Last Update  :  2025-04-21 20:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner නිලධාරීන් ගැන නීතිපති මතය විමසයි

නිලධාරීන් ගැන නීතිපති මතය විමසයි

Nisanka Sandeepani - 2018 ජන මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ජාතික ඔලිම්පික් කමිටුව සිය ගිණුම් වාර්තා අනුමත කර ගැනීමට මෙතෙක් අපොහොසත්ව සිටින බැවින් එහි වත්මන් ප්‍රධානීන්ට ජාතික ක්‍රීඩා සංගම්හි තනතුරු සඳහා නැවත ඉදිරිපත්විය නොහැකි බවත් ඒ පිළිබඳව රජයේ නීතිපතිවරයාගේ මතය විමසීමෙන් පසුව අවසන් තීරණයක් ගන්නා බවත් ක්‍රීඩා ඇමති දයාසිරි ජයසේකර මහතා කියයි. 

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (4) පැවැති මාධ්‍ය හමුවකදී ඇමතිවරයා මේ බව පැවසීය. ක්‍රීඩා අමාත්‍යාංශයේ නව වසරේ (2018)  වැඩසටහන් හා ව්‍යාපෘති පිළිබඳව කරුණු දැක්වීම සඳහා එම මාධ්‍ය හමුව කැඳවා තිබුණි. 

එම අවස්ථාවට ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් ජයන්ත විජේරත්න, ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් සමන් බණ්ඩාර, ජාතික ක්‍රීඩා වෛද්‍ය විද්‍යායතනයේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ, ශ්‍රී ලංකා තහනම් උත්තේජක නිවාරණ ආයතනයේ ප්‍රධානි මහාචාර්ය අර්ජුන් ද සිල්වා යන මහත්වරු ඇතුළු අමාත්‍යාංශයේ ඉහළ පෙළේ නිලධාරීහු පිරිසක්ද එහිදී අදහස් දැක්වුහ. 

මෙම මාධ්‍ය හමුවේදී ජාතික ඔලිම්පික් කමිටුව සම්බන්ධයෙන් වර්තමානයේ පැන නැගී තිබෙන ගැටලුකාරී තත්ත්වය ගැන මාධ්‍යවේදීන් කළ විමසීම්වලට පිළිතුරු දෙමින් ක්‍රීඩා ඇමැතිවරයා මෙසේද පැවසීය. 

ජාතික ඔලිම්පික් කමිටුව ගැන කතා කරනකොට දැන් අපට මතක් වෙන්නෙ අර කකුළුවාගේ කතාවයි. එයාලා හරහට ගිහිල්ලා අනිත් අයට කෙලින් යන්න කිව්වා වාගේ වැඩක් මේක. ජාතික ඔලිම්පික් කමිටුව  කියන්නෙත් රටේ නීතියට රටේ ක්‍රීඩා රේගුලාසිවලට බැඳෙන ක්‍රීඩා සංවිධානයක්. ඒ නිසා ඒ කමිටුවේ ප්‍රධානීන්ටත් රටේ ක්‍රීඩා රෙගුලාසි බලපානවා. 

එහි නිලධාරීන් කීපදෙනකු මේ වනවිට ජාතික ක්‍රීඩා සංගම්හි අලුත් තනතුරුවලට පත්වෙලා ඉන්නවා. නමුත් මම කියන්න කැමතියි ගිණුම් වාර්තා වසර ගණනාවක්ම විගණනය නොකළ ඒ වකවානුවල කටයුතු කළ ඔලිම්පික් කමිටුවේ සභාපති, ලේකම් හා භාණ්ඩාගාරිකටත් දැන් ජාතික ක්‍රීඩා සංගම්හි තනතුරුවලට එන්න තහනම්. 

