Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner දේශපාලනඥයන්ගෙන් කී‍්‍රඩාව බේරගන්න - ඇමති නිමල්

දේශපාලනඥයන්ගෙන් කී‍්‍රඩාව බේරගන්න - ඇමති නිමල්

සංජය එරමුදුගොඩ - 2014 අගෝ මස 02 {{hitsCtrl.values.hits}} Views 2 Comment
A A A

දේශපාලඥයන් ක‍්‍රීඩා සංගම් අල්ලගෙන සිටීම වැරදි සහගත බවත් ඒ මදිවාට කිසිම දිනක ක‍්‍රීඩා නොකළ මුදලාලිලා ක‍්‍රීඩා සංගම්වල අරක්ගෙන සිටින බැවින් කී‍්‍රඩාව දේශපාලනඥයන්ගෙන් මෙන්ම මුදලාලිකරණයෙන්ද බේරාගත යුතුව ඇති බවත් වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය. බදුල්ලේ ගෘහස්ථ ක‍්‍රීඩාංගනයේ ඉදිකිරීම් කටයුතු අරඹමින් පසුගියදා පැවති ජන හමුවේදී ඇමතිවරයා මේ බව පවසා සිටියේය.

”මගේ දේශපාලනයේ ප‍්‍රතිපත්ති දෙකක් තියෙනවා. එකක් මගේ ඥාති කිසිවෙකු දේශපාලනයට ගේන්නේ නැහැ. අනික මම කිසිම ක‍්‍රීඩා සංගමයක නිලතල ගන්නේ නැහැ. මොකද ක‍්‍රීඩාව පාලනය කළ යුත්තේ  ක‍්‍රීඩකයෝ සහ ක‍්‍රීඩා ප‍්‍රවීණයෝයි”

”ක‍්‍රීඩාවේ සදාචාරය ගැනත් අද අපිට හිතන්නවෙලා තියෙනවා. මේ තත්වය නිසා අද ක‍්‍රීඩාව දේශපාලනඥයන්ගෙන් මෙන්ම මුදලාලිකරණයෙන් බේරා ගන්න  ඕනෑ” යයිද ඇමතිවරයා පැවසීය.

බදුල්ලේ ගෘහස්ථ ක‍්‍රීඩාංගනයේ ඉදිකිරීම සදහා වැය කරන මුදල රුපියල් ලක්ෂ 1037කි.  ක‍්‍රීඩා අමාත්‍යාංශය ඒ සදහා ප‍්‍රතිපාදන ලබාදී තිබේ. මෙම ගෘහස්ථ ක‍්‍රීඩාගාරයේ බැඞ්මින්ටන්, බර ඉසිලීම, දැල්පන්දු, කැරම්, වොලිබෝල්, පැසිපන්දු සහ මේස පන්දු ක‍්‍රීඩා කිරීමේ පහසුකම් සැපසෙන බව බදුල්ල නගරාධිපති උපාලි නිශ්ශංක මහතා පැවසීය.

වැඩි දුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ වර්තමාන රජය ක‍්‍රීඩාවේ අභිවෘද්ධියට විශාල වැඩ කොටසක් කර තිබෙන නමුත් කී‍්‍රඩාව සම්බන්ධයෙන් විශාල විවේචනයක්ද තිබෙන බවයි.

”ඒ විවේචනවල සාධාරණයකුත් තියෙනවා. මේවා ඔළුවේ තියාගෙන අපිට ඉදිරියට යන්න බැහැ.... ක‍්‍රීඩාව ගොඩ නගන්න නම් වෙච්ච වැරදි සහ අතපසුවීම් හදාගෙනයි අපි ඉදිරියට යායුත්තේ” යයිද ඇමතිවරයා පැවසීය.

බදුල්ලේ ගෘහස්ථ ක‍්‍රීඩාංගනයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමේ අවස්ථාවට පැමිණ සිටි කී‍්‍රඩා සංගම් නිලධාරීන්ගෙන් ඇමතිවරයා විශේෂ ඉල්ලීමක්ද කළේය.
”මේ ක‍්‍රීඩා සංගම්වල නිලධාරීන්ගෙන් මම ඉල්ලා සිටිනවා ඔබ තමුන්නාන්සේලාත් දේශපාලඥයන්ට යටවෙන්න එපා. දේශපාලඥයන් පස්සේ යන්නත් එපා”

”ඔබලා ස්වාධීනව වැඩ කරන්න පුරුදුවෙන්න. අනික ක‍්‍රීඩා සංගම්වල නිලවරණයක් තියෙනකොට ලාහට ගෙම්බෝ එකතු කරනවා වගේ මිනිස්සු එකතු කරගෙන නිලවරණ තියලා තමයි සංගම් හදාගන්නේ. ඒ නිසා මේ ක‍්‍රීඩා සංගම්වල පත්වීම්වල සදාචාරය ගැනත් අපි හිතන්න  ඕනෙ” යයිද පැවසූ ඇමතිවරයා බදුල්ලේ ක‍්‍රීඩා සංවර්ධනය සඳහා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා දෙන සහයෝගය පිළිබඳව කෘතවේදී වියයුතු බවද පැවසීය.

බදුල්ලේ ක‍්‍රීඩා ක්ෂේත‍්‍රයේ භෞතික පක්ෂය සහ තරුණ ක‍්‍රීඩකයන්ගේ දක්ෂතා සංවර්ධනයට ක‍්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ මහතා තමන්ට විශාල සහයෝගයක් දෙන බවත් ඇමතිවරයා පැවසීය.

මෙම අවස්ථාවට හිටපු පළාත් සභා මන්ත‍්‍රී අජිත් හික්කඩුව ලියනගේ, ජාත්‍යන්තර පාපන්දු විනිසුරු නිමල් වික‍්‍රමතුංග, බදුල්ලේ ප‍්‍රවීනයන්ගේ ක‍්‍රීඩා සමාජයේ සමාජිකයින්, බදුල්ලේ ක‍්‍රීඩා සමාජ නියෝජිතයන්, බදුල්ලේ පාසල්වල ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්, ඌව පළාත් ක‍්‍රීඩා අධ්‍යක්ෂ ඇතුළු විශාල පිරිසක් එක් වූහ.


අදහස් (2)

දේශපාලනඥයන්ගෙන් කී‍්‍රඩාව බේරගන්න - ඇමති නිමල්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.