමත්විය.

කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක ලසිත් මාලිංගේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාවට ඕවර 45.1 කදී සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 251 ක් පමණි. ලකුණු 31 ක් තුල දකුණු අප්‍රිකානු කණ්ඩායමේ අවසන් කඩුලු 6 දවාගැනීමට තිසර පෙරේරා ඇතුළු පන්දු යවන්නෝ සමත්වූහ.

ප්‍රවේගකාරී පිතිකරුවකු වන ඬේවිඞ් මිලර් ස්ටම්ප් කිරීමකට හසුකර ගනිමින් පිටියෙන් ඉවත් කිරීමට නිරෝෂන් දික්වැල්ල සමත්විය. ධනංජය ද සිල්වාගේ පන්දුවක් හමුවේ ඬේවිඞ් මිලර් දැවීයන විට පන්දු 36 කදි හතරේ පහරක් සමගින් ලකුණු 25 ක් රැස්කර සිටියේය.

නායක ෆෆ් ඩුප්ලෙසි ලකුණු 57 ක් රැස්කර සිටියදී තිසර පෙරේරාගේ පන්දුවක් කඩුල්ලේ වැදීමෙන් දැවී ගියේය. තිසර පෙරේරාගේ තෙවැනි කඩුල්ල ලෙස ඩුප්ලෙසි පිටියෙන් ඉවත්වන විට පන්දු 66 කට මුහුණදී සිටි අතර හතරේ පහර 7 ක් ඔහුගේ ඉනිමට ඇතුළත් විය.

වේගවත් පිතිහරඹයක නිරත වෙමින් දකුණු අප්‍රිකාවට සාර්ථක ආරම්භයක් ලබාදුන් ක්වින්ටින් ඩි’කොක් ශතකයට ලකුණු 6 ක් මෙපිටින් දැවී ගියේය. තිසර පෙරේරා යැවූ පා ඉන්නෙන් ඉවතට ඇදීයන පන්දුවකට වේගවත් පහරක් ගැසීමට ඩි’කොක් උත්සහ කළද පිත්තේ පැති දාරයේ වැදුණු පන්දුව එක තැන ඉහළ නැග්ගේය. කඩුලු රකින නිරෝෂන් දික්වැල්ලට වැඩි වෙහෙසක් නොයොදාම පන්දුව සුරුකිව රැකගැනීමට හැකිවූ අතර ඒ වනවිට පන්දු 70 කට මුහුණදී සිටි ක්වින්ටින් ඩි’කොක්ගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 17 ක් ඇතුළත් විය. ක්වින්ටින් ඩි’කොක් සිය 20 වැනි එක්දින අර්ධ ශතකය පන්දු 36 කදී වාර්තා කළ අතර ශ්‍රී ලංකාවට එරෙහිව ලබාගත් 6 වැනි එක්දින අර්ධ ශතකයද වන්නේය.

සිය සගයන්ට පහර පිට පහර වදින විට දෙවැනි වරටද පන්දුව අතටගත් ලසිත් මාලිංගගේ පන්දුවක් හමුවේ ලකුණු 29 ක් රැස්කර සිටි රීසා හෙන්රික්ස්ට පිටියෙන් ඉවත් වීමට සිදුවිය. බවුන්සර් පන්දුවකට පුල් පහරක් ගැසීමට යාමේදී හරියාකාරව පිත්තේ නොවැදුණු පන්දු අකිල ධනංජයගේ සුරතේ රැඳෙන විට පන්දු 41 කට මුහුණදී සිටි රීසා හෙන්රික්ස්ගේ ඉනිමට හතරේ පහර 4 ක් ඇතුළත් විය.

ක්වින්ටින් ඩි’කොක් සහ රීසා හෙන්රික්ස් එක්ව පළමු කඩුල්ල සඳහා පන්දු 87 කදී ලකුණු 91 ක සම්බන්ධතාවයක් ගොඩනගමින් දකුණු අප්‍රිකාවට සාර්ථක ආරම්භයක් ලබාදීමට සමත්වූහ.

පළමු තරගයට සහභාගීවු ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් දෙකක් සිදුකරමින් ආරම්භක පිතිකරු උපුල් තරංග සහ වමතින් දඟපන්දු යවන ලක්ෂාන් සඳකැන් කණ්ඩායමෙන් ඉවත්කර ඒ වෙනුවට ආරම්භක පිතිකරු අවිෂ්ක ප්‍රනාන්දු සහ දකුණතින් වේගපන්දු යවන ක්‍රීඩක කසුන් රාජිත කණ්ඩායමට කැදවූහ.

දකුණු අප්‍රිකානු කණ්ඩායමේ එක් වෙනස්කමක් සිදුකරමින් ඞ්වේන් ප්‍රිටෝරියස් වෙනුවට තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ඩිල් පෙලුක්වායෝ කණ්ඩායමට කැදවීය.

 

 


අදහස් (0)

දකුණු අප්‍රිකාවට ලකුණු 113 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.