Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ලෝක කුසලාන තරගාවලිය අත පොවන මානයේ තිබියදී ආරම්භ වන තරග 5 කින් සමන්විත එක්දින තරගාවලිය සත්කාරක දකුණු අප්‍රිකානු පිලට මෙන්ම සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමටද එක ලෙසින් වැදගත් වී තිබේ.
මෑත කාලයේදී පරාජයන් වැලක හිමිකරුවා වූ ශ්‍රී ලංකා කණ්ඩායමට සතුටු වීමට ඇත්තේ දකුණු අප්‍රිකාවට එරෙහිව ලද ටෙස්ට් තරගාවලි ජය පමණි. ගෙවී ගිය මාස 12 ක කාලය ඇතුළත ශ්‍රී ලංකා කණ්ඩායම එකම එක්දින තරගාවලියකින් හෝ ජයගෙන නැත. එම මාස 12 ක කාලයේදී සහභාගි වූ එක්දින තරග 15 අතුරින් ශ්‍රී ලංකාව ජයගෙන ඇත්තේ තරග 3 ක් පමණි.
ශ්‍රී ලංකාව අවසන් වරට එක්දින තරගාවලියක් ජයගත්තේ 2018 ජනවාරියේදී බංග්ලාදේශ පිලට එරෙහිව බංග්ලාදේශයේදීය. එබැවින් දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය ජයගෙන සිටින ශ්‍රී ලංකා කණ්ඩායමට, එක්දින තරගාවලිය, තමන්ගේ අහිමි වූ කීර්තිය සොයාගැනීමට කදිම වේදිකාවකි.
අනෙක් අතට ශ්‍රී ලංකා පිලේ අලුත්ම ටෙස්ට් නායකයා වන දිමුත් කරුණාරත්න තරගාවලිය 2-0 කින් ජයගැනීමෙන් පසුව ආපසු සියරට ආවේය. එක්දින පිලේ හිටපු නායක තිසර පෙරේරා සමග පැවැති හීතල යුද්ධයෙන් පසුව නැවත වරක් නායකත්වයේ ඔටුන්න දා ගත් ලසිත් මාලිංගගේ මීළඟ උත්සාහය විය හැක්කේ එක්දින පිලේ නායකත්වයට සුදුස්සා තමන් බව ඔප්පු කිරීමය. ඇරත් ශ්‍රී ලංකා පිල සහභාගි වූ අවසන් එක්දින තරගාවලිය වන නවසීලන්ත පිලට එරෙහිව පැවැති එක්දින තරගාවලිය ලසිත් මාලිංගගේ නායකත්වය යටතේ 3-0 ක් ලෙසින් පරාජය වී තිබේ.
වසර 1992 දී නැවතත් ලෝක ක්‍රිකට් පිටියට පිවිසි දා පටන් දිගින් දිගටම බිඳ වැටෙමින් තිබෙන ලෝක කුසලාන සිහිනය දෙස දෑස් දල්වා බලා සිටින දකුණු අප්‍රිකානුවන්ට නම් වැඩිපුර සිතන්නට දෙයක් නැත. එක්දින තරගාවලියේදී ශ්‍රී ලංකා පිල තලා පෙළා දැමීම ඉදිරියේ එන ලෝක කුසලාන තරගාවලියට කදිම පෙරහුරුවකටත් වඩා ටෙස්ට් තරගාවලියේදී ලද නින්දාව වසා ගැනීමටත් ඉවහල් වන කාරණයකි.
එබැවින් ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන තරග 5 කින් සමන්විත එක්දින තරගාවලිය හොඳ උණුසුමක් ඇති තරගාවලියක් වීමට ඕනෑවටත් වඩා කාරණා තිබේ.
තරගාවලියේ පළමු වැන්න ජොහැන්නස්බර්ග් නුවර වොන්ඩරාස් ක්‍රීඩාංගණයේදී හෙට (3 වැනිදා) සිට ආරම්භ වෙයි. දිවා තරගයක් වන මෙම තරගය ශ්‍රී ලංකාවේ වේලාවෙන් පස්වරු 1.30 ට ආරම්භ වීමට නියමිතය
තමන්ගේ ක්‍රීඩකයන් කවුරුන් විය යුතුද යන්න සම්බන්ධයෙන් දෙපිලම දෙගිඩියාවෙන් සිටිති. දකුණු අප්‍රිකානු සංචිතයට තෝරා ගන්නා ලද ක්‍රීඩකයන් 14 දෙනාගෙන් වැඩි පිරිසක් පන්දු යවන්නෝ වෙති. එහෙත් ඔවුන් තෝරාගනු ලැබ ඇත්තේ පළමු තරග 3 සඳහා පමණි. ලෝක කුසලාන තරගාවලිය සඳහා තවත් ක්‍රීඩකයන් අත්හදා බැලීමට දකුණු අප්‍රිකානුවෝ සූදානමින් සිටිති. කෙසේ වෙතත් ටෙස්ට් තරගාවලියට ක්‍රීඩා කළ දකුණු අප්‍රිකානුවෝ පස් දෙනෙක් එක්දින තරගාවලියටත් එක්වී සිටිති.