“එහෙම පත්වෙලා ඉන්න කමිටුවේ නිලධාරීන් ගැන අප නීතිපතිවරයාත් එක්ක සාකච්ඡා කරලා ඒ ගැන අවසන් තීරණයක් ගන්නවා” යයිද ක්‍රීඩා ඇමතිවරයා පැවසීය. 

ඔලිම්පික් කමිටුවේ ලේකම් මැක්ස්වල් ද සිල්වා මහතා ශ්‍රී ලංකා ජූඩෝ සම්මේලනයේ උප භාණ්ඩාගාරික ධුරයටත් එහි භාණ්ඩාගාරික  ගාමිණි ජයසිංහ මහතා ශ්‍රී ලංකා අත්පන්දු සංගමයේ උප සභාපති ධුරයකටත් මේ වනවිට පත්ව සිටිති. 

 

මාධ්‍ය හමුවේදී එළි දැක්වූ කරුණු කිහිපයක් මෙසේය

● ගෝල්ඞ් කෝස්ට් පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලට ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන්  87 දෙනකුගේ කණ්ඩායමක් මූලික වශයෙන් නිර්දේශ කිරීම- ඒ ක්‍රීඩා ඉසව්  13 කිනි. 

● ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය මෙම වසරේදී කැඳවීම - එහිදී ඇමැතිවරයා පැවැසුවේ ලබන මැයි මාසය පමණ වනවිට ක්‍රිකට් නිලවරණය කැඳවීමේ මූලික පසුබිම සකස් කරන බවයි.

● ශ්‍රී ලංකා කායවර්ධන හා ශාරීරික යෝග්‍යතා සම්මේලනයේ හිටපු නිලධාරින් පිරිසකට එරෙහිව පැවැති විශේෂ විමර්ෂණයකින් පසුව ඔවුන්ට දඬුවම් නිර්දේශ කිරීමේ වාර්තාව එළිදැක්වීම

● ශ්‍රී ලංකා තුන් ප්‍රයාම සම්මේලනය පිළිගැනීම ක්‍රීඩා ඇමැතිවරයා ප්‍රතික්ෂේප කර සිටියේය. මේ වනවිට එම සම්මේලනයට ජාතික ඔලිම්පික් කමිටුවේ සාමාජිකත්වය ප්‍රදානය කර තිබේ. එහෙත් ඊයේ පැවැති මාධ්‍ය හමුවේදී ක්‍රීඩා ඇමැතිවරයා පැවැසුවේ තුන් ප්‍රයාම ජාතික සංගමයේ ලියාපදිංචිය පිළිබඳව ක්‍රීඩා අමාත්‍යාංශය මෙතෙක් දැනුවත්වී නොමැති බවය. 

● වසර 2018 ජාතික මහ ක්‍රීඩා උළෙල මේ වසරේ පටන් අන්තර් ග්‍රාමසේවා වසම් කොට්ඨාස තරගවලින් ආරම්භ කිරීම. ඒ අනුව මෙම වසරේදී ජාතික මහ ක්‍රීඩා උළෙල අදියර හතරකින් පැවැත්වේ. එහිදී ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස තරග ලබන මාර්තු 15 වැනිදාට පෙර පවත්වා අවසන් කිරීම:- ඒ සඳහා රුපියල් ලක්ෂයක් බැගින් ප්‍රදානය කෙරේ.

● දිස්ත්‍රික් ක්‍රීඩා උළෙල සංවිධානය සඳහා රුපියල් ලක්ෂ දෙකක් බැගින් පිරිනැමීම.

● පළාත් ක්‍රීඩා උළෙල සඳහා රුපියල් ලක්ෂ තුනක් බැගින් ප්‍රදානය කිරීම.

● 44 වැනි ජාතික මහ ක්‍රීඩා උළෙල 2018 ඔක්තෝබර් 11, 12, 13, 14 යන දිනයන්හි දී රත්නපුරය නගරයේදී පැවැත්වීම

 


අදහස් (0)

නිලධාරීන් ගැන නීතිපති මතය විමසයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.