Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner දඟ පන්දු යවන්නෝ දඹුල්ල දිනවති

දඟ පන්දු යවන්නෝ දඹුල්ල දිනවති

රොෂාන් ගුණරත්න - 2018 අගෝ මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන විස්සයි20 ප්‍රධාන ක්‍රිකට් තරගාවලියේ සිවුවැනි තරගය ලෙස ගාල්ල කණ්ඩායමට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (22 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 95 ක පහසු ජයක් වාර්තා කිරීමට දඹුල්ල කණ්ඩායම සමත් විය. 

ජයග්‍රහණය සඳහා ලකුණු 180 ක ඉලක්කයක් හඹාගිය ගාල්ල කණ්ඩායම ඕවර 17.5 ක් අවසානයේ ලකුණු 84 කට සීමා කිරීමට දඹුල්ල කණ්ඩායමේ දඟ පන්දු යවන්නෝ සමත් වූහ. එහිදී විශිෂ්ට පන්දු යැවීමක නිතර වූ ධනුෂ්ක ගුණතිලක ලකුණු 21 කට කඩුලු 4 ක් දවාගනිමින් ගාල්ල ඉනිම අඩපණ කළ අතර වනිඳු හසරංග ලකුණු 11 කට කඩුලු 3 ක් දවාගනිමින් දඹුල්ල කණ්ඩායමේ ජයග්‍රහණය ඉක්මන් කළේය. 

ගුණතිලකගේ පන්දුවක් හමුවේ රමිත් රඹුක්වැල්ල අතට උඩ පන්දුවක් දෙමින් ආරම්භක පිතිකරු නිරෝෂන් දික්වැල්ල ලකුණු 13 කට දැවී ගිය අතර සෙසු ආරම්භක පිතිකරුවා වූ කුසල් මෙන්ඩිස් ලකුණු 4 කට දැවී ගියේ අෂාන් ප්‍රියන්ජන්ගේ පන්දුවක් හමුවේ අමිල අපොන්සු අතට උඩ පන්දුවක් දෙමිනි. ඉන් අනතුරුව ධනංජය ද සිල්වා (13), ඇන්ජලෝ පෙරේරා (7) සහ අසේල ගුණරත්න (0) ද අඩු ලකුණු සංඛ්‍යාවන්ට පිටියෙන් ඉවත් කළ ගුණතිලක, ලකුණු 53 කට කඩුලු 5 ක් ලෙස ගාල්ල කණ්ඩායම අසීරු තත්වයකට ඇද දැමුවේය. 

එතැන් පටන් ලකුණු පුවරුවට තවත් ලකුණු 22 ක් එක්වන විට ගාල්ල කණ්ඩායමේ අවසන් කඩුලු 5 ම බිඳ වැටුණ අතර පන්දු 22 කදී ලකුණු 17 ක් ලබා සිටි දිමුත් කරුණාරත්න දුවද්දී දැවී යෑමකට හසුවීමත් සමග සෙසු පිතිකරුවන් එකා පිට එකා දැවී යෑම ආරම්භ විය. ලකුණු 6 ක් ලබා සිටි ජෙහාන් ඩැනියෙල්ගේ කඩුල්ල බිඳ දැමූ වනිඳු හසරංග, ගාල්ල කණ්ඩායමේ නායක සුරංග ලක්මාල් කඩුල්ල මුවාකිරීමේ වරදට හසුකර ගත්තේ ඔහු ලකුණු ලබාගැනීම ආරම්භ කිරීමටත් පෙරාතුවය. ගාල්ල ඉනිමේ අවසන් කඩුල්ල ලෙස ප්‍රභාත් ජයසූරිය දැවී ගියේද හසරංගගේ පන්දුවක් හමුවේ අශාන් පියන්ජන් අතට උඩ පන්දුවක් දෙමිනි. 

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් දඹුල්ල කණ්ඩායම කඩුලු 6 ක් දැවී ලකුණු 179 ක් ලබාගත්තේය. මුලු ලකුණු සංඛ්‍යාව 14 ක් වන විට දඹුල්ල කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් දෙදෙනාම කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකර ගනිමින් ආපසු ක්‍රීඩාගාරය වෙත හරවා යැවීමට ධනංජය ද සිල්වා සමත් විය. දැවීයන විට ධනුෂ්ක ගුණතිලක හතරේ පහර 3 ක් සමගින් ලකුණු 13 ක් ලබා සිටි අතර රමිත් රඹුක්වැල්ල ලකුණු ලබාගැනීම ආරම්භ කර තිබුණේ නැත. 

කෙසේ වුවත් තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 71 කදී ලකුණු 101 ක සම්බන්ධතාවක් ගොඩනැගීමට සමත් වූ සධීර සමරවික්‍රම සහ අශාන් ප්‍රියන්ජන් දඹුල්ල කණ්ඩායමේ ඉනිම ගොඩනැගූහ. පන්දු 37 කදී හතරේ පහර 7 ක් සමග ලකුණු 48 ක් ලබා සිටියදී ජෙෆ්රි වැන්ඩසේගේ පන්දුවක් කඩුල්ලේ වැදීම හේතුවෙන් සධීරට අර්ධ ශතකය පෙනී පෙනී පිටියෙන් ඉවත්ව යෑමට සිදුවිය.  

ඊයේ (21 වැනිදා) මහනුවර කණ්ඩායමට එරෙහිව පැවැති තරගයේදී වේගවත් පිතිහරඹයක නිරත වෙමින් ශතකයක් ලබාගත් අශාන් ප්‍රියන්ජන්, මෙම තරගයේදී තරමක් ඉවසිලිවන්ත පිතිහරඹයක නිතර වෙමින් පන්දු 41 කදී හයේ පහරක් සහ හතරේ පහර 6 ක් සමග ලකුණු 57 ක් රැස්කළේ දඹුල්ල කණ්ඩායමේ බර කරට ගනිමිනි. සුරංග ලක්මාල්ගේ පන්දුවක් හමුවේ ගැසූ පහරකින් ඉහළ නැගි පන්දුව යළිත් ලක්මාල් අතටම පතිත වීම හේතුවෙන් ප්‍රියන්ජන්ගේ ඉනිම නිමාවට පත්විය. 

අවසන් ඕවර කිහිපයේදී පන්දු 17 කට මුහුණදුන් හසිත බෝයගොඩ, හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමග නොදැවී ලකුණු 29 ක් රැස්කරමින්ද, නායක ඉසුරු උදාන පන්දු 11 කදී හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමග ලකුණු 25 ක් රැස්කරමින්ද දඹුල්ල කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමූහ. කඩුලු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ගේ සහායද ඇතිව වනිඳු හසරංග පිටියෙන් ඉවත් කළ කසුන් රාජිත, අවසන් ඕවරයේදී ඉසුරු උදානගේ කඩුල්ලද බිඳ දැමුවේය. 

 

ඡායාරූප - ළහිරු හර්ෂණ


අදහස් (0)

දඟ පන්දු යවන්නෝ දඹුල්ල දිනවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.