Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
දිනේෂ් කාර්තික්ගේ විශිෂ්ට පිතිහරඹය හමුවේ ‘නිදහස් කුසලාන’ තුන්කොන් විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ ශූරතාව හිමිකර ගැනීමට ඉන්දියාව සමත්විය. ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැති අවසන් මහ තරගයේදී බංග්ලාදේශයට එරෙහිව කඩුලු 4 ක ජයක් හිමිකර ගැනීමට ඉන්දියාව සමත්විය.
ඉන්දියාවෙන් ගිලිහී යමින් තිබූ තරගයේ ජය නැවතත් තම කණ්ඩායමට දෙසට හැරවීමට සමත්වූ ඩිනේෂ් කාර්තික් පන්දු 8 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 2 ක් සමගින් නොදැවී ලකුණු 29 ක් රැස්කිරීමට සමත්විය.
අවසන් ඕවර 2ට ලකුණු 34 ක් ලබාගැනීමට තිබූ අතර මනීෂ් පාන්ඬේ දැවී යාමෙන් පසු පන්දුවට පහරදීම සදහා පිටියට පිවිසි ඩිනේෂ් කාර්තික් 19 වැනි ඕවරය යැවූ රුබෙල් හුසේන්ට පහර පිට පහර දෙමින් හයේ පහර 2 ක් සහ හතරේ පහර 2 ක් සමගින් ලකුණු 22 ක් උදුරා ගත්තේය.
අවසන් ඕවරයේයේදී ජයග්‍රහණය සදහා ඉන්දියාවට ලකුණු 12 ක් ලබාගැනීමට තිබූ අතර පන්දු 5 ක් තුළ කඩුල්ලක් අහිමිකර ගනිමින් ලබාගැනීමට හැකිවූයේ ලකුණු 7 කි. අවසන් පන්දුවට මුහුණදුන් ඩිනේෂ් කාර්තික්ට ජයග්‍රහණය සදහා ලකුණු 5 ක් ලබාගැනීමට තිබූ අතර හයේ පහරකින් ජයග්‍රහණය සැමරීමට ඔහුට හැකිවිය.
මුස්ටෆිසුර් රහමාන් විසින් යවන ලද 18 වැනි ඕවරය නිලකුණු ඕවරයක් බවට පත්කරමින් තරගයේ ජය බංග්ලාදේශය දෙසට හැරවීමට ඔහු සමත් වුවද අවසන් මොහොතේ බලාපොරොත්තු ගිලිහී ගියේය. පළමු පන්දු 4 ට මුහුණදුන් විජේ ශංකර්ට ලකුණු ලබාගැනීමට නොහැකිවූ අතර පස්වැනි පන්දුව පා ලකුණක් ලෙස සටහන් විය. සබීර් රහමාන් අතට උඩපන්දුවක් දෙමින් අවසන් පන්දුවේදී ලකුණු 28 ක් රැස්කර සිටි මනීෂ් පාන්ඬේ දැවී ගියේය.
ජයග්‍රහණය සදහා ලකුණු 167 ක ඉලක්කයක් හඹාගිය ඉන්දියාව කඩුලු 6 ක් දැවී අවසන් පන්දුවේදී තරගයේ ජය තහවුරු කරගැනීමට සමත්විය.
ඉන්දීය පිතිකරුවන් වේගවත් ආරම්භයක් ලබාගත්තද ලකුණු 32 ක් තුළ කඩුලු 2 ක් බිඳ වැටීම හේතුවෙන් මදක් පසුබැස්සද කණ්ඩායම ඉදිරියට රැගෙන යාමට නායක රෝහිත් ශර්මාට හැකිවිය. සිය 14 වැනි විස්සයි20 අර්ධ ශතකය පන්දු 35 කදී රැස්කළ රෝහිත් ශර්මා දැවීයන විට පන්දු 42 කදී ලකුණු 56 ක් රැස්කිරීමට සමත්විය. හයේ පහර 3 ක් සහ හතරේ පහර 4 කින් ශර්මාගේ ඉනිම අලංකාර විය.
රෝහිත් ශර්මා සමගින් එක්ව තෙවැනි කඩුල්ල සදහා පන්දු 36 කදී ලකුණු 51 ක සම්බන්ධතාවයක් පැවැත්වූ ලෝකේෂ් රාහුල් ලකුණු 24 කට දැවීයාමත් සමගින් එම සම්බන්ධතාවයට තිත තැබුණි. පන්දු 14 කට මුහුණදුන් ලෝකේෂ් රාහුල්ගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 2 ක් ඇතුළත් විය.
සබීර් රහමාන්ගේ (77) පිතිහරඹය හමුවේ පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශය ඕවර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 166 ක් ලබාගත්තේය.
