Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් සාමාජ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ ‘ඒ’ ශ්‍රේණිය යටතේ පැවැති තරගාවලිය අවසන් වනවිට පිතිකරුවන් සිව්දෙනෙකු ලකුණු 1000 පසුකිරීමට සමත්වූ අතර අතර කඩුලු 50 සීමාව පසුකිරීමට පන්දු යවන්නන් සිවුදෙනෙකු සමත්ව සිටිති.
හලාවත මේරියන්ස් පිලේ ඕෂධ ප්‍රනාන්දු (1181), එන්.සී.සී පිලේ පැතුම් නිස්සංක (1088), ද්‍රවිඩ සංගම් පිලේ සචිත්‍ර සේරසිංහ (1001) සහ කෝල්ට්ස් පිලේ ප්‍රියමාල් පෙරේරා (1001) ලකුණු 1000 පසුකළ පිතිකරුවෝ වෙති.
සී.සී.සී පිලේ මාලින්ද පුෂ්පකුමාර (63), හලාවත මේරියන්ස් පිලේ සාගර් උදේෂී (57), එස්.එස්.සී පිලේ තරිඳු රත්නායක (53) සහ සැරසන්ස් පිලේ චාමිකර එදිරිසිංහ (52) කඩුලු 50 පසුකළ පන්දු යවන්නෝ වෙති.
තරගාවලිය අවසන් වනවිට ද්විත්ව ශතක 15 ක් වාර්තාවූ අතර එස්.එස්.සී පිලේ කෞෂාල් සිල්වා, කෝල්ට්ස් පිලේ ප්‍රියමාල් පෙරේරා, එන්.සී.සී පිලේ ඇන්ජලෝ පෙරේරා සහ සැරසන්ස් පිලේ ප්‍රමෝද් මදුවන්ත ද්විත්ව ශතක දෙක බැගින් ලබාගැනීමට සමත්වූහ. බී.ආර්.සී පිලේ භානුක රාජපක්ෂ, හලාවත මේරියන්ස් පිලේ ඕෂධ ප්‍රනාන්දු, කෝල්ට්ස් පිලේ අවිෂ්ක ප්‍රනාන්දු, ද්‍රවිඩ සංගම් පිලේ තරංග පරණවිතාන, රාගම පිලේ සමීර ද සොයිසා, එන්.සී.සී පිලේ පැතුම් නිස්සංක සහ ද්‍රවිඩ සංගම් පිලේ සචිත්‍ර සේරසිංහ ද්විත්ව ශතක ලබාගත් සෙසු පිතිකරුවෝ වූහ.
එන්.සී.සී පිලේ ඇන්ජලෝ පෙරේරා එස්.එස්.සී පිලට එරෙහිව ඉනිම දෙකෙහිදීම ද්විත්ව ශතක ලබාගනිමින් පළමු පෙල තරගයකදී එවැනි දස්කමක් සිදුකළ ලොව දෙවැනි පිතිකරුවා ලෙස වාර්තා පොත් අතරට යෑම මෙවර තරගාවලියේ කැපී පෙනෙන සිදුවීමක් විය.
ද්විත්ව ශතක 15 ට අමරතව ශතක 114 ක් ද මෙවර තරගාවලියේදී වාර්තාවූ අතර වැඩිම ශතක රැස්කළ කණ්ඩායම බවට ශතක 17 ක් ලබාගත් එන්.සී.සී පිල සමත්විය. ද්‍රවිඩ සංගම් පිලෙන් ශතක 16 ක්, කෝල්ට්ස් පිලෙන් ශතක 14 ක්, හලාවත මේරියන්ස් පිලෙන් ශතක 11 ක් සහ සැරසන්ස් පිලෙන් ශතක 10 ක් වාර්තා විය. මෙවර ශූරතාව හිමිකරගත් සී.සී.සී පිලෙන් වාර්තා වූයේ ශතක 6 ක් පමණක් වන අතර ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කළ පිතිකරුවන් රැසකගෙන් සමන්විත එස්.එස්.එස් පිලෙන් වාර්තා වූයේ ශතක 5 ක් පමණි.
යුදහමුදා පිලට එරෙහිව ලකුණු 273 ක් රැස්කළ කෞෂාල් සිල්වා මෙවර තරගාවලියේදී පිතිකරුවකු විසින් ඉනිමකදී රැස්කළ වැඩිම ලකුණු සංඛ්‍යාවේ වාර්තාවට හිමිකම් කිවේය.
