Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner දකුණු අප්‍රිකානුවෝ 3-0 කින් ශ්‍රී ලංකාව පරදවති

දකුණු අප්‍රිකානුවෝ 3-0 කින් ශ්‍රී ලංකාව පරදවති

සංජය එරමුදුගොඩ - 2019 මාර් මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර ජොහැන්නස්බර්ග්හිදී අද (24 වැනිදා) පැවැති තෙවැනි විස්සයි20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගයෙන් ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 45 ක ජයක් ලැබූ දකුණු අප්‍රිකාව දෙරට අතර පැවැති තරග 3 කින් සමන්විත විස්සයි20 තරගාවලිය 3-0 ක් ලෙස ජයගැනීමට සමත් විය.

ඕවර 11.1 ක් අවසානයේ වර්ෂාව හේතුවෙන් තරගය තාවකාලිකව නතර කළ අතර එය යළිත් ආරම්භ කරන විට ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණය සඳහා පන්දු 35 කදී ලකුණු 72 ක ඉලක්කයක් හිමිවිය. වර්ෂාව හේතුවෙන් තරගය නතර කරන විට කඩුලු 6 ක් දැවී ලකුණු 111 ක් ලබා සිටි ශ්‍රී ලංකා කණ්ඩායමට නැවත තරගය ආරම්භ වීමෙන් අනතුරුව සිය ලකුණු පුවරුවට එක්කරගත හැකි වූයේ තවත් ලකුණු 26 ක් පමණි.

ශ්‍රී ලංකා ඉනිමේ අවසන් කඩුලු 4 පන්දු 9 ක් තුළදී බිඳවැටුණ නමුත්, ඒ අතරවාරයේ එක් ලකුණක් හෝ ලබා ගැනීමට පිතිකරුවෝ අපොහොසත් වූහ. පන්දු 23 කදී හයේ පහර 4 ක් සමග ලකුණු 36 ක් ලබා සිටි ඉසුරු උදාන දැවීයෑමත් සමග ශ්‍රී ලංකා කණ්ඩායමේ අවසන් බලාපොරොත්තුවත් බිඳ වැටුණ අතර ඒ සමගම ශ්‍රී ලංකා කණ්ඩායමේ පසුපෙළ පිතිකරුවෝ එකා පිට එකා දැවී ගියහ.  

මුලු ලකුණු සංඛ්‍යාව 42 ක් වන විට ශ්‍රී ලංකා ඉනිමේ පළමු කඩුල්ල ලෙස ධනංජය ද සිල්වා ලකුණු 8 කට දවාගැනීමට ඞ්වේන් ප්‍රිටෝරියස් සමත් විය. එතැන් පටන් ශ්‍රී ලංකා ලකුණු පුවරුවට තවත් ලකුණු 37 ක් එක්වන විට පිතිකරුවන් සිවුදෙනෙක්ම ආපසු ක්‍රීඩාගාරය වෙත හරවා යැවීමට ඇන්ඩිල් පෙලුක්වායෝ සහ ජූනියර් ඩලා සමත් වූහ.

එහිදී අවිෂ්ක ප්‍රනාන්දු සහ කමිඳු මෙන්ඩිස් ලකුණු 1 බැගින් ලබා සිටියදී දැවී ගිය අතර නිරෝෂන් දික්වැල්ල පන්දු 22 කදී හතරේ පහර 7 ක් සමග ලකුණු 38 ක්ද, ඇන්ජලෝ පෙරේරා පන්දු 10 කදී හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමග ලකුණු 15 ක්ද ලබා සිටියදී පිටියෙන් ඉවත්ව ගියහ.

එක්දින තරගාවලියේදී මෙන්ම විස්සයි20 තරගාවලියේදීත් දිගින් දිගටම අසාර්ථක වූ තිසර පෙරේරාට මෙම තරගයේදීද සිය සුපුරුදු දස්කම් අතරට පැමිණීමට නොහැකි විය. රීසා හෙන්ඩ්‍රික්ගේ දක්ෂ පන්දු රැකීම හමුවේ දුවද්දී දැවීයෑමකට හසුවන විට තිසර ලබා සිටියේ ලකුණු 8 ක් පමණි.

පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානු කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 2 ක් දැවී ලකුණු 198 ක් ලබාගත් අතර ඉනිම නිමාවන තෙක්ම කඩුල්ලේ රැදී සිටි ඞ්වේන් ප්‍රිටෝරියස් පන්දු 42 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 7 ක් සමග නොදැවී ලකුණු 77 ක් රැස්කිරීමට සමත් විය.   

ආරම්භක පිතිකරු රීසා හෙන්ඩ්‍රික්ස් (66) සමග දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 55 කදී ලකුණු 110 ක සම්බන්ධතාවක් ගොඩනැගූ ප්‍රිටෝරියස්, ඉන් නොනැවදී නායක ජේ.පී. ඩුමිනි (34) සමග එක්ව පන්දු 30 කදී ලකුණු 71 ක සම්බන්ධතාවක්ද ගොඩනගමින් දකුණු අප්‍රිකානු ඉනිම ගොඩනැගුවේය.

ජෙෆ්රි වැන්ඩසේගේ පන්දුවක් කඩුල්ලේ වැදීමෙන් දැවීයන විට පන්දු 52 කට මුහුණදී සිටි හෙන්ඩ්‍රික්ස් හයේ පහර 2 කින් සහ හතරේ පහර 8 කින් සිය අර්ධ ශතකය සරසා තිබිණ. පන්දු 14 කදී වාර්තා වූ ඩුමිනිගේ ඉනිමට හයේ පහර 3 ක් සහ හතරේ පහර 2 ක් අන්තරගත විය.

මුලු ලකුණු සංඛ්‍යාව 37 ක් වන විට ආරම්භක පිතිකරු ඒඞ්න් මාක්‍රම් පිටියෙන් ඉවත් කිරීමට සුරංග ලක්මාල් සමත් විය. පිත්තේ මැද කොටසේ වැදී ඉහළ ගිය පන්දුව මිඞ් ඕන් කලාපයේ පන්දු රකිමින් ලසිත් මාලිංගගේ දෑත් අතර සිරවීමත් සමග මාක්‍රම්ගේ ඉනිම ලකුණු 15 කට සීමා විය.

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ලසිත් මාලිංග පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළේය. පළමු සහ දෙවැනි තරගවලට සහභාගි වූ කුසල් මෙන්ඩිස්ට මෙම තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ස්ථානයක් අහිමි වී ඇති අතර ඔහු වෙනුවට සුරංග ලක්මාල් කණ්ඩායමට කැඳවා සිටියි.

 

 

-036

 


අදහස් (0)

දකුණු අප්‍රිකානුවෝ 3-0 කින් ශ්‍රී ලංකාව පරදවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.