ලෝක කුසලාන තරගාවලියට රැගෙන යා හැක්කේ ක්‍රීඩකයන් 15 දෙනකු පමණක් වුවද ශ්‍රී ලංකා සංචිතයේ ක්‍රීඩකයෝ 17 ක් සිටිති. තමන්ගේ ක්‍රීඩකයන් කොයි තරම් දුරට ආබාධ වලට ලක්විය හැකිද යන්න තේරීම් කමිටු නිලධාරීන්ට තිබෙන බිය සහ සැකය තහවුරු කිරීමට මීටත් වඩා සාධක උවමනා නැත. ආබාධවල තත්ත්වය අවිනිශ්චිතව තිබියදීත් ටෙස්ට් පිලේ සිටි ශ්‍රී ලාංකිකයෝ හත් දෙනෙක් එක්දින තරගාවලිය සඳහා දකුණු අප්‍රිකාවේ නතර වූහ. ටෙස්ට් තරගාවලියේදී ලද සාර්ථකත්වය මෙම ක්‍රීඩකයන්ගේ මනස තුළ කිඳාබැස ඇති බැවින් ශ්‍රී ලංකා කණ්ඩායමෙන් හොඳ දස්කම් අපේක්‍ෂා කළ හැකිය.
ශ්‍රී ලංකාවේ තරුණ ක්‍රීඩකයන් වන අවිශ්ක ප්‍රනාන්දු (72), ඕෂධ ප්‍රනාන්දු (63), කමිඳු මෙන්ඩිස් (නොදැවී 26) සහ ප්‍රියමාල් පෙරේරා (නොදැවී 31) සාර්ථක වීම නිසා පුහුණු එක්දින තරගයේදී ලකුණු 305 ක ඉලක්කයක් සාර්ථකව හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම ඕවර 9 ක් ඉතිරිව තිබියදීම තරගය ජයගත්තේය. පළපුරුදු ක්‍රීඩකයන් වන ලසිත් මාලිංග, තිසර පෙරේරා සහ උපුල් තරංග තිදෙනාගේ එක්වීම ශ්‍රී ලංකා කණ්ඩායම සවිමත් කළද, ලසිත් මාලිංගගේ නායකත්වය යටතේ තිසර පෙරේරා තරග වදින ආකාරය බලා සිටීමත් උනන්දුව වඩවන්නක් විය හැකිය.
ටෙස්ට් තරගාවලිය පැවැති ඩර්බන් සහ පෝර්ට් එළිසබෙත් නගරවල ක්‍රීඩාංගණ වලට වඩා ජොහැන්නස්බර්ග්, සෙන්චූරියන් සහ කේප් ටවුන් යන නගර වල වඩාත් වේගවත් තණතීරු අපේක්‍ෂා කළ හැකිය. මෑතකදී සිය ආබාධ වලින් සුවය ලබා කණ්ඩායමට එක්ව සිටින ලුන්ගි න්ගිඩි සහ ඇන්රිච් නෝර්ජේ වැනි වේග පන්දු යවන්නන් එවන් තණතීරු මතදී ශ්‍රී ලංකා පිතිකරුවන්ට අභියෝගයක් වනු ඇත.
තවත් මාස කිහිපයකින් අරඹෙන්නේ තමන්ගේ අවසන් ලෝක කුසලාන තරගාවලිය බව හොඳින්ම දන්නා ඬේල් ස්ටේන් එංගලන්තයට ගුවන් ප්‍රවේශපත්‍රයක් වෙන්කරවා ගැනීමේ ප්‍රබල උත්සාහයක නිරත වනු නිසැකය.
කෙසේ වෙතත් ජේ.පී. ඩුමිනිගේ උරහිසේ ආබාධය දකුණු අප්‍රිකනුවන්ට තරමක හිසරදයක් වී තිබේ. පළමු එක්දින තරග තුන සඳහා තෝරාගන්නා ලද දකුණු අප්‍රිකානු සංචිතයට ඩුමිනි ඇතුළත් වී නැතත් ලෝක කුසලාන තරගාවලියේදී දකුණු අප්‍රිකාව වෙනුවෙන් වැඩි බරක් ඇදීමට අපේක්‍ෂා කරන මෙම පිතිකරුවා අවසන් එක්දින තරග දෙකේදී හෝ දකුණු අප්‍රිකාව වෙනුවෙන් පිටියට එවීමට තේරීම් කමිටුව බලාපොරොත්තුවෙන් සිටී.
ශ්‍රී ලංකා සංචිතය
ලසිත් මාලිංග (නායක), නිරෝෂන් දික්වැල්ල (උප නායක), අකිල ධනංජය, ධනංජය ද සිල්වා, අවිශ්ක ප්‍රනාන්දු, ඕෂධ ප්‍රනාන්දු, විශ්ව ප්‍රනාන්දු, කමිඳු මෙන්ඩිස්, කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ පෙරේරා, කුසල් ජනිත් පෙරේරා, ප්‍රියමාල් පෙරේරා, තිසර පෙරේරා, කසුන් රාජිත, ලක්ෂාන් සඳකැන්, උපුල් තරංග සහ ඉසුරු උදාන
දකුණු අප්‍රිකානු සංචිතය
ෆෆ් ඩුප්ලෙසි (නායක), ක්වින්ටින් ඩි’කොක් (උප නායක), රීසා හෙන්රික්ස්, ඉම්රාන් තහීර්, ඬේවිඞ් මිලර්, වියාන් මල්ඩර්, ලුන්ගි න්ගිඩි, ඇන්රිච් නෝජේ, ඇන්ඩිල් පෙලුක්වායෝ, ඞ්වේන් ප්‍රිටෝරියස්, කගීසෝ රබාඩා, තබ්රේස් ශම්සි, ඬේල් ස්ටේන් සහ රාසි වැන්ඩර්ඩාසන්
තරග කාල සටහන
මාර්තු 3 - ජොහැන්නස්බර්ග්
මාර්තු 6 - සෙන්චූරියන්
මාර්තු 10 - ඩර්බන්
මාර්තු 13 - පෝර්ට් එළිසබෙත්
මාර්තු 16 - කේප් ටවුන්
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.