Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල්ටත්, පුහුණුකරු චන්දික හතුරුසිංහ සහ කලමණාකරු අසංක ගුරුසිංහ යන මහත්වරුන් දෙදෙනාටත් තහංචි ලකුණු 8 බැගින් පැනවීමට අන්තර් ජාතික ක්‍රිකට් සභාව පියවර ගෙන තිබේ. අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් පනවන ලද ස්වාධීන විනිශ්චය කොමසාරිස්වරයා වූ රාජ නීතිඥ මයිකල් බිලොෆ් මහතා විසින් මෙම නිර්දේශ අන්තර්ජාතික ක්‍රිකට් සභාවට ඉදිරිපත් කරනු ලැබ තිබේ.
මෙම තහංචි ලකුණු 8 හේතුවෙන් චන්දිමාල්ටත්, චන්දික හතුරුසිංහ සහ අසංක ගුරුසිංහ යන මහත්වරුන්ටත් දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් තරග දෙක මෙන්ම පළමු එක්දින හතරම තහනම් වේ. ඒ අනුව කොළඹ එස්. එස්.සී පිටියේදී ලබන සිකුරාදා ආරම්භ වන දෙවැනි ටෙස්ට් තරගය මෙන්ම දඹුල්ලේදී පැවැත්වෙන එක්දින තරග දෙකට සහ පල්ලෙකැළේදී පැවැත්වෙන එක්දින තරග දෙකත් මේ තිදෙනාටම තහනම් වනු ඇත.
මෙම තහංචිය ප්‍රකාරව, ඉහත සඳහන් තරග වලින් එකකදී හෝ චන්දිමාල් අතිරේක ක්‍රීඩකයකු වශයෙන්වත් නම්කළ නොහැකි නමුත් ඔහුට ක්‍රීඩකයන්ගේ කාමරයේ සිටීමට අවසර තිබේ. එහෙත් පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතාට සහ කළමණාකරු අසංක ගුරුසිංහ මහතාට ක්‍රීඩකයන්ගේ කාමරයේවත් රැඳී සිටීමට අවසර නැත.
පසුගිය මාසයේ ශාන්ත ලුසියාහිදී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවැති දෙවැනි ටෙස්ට් තරගයේදී ක්‍රිඩාවේ ජීව ගුණයට හානි සිදුවන අයුරින් හැසිරීම හේතුවෙන් අන්තර් ජාතික ක්‍රිකට් සභාව ඔවුන් තිදෙනාට එරෙහිව පැමිණිලි කළේය. මෙම චෝදනාවට වරද පිළිගැනීම නිසා චන්දිමාල් මෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරුවා සහ කළමණාකරුවාද සිය කැමැත්තෙන්ම ගාල්ලේදී පැවති පළමු ටෙස්ට් තරගයෙන් ඉවත්ව සිටියහ.
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව ශාන්ත ලුසියාහිදී පැවැති දෙවැනි ටෙස්ට් තරගයේ තෙවැනි දිනයේදී විනිසුරුවන් පන්දුව මාරු කිරීමට විරෝධය දක්වමින් ශ්‍රී ලංකා කණ්ඩායම පැය දෙකක පමණ කාලයක් පිටියට පිවිසීමෙන් වැලකී සිටියේය. එය ක්‍රිකට් ක්‍රීඩාවේ නිතී බරපතල ලෙස උල්ලංඝණය කිරීමක් මෙන්ම ක්‍රීඩාවේ ජීවගුණයට පටහැනි ක්‍රියාවක් යැයි පවසමින් අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ ප්‍රධාන විධායක නිලධාරී ඬේවිඞ් රිචඞ්සන් මහතා, ඔවුන් තිදෙනාට එරෙහිව චෝදනා ගොනු කළේය.
ජාත්‍යන්තර ක්‍රිකට් සභා විනය නීති මාලාවේ 5.2 වගන්තියට අනුව මෙම සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් කර දඩුවම් නියම කිරීම සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් සභාව විසින් විනිසුරු කොමසාරීස්වරයකු ලෙස රාජ නීතිඥ මයිකල් බිලොෆ් මහතා පත් කරන ලදි. පසුගිය 11 වැනිදා එම පරීක්ෂණය පැවැති අතර එහි තීන්දුව ප්‍රකාශයට පත්කරමින් ඊයේ (16 වැනිදා) අන්තර් ජාතික ක්‍රිකට් සභාව ඔවුන් තිදෙනාට මෙම තරග තහනම පැනවීය.
තහංචි ලකුණු 8 ක් පැනවීමේදී ඊට සමගාමීව ටෙස්ට් තරගය 2 ක් සහ එක්දින/විස්සයි20 තරග 4 ක් තහනමකට ලක්වේ. නැතහොත් එක්දින/විස්සයි20 තරග 8 ක තහනමක් පැනවෙන අතර අදාල ක්‍රීඩකයා හෝ නිලධාරියා සහභාගි වීමට නියමිත ඉදිරි තරග පෙළගැස්ම අනුව එම තහනම තීරණය වනු ඇත.
මතභේදයට තුඩුදුන් ටෙස්ට් තරගයේදීම පැණිරස මිශ්‍ර ඛේඨය තවරමින් පන්දුවේ ස්වභාවය වෙනස් කිරීමට උත්සාහ කිරීම සම්බන්ධයෙන්ද චෝදනා ලැබූ චන්දිමාල්, වරදකරුවකු බවට පත්විය. ඒ හේතුවෙන් ඔහුට කොදෙව් තරගාවලියේ තෙවැනි ටෙස්ට් තරගය තහනම් වූ අතර මුලු තරග ගාස්තුවම දඩ මුදලක් ලෙස ගෙවීමටද සිදුවිය.
2016 වසරේ සැප්තැම්බර් මස තහංචි ලකුණු ක්‍රමය හඳුන්වාදීමෙන් අනතුරුව චන්දිමාල් වරදකරුවකු බවට පත්වූ දෙවැනි අවස්ථාව මෙය වේ. මේ වන විට ඔහු ලබා සිටින සම්පූර්ණ අගති ලකුණු සංඛ්‍යාව 10 කි. හතුරුසිංහ මහතා සහ ගුරුසිංහ මහතා අන්තර් ජාතික ක්‍රිකට් සභාවේ නීතිරීති වලට අනුව වරදකරුවන් බවට පත්වූ පළමු අවස්ථාව මෙයයි.
කෙසේ වෙතත් ඉදිරි මාස 24 ක කාලය තුළදී චන්දිමාල්ගේ අගති ලකුණු සංඛ්‍යාව 12 ඉක්මවුවහොත් ඔහුට ටෙස්ට් තරග 3 ක් හෝ එක්දින/විස්සයි20 තරග 6 ක් තහනම් කෙරෙනු ඇත. නැතහොත් මෙම දෙකේම මිශ්‍රණයක් වනු ඇත.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.