Last Update  :  2025-04-21 11:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner දෙපිලේම පිතිකරුවන් කරට කර

දෙපිලේම පිතිකරුවන් කරට කර

රොෂාන් ගුණරත්න - 2018 ජුනි මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කැරිබියන් දූපත්හී තරග සංචාරයක නිරත ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම අතර පළමු ටෙස්ට් තරගය ටි්‍රනිඩෑඞ්හී ක්වින්ස් පාර්ක් ඕවල් ක්‍රීඩාංගණයේදී හෙට (6 වැනිදා) ආරම්භවීමට නියමිතව ඇත.

දෙපිල අතර පළමු ටෙස්ට් තරගය ඇරඹී 1993 වසරේ සිට අවසන් ටෙස්ට් තරගය පැවැති 2015 අතර කාලය තුළ ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම් තරග 17 කදී හමුවී තිබේ. එහිදි ටෙස්ට් තරග 11 ක් ශ්‍රී ලංකාවේදී ද තරග 6 ක් කැරිබියන් දූපත්හීදීද පවත්වා ඇත.

දෙපිල අතර පැවැති ටෙස්ට් තරග 17 න් 8 කදී ජයග්‍රහණ වාර්තා කිරීමට ශ්‍රී ලංකාව සමත්වන විට බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායමට ජයගැනීමට හැකිවූයේ තරග 3 ක් පමණි. තරග 6 ක් ජය පරාජයෙන් තොරව අවසන්වී ඇත.

ශ්‍රී ලංකාව ජයගත් තරග 8 න් තරග 7 ක්ම ශ්‍රී ලංකාවේදී ජයගෙන ඇති අතර කැරිබියන් දූපත්හිදී ජයගෙන ඇත්තේ එක් තරගයක් පමණි. ගයනාහී ප්‍රොවිඩන්ස් ක්‍රීඩාංගණයේදී ජයගත් තරගය මහේල ජයවර්ධන විසින් මෙහෙයවූ අතර එම තරගයට සහභාගීවූ ක්‍රීඩකයින්ගෙන් මෙවර සංචාරය සඳහා එක්වන්නේ රංගන හේරත් පමණි.

වේගපන්දු යවන්නන් සඳහා උචිත තණතීරු ලැබුණු බැවින් වමතින් දඟපන්දු යවන රංගන හේරත්ට එම තරගයේදී කඩුල්ලක් දවාගැනීමට අවස්ථාව හිමි නොවීය. 

වර්තමාන ශ්‍රී ලංකා කණ්ඩායමෙන් කැරිබියන් දූපත්හිදී ටෙස්ට් තරගයකට ක්‍රීඩාකළ එකම ක්‍රීඩකයා රංගන හේරත් වුවද වසර 10 ක් තුළ එහිදී ටෙස්ට් තරගයක් ක්‍රීඩාකළ නොකළ බැවින් ඔහුටද එම ක්‍රීඩාංගණ පිළිබඳව වැඩි අවබෝධයක් තිබිය නොහැකිය. 

කොදෙව් ක්‍රීඩකයින්ට එරෙහිව තරග 12 කට ක්‍රීඩාකළ කුමාර් සංගක්කාර ලකුණු 918 ක් රැස්කර ඇති අතර තරග 12 කදී ලකුණු 748 ක් රැස්කළ මහේල ජයවර්ධන දෙවැනි ස්ථානයේ පසුවන්නේය.

තරග 9 කදී කඩුලු 59 ක් දවාගත් මුත්තයියා මුරලිදරන් කොදෙව් ක්‍රීඩකයින්ට එරෙහිව වැඩිම කඩුලු දවාගත් පන්දු යවන්නන් අතර පෙරමුණේ පසුවන්නේය. තරග 3 කදී කඩුලු 18 ක් දවාගැනීමට රංගන හේරත්ට හැකිවිය.

බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායමට එරෙහිව එක් ද්විත්ව ශතකයක් (නොදැවී 204) වාර්තාවී ඇති අතර ඊට හිමිකාරත්වය දරන්නේ හෂාන් තිලකරත්නය. ශ්‍රී ලංකාව වෙනුවෙන් ශතක 10 ක් වාර්තාවී ඇති අතර ඉන් ශතක 6 ක් ශ්‍රී ලංකාවේදීද ශතක 4 ක් කැරිබියන් දූපත්හිදී වාර්තාවිය.

ශ්‍රී ලංකාවට එරෙහිව කොදෙව් පිතිකරුවන් විසින් ශතක 8 ක් ලබාගෙන ඇති අතර ඊට ක්‍රිස් ගේල් විසින් ලබාගත් ත්‍රිත්ව ශතකයකද (333) ඇතුලත්විය. ද්විත්ව ශතක දෙකක් සමගින් ශතක 5 ක් ලබාගැනීමට කොදෙව් කණ්ඩායමේ සිටි ශ්‍රේෂ්ඨ පිතිකරුවකුවූ බ්‍රයන් ලාරාට හැකිවිය.

ශ්‍රී ලංකා - බටහිර ඉන්දීය කොදෙව් තරග ඉතිහාසය
වර්ෂය තීරණය  ක්‍රීඩාංගණය
1993 විසඳුමකින් තොරව අවසන්විය මොරටුව ද සොයිසා
1997 බ.ඉ.කොදෙව්වන්ට කඩුලු 6 ක ජයක් ඇන්ටිගුවා
1997 විසඳුමකින් තොරව අවසන්විය කිංග්ස් ටවුන්
2001 ශ්‍රී ලංකාවට කඩුලු 10 ක ජයක් ගාල්ල
2001 ශ්‍රී ලංකාවට ලකුණු 131 ක ජයක් පල්ලේකැලේ
2001 ශ්‍රී ලංකාවට කඩුලු 10 ක ජයක් එස්.එස්.සී
2003 විසඳුමකින් තොරව අවසන්විය ශාන්ත ලුසියා
2003 බ.ඉ.කොදෙව්වන්ට කඩුලු 7 ක ජයක් කිංග්ස්ටන්
2005 ශ්‍රී ලංකාවට කඩුලු 6 ක ජයක් එස්.එස්.සී
2005 ශ්‍රී ලංකාවට ලකුණු 240 ක ජයක් පල්ලේකැලේ
2008 ශ්‍රී ලංකාවට ලකුණු 121 ක ජයක් ගයනා
2008 බ.ඉ.කොදෙව්වන්ට කඩුලු 6 ක ජයක් ක්වින්ස් පාර්ක්
2010 විසඳුමකින් තොරව අවසන්විය ගාල්ල
2010 විසඳුමකින් තොරව අවසන්විය ආර්.ප්‍රේමදාස
2010 විසඳුමකින් තොරව අවසන්විය පල්ලේකැලේ
2015 ශ්‍රී ලංකාවට ඉනිමක සහ ලකුණු 6 ක ජයක් ගාල්ල
2015 ශ්‍රී ලංකාවට ලකුණු 72 ක ජයක් පී.සරවණමුත්තු

අදහස් (0)

දෙපිලේම පිතිකරුවන් කරට කර

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.