Last Update  :  2025-04-21 11:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner දඟ පන්දු යවන්නෝ ශ්‍රී ලංකා යොවුන් පිල දිනවති

දඟ පන්දු යවන්නෝ ශ්‍රී ලංකා යොවුන් පිල දිනවති

සංජය එරමුදුගොඩ - 2018 අගෝ මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දඟ පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දුයැවීම හමුවේ ඉන්දීය යොවුන් කණ්ඩායමට එරෙහිව කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී අද (5 වැනිදා) පැවැති තෙවැනි එක්දින තරගයෙන් ලකුණු 7 ක තියුණු ජයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම සමත් විය. මෙම ජයග්‍රහණයත් සමග දෙරට අතර පැවැත්වෙන තරග 5 කින් සමන්විත එක්දින තරගාවලිය 2-1 ක් ලෙස පෙරමුණ ගැනීමටද ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත් වූහ.

ජයග්‍රහණය සඳහා ලකුණු 221 ක ඉලක්කයක් හඹාගිය ඉන්දීය යොවුන් කණ්ඩායම ඕවර 49.3 ක් අවසානයේ ලකුණු 213 කට සීමා කිරීමට ශෂික දුල්ෂාන් ප්‍රමුඛ ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වූහ. එහිදී බිඳවැටුණ කඩුලු 10 න් 8 ක්ම ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ දඟ පන්දු යවන්නන් අතරේ බෙදී ගියේය. දෙවැනි එක්දින තරගයේදී මෙන්ම මෙම තරගයේදීද ඉන්දීය පිතිකරුවන්ට මහත් හිසරදයක් වූ ශෂික දුල්ෂාන්, කඩුලු 3 කට බිඳහෙළුවේ සිය ඕවර 10 ලකුණු 37 කට සීමා කරමිනි.

ඉන්දීය කණ්ඩායමට තරගය ජයගැනීම සඳහා අවසන් ඕවර දෙකේදී ලකුණු 20 ක් රැස්කිරීමට සිදුවූ අතර ඒ වන විට ඔවුහු කඩුලු 4 ක් අතැතිව සිටියහ. ඉනිමේ 49 වැනි ඕවරය යැවූ සඳුන් මෙන්ඩිස් කඩුලු 2 ක් දවාගනිමින් එම ඕවරය ලකුණු 11 කට සීමා කළේ ඉන්දීය කණ්ඩායම අවසන් ඕවරයේදී ලකුණු 9 ක් රැස්කිරීමේ අභියෝගයකට ලක් කරමිනි.

අවසන් ඕවරය යැවීම සඳහා පැමිණි නවෝද් පරණවිතාන, එහි දෙවැනි පන්දුවේදී ඉන්දීය ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්ව සිටි පවන් ෂා (77) පිටියෙන් ඉවත් කළේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රාහී බලාපොරොත්තු තවත් ඉහළ නංවමිනි. තෙවැනි පන්දුවේදී ඉන්දීය කණ්ඩායමේ අවසන් පිතිකරු සිද්ධාර්ත් දේසායි දුවද්දී දවාගැනීමකට හසුකරගත් සොනාල් දිනූෂ, සිය මංගල යොවුන් එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගය අමතක නොවන එකක් බවට පත්කර ගත්තේය.  

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම ඕවර 49.3 ක් අවසානයේ ලකුණු 220 ක් ලබාගත් අතර එහිදී පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 136 කදී ලකුණු 100 ක සම්බන්ධතාවක් ගොඩනැගූ නවෝද් පරණවිතාන (51) සහ නිෂාන් මධුෂංක (42) ශ්‍රී ලංකා කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදුන්හ. පන්දු 73 කට මුහුණුදුන් නවෝද් හතරේ පහර 6 කින් සිය අර්ධ ශතකය සැරසූ අතර පන්දු 69 කදී වාර්තා වූ නිෂාන්ගේ ඉනිමට හතරේ පහර 4 ක් ඇතුළත් විය.

නායක නිපුන් ධනංජය හතරේ පහර 2 ක් සමග ලකුණු 26 ක්ද, නිපුන් මාලිංග හයේ පහරක් සමග ලකුණු 24 ක්ද, සොනාල් දිනූෂ හතරේ පහරක් සමග ලකුණු 20 ක්ද රැස්කරමින් ශ්‍රී ලංකා යොවුන් ඉනිම ගොඩනැගීම සඳහා සිය දායතක්වය සැපයූහ.

වරෙක ලකුණු 201 කට කඩුලු 5 ක් ලෙස ප්‍රබල තත්වයක පසුවූ ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ අවසන් කඩුලු 5 ලකුණු 19 ක් තුළ බිඳ දැමීමට ඉන්දීය පන්දු යවන්නෝ සමත් වූහ. එහිදී සිද්ධාර්ත් දේසායි, යතින් මන්ග්වානි සහ අජේ දේව් කඩුලු 2 බැගින් දවගානමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.

 

ඡායාරූප - චතුර එස්. කොඩිකාර

 


අදහස් (0)

දඟ පන්දු යවන්නෝ ශ්‍රී ලංකා යොවුන් පිල දිනවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.