බංග්ලාදේශ කණ්ඩායම ඉහළ ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යාමට දායකවූ සබීර් රහමාන් සිවුවැනි විස්සයි20 අර්ධ ශතකය පන්දු 37 කදී රැස්කළ අතර ජයදේව් උනද්කට්ගේ පන්දුවක් කඩුල්ලේ වැදීමෙන් ලකුණු 77 කට දැවී ගියේය. පන්දු 50 කට මුහුණදුන් සබීර් රහමාන්ගේ ඉනිමට හයේ පහර 4 ක් සහ හතරේ පහර 7 ක් ඇතුළත් විය.
බංග්ලාදේශ පිතිකරුවන්ට පළමු ඕවර 10 තුළදී කඩුලු 3 ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 68 ක් වුවද අවසන් ඕවර 10 තුළදී කඩුලු 5 ක් දැවී ලකුණු 98 ක් රැස්කිරීමට ඔවුන් සමත්වූහ.
ආරම්භක පිතිකරුවන් වේගවත් ආරම්භයක් ලබාගත්තද සිවුවැනි සහ පස්වැනි ඕවර වලදී බලාපොරොත්තු නොවූ ආකාරයෙන් කඩුලු 3 ක් බිඳ වැටීම හේතුවෙන් බංග්ලාදේශයට තරමක් පසු බැසීමට සිදුවිය.
පළමු කඩුල්ල සදහා ලකුණු 11 ක් ලබාසිටි ලිටන් දාස් දවාගැනීමට වොෂින්ටන් සුන්දර් සමත්වූ අතර පස්වැනි ඕවරයේ දෙවැනි සහ අවසන් පන්දුවේදී ලකුණු 15 ක් ලබාසිටි ටමීම් ඉක්බාල් සහ සෞම්‍ය සර්කාර් එක් ලකුණකට පිටියෙන් ඉවත් කිරීමට යුස්වේන්ද්‍ර චහල්ට හැකිවිය.
ලකුණු 33 කට කඩුලු 3 ක් බිඳවැටී තිබියදී මුෂ්ෆිකුර් රහීම් සමගින් එක්ව සිවුවැනි කඩුල්ල සදහා පන්දු 31 කදී ලකුණු 35 ක සම්බන්ධතාවයක් ගොඩනගමින් කඩාවැටුණු බංග්ලාදේශ ඉනිම ගොඩ නැගූ සබීර් රහමාන් පස්වැනි කඩුල්ල සදහා මහමදුල්ලා සමගින් එක්ව පන්දු 25 කදී ලකුණු 36 ක සම්බන්ධතාවයක් ගොඩනැගීය.
සබීර් රහමාන්ගේ අනවශ්‍ය කළබලය හේතුවෙන් පන්දු 16 කදී හතරේ පහර 2 ක් සමගින් ලකුණු 21 ක් රැස්කර සිටි මහමදුල්ලාට අවාසනාවන්ත දුවද්දී දැවීයාමකට හසුව පිටියෙන් ඉවත්වීමට සිදුවිය.
අවසන් ඕවර කිහිපය තුළ පන්දුවට පහරදීමට පැමිණි මෙහෙදි හසන් පන්දු 7 ක් තුළ හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමගින් නොදැවී ලකුණු 19 ක් රැස්කරමින් බංග්ලාදේශ ලකුණු පුවරුව ඉහළ දැවීමට සමත්විය.
වේගපන්දු යවන්නන් වන විජේ ශංකර් සහ ශර්දුල් ඨාකූර් බංග්ලාදේශ පිතිකරුවන් හමුවේ දැඩි පහරදීමකට ලක්වූ අතර වොෂින්ටන් සුන්දර් සහ යුස්වේන්ද්‍ර චහල් ඔවුන් මෙල්ල කිරීමට සමත්වූහ. යුස්වේන්ද්‍ර චහල් ඕවර 4 ක් යවමින් ලකුණු 18 කට කඩුලු 3 ක් දවාගත් අතර වොෂින්ටන් සුන්දර්ට දවාගැනීමට හැකිවූයේ එක් කඩුල්ලක් පමණක් වුවද ඕවර 4 ලකුණු 20 කට සීමා කිරීමට සමත්විය. ජයදේව් උනද්කට් ලකුණු 33 කට කඩුලු 2 ක් දවාගත්තේය.
ඉන්දීය කණ්ඩායමේ එක් වෙනස්කමක් සිදුකරමින් මොහොමඞ් සිරාජ් කණ්ඩායමෙන් ඉවත්කර සිටි ජයදේව් උනද්කට් කණ්ඩායමට කැඳවා ඇති අතර බංග්ලාදේශ කණ්ඩායම කිසිදු වෙනස්කමක් සිදු නොකරමින් ශ්‍රී ලංකාව සමගින් ක්‍රීඩා කළ කණ්ඩායමම අවසන් තරග සදහාද සහභාගී වෙයි.
කාසියේ වාසිය දිනාගත් ඉන්දීය කණ්ඩායමේ නායක රෝහිත් ශර්මා පළමුව පන්දු යැවීමට තීරණය කළේය.
ඉන්දීය - බංග්ලාදේශ නිදහස් කුසලාන අවසන් මහ තරගයේ උණුසුම් අවස්ථා...
ඡායාරූප - ශාන්ත රත්නායක
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.