හලාවත මේරියන්ස් පිල නියෝජනය කරන ඕෂධ ප්‍රනාන්දු තරග 9 ක ඉනිම 16 කදී ලකුණු 1181 ක් රැස්කරමින් තරගාවලියේ වැඩිම ලකුණු ලබාගත් පිතිකරුවා බවට පත්වූ අතර ඊට ශතක 6 ක් සහ අර්ධ ශතක 4 ක් ඇතුළත් විය. ලකුණු ලබාගැනීමේ සාමාන්‍යය 73.81 ක් ලෙස රඳවාගෙන ඇති ඕෂධ ප්‍රනාන්දු හයේ පහර 39 ක් සහ හතරේ පහර 106 ක් මෙවර තරගාවලියේදී එල්ලකර ඇත.
අයර්ලන්ත ‘ඒ’ පිලේ ශ්‍රී ලංකා සංචාරය හේතුවෙන් පළමු පෙළ තරගාවලියේ තරග 3 ක් අහිමිවූ පැතුම් නිස්සංක ලකුණු 1088 ක් රැස්කරමින් මෙවර තරගාවලියේ වැඩිම ලකුණු රැස්කළ පිතිකරුවන් අතර දෙවැනි ස්ථානයට පත්වීමට සිදුවිය. අහිමිවූ තරග 3 ක්‍රීඩා කිරීමට ඔහුට අවස්ථාව හිමිවූයේ නම් මෙවර පළමු පෙළ තරගාවලියේ වැඩිම ලකුණු රැස්කළ පිතිකරුවා මෙන්ම දකුණු අප්‍රිකානු සංචාරය සඳහාද ඔහුව තෝරා ගැනීමටද අවස්ථාව තිබුණි.
පිට පිට තෙවැනි වරටත් අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ වැඩිම කඩුලු දවාගත් පන්දු යවන්නා බවට පත්වීමට සී.සී.සී පිලේ මාලින්ද පුෂ්පකුමාර සමත්විය. පසුගිය වසර දෙක තුලදී හලාවත මේරියන්ස් පිල නියෝජනය කළ වමතින් දඟපන්දු යවන මාලින්ද මෙවර සී.සී.සී පිල නියෝජනය කරමින් තරග 9 කදී කඩුලු 63 ක් දවාගැනීමට සමත්විය. ඊට කඩුලු 10 බැගින් දවාගත් අවස්ථා 2 ක් සහ කඩුලු 5 බැගින් දවාගත් අවස්ථා 7 ක් ඇතුළත් විය.
සැරසන්ස් පිලට එරෙහිව ලකුණු 37 කට කඩුලු 10 දවාගත් මාලින්ද පුෂ්පකුමාර ඉනිමක හොදම පන්දු යැවීම වාර්තා කරමින් පළමු පෙළ තරගයකදී එවැනි දස්කමක් කළ දෙවැනි ශ්‍රී ලංකා පන්දු යවන්නා ලෙස වාර්තා පොත් අතරට යෑම මෙවර තරගාවලියේ කැපී පෙනෙන පෙනෙන සිදුවීමක් විය. එමෙන්ම මෙවර තරගාවලියේදී සැරසන්ස් පිලට එරෙහිව ලකුණු 110 කට කඩුලු 16 ක් දවාගත් මාලින්ද තරගයක හොදම පන්දු යැවීම සිදු කිරීමට සමත්විය.
ද්‍රවිඩ සංගම් පිලේ සචිත්‍ර සේරසිංහ ලකුණු 1001 ක් සහ කඩුලු 19 ක් ද, යුදහමුදා පිලේ දුශාන්ත විමුක්ති ලකුණු 889 ක් සහ කඩුලු 39 ක් ද, එන්.සී.සී පිලේ චතුරංග ද සිල්වා ලකුණු 784 ක් සහ කඩුලු 36 ක් ද, සී.සී.සී පිලේ වනිඳු හසරංග ලකුණු 765 ක් සහ කඩුලු 33 ක් ද දවාගනිමින් පිත්තෙන් මෙන්ම පන්දුවෙන්ද දස්කම් දැක්වූහ.
තරගාවලියේ දස්කම්
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.