Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner නැඟී එන කණ්ඩායම් ආසියානු කුසලාන ශ්‍රී ලංකාවට

නැඟී එන කණ්ඩායම් ආසියානු කුසලාන ශ්‍රී ලංකාවට

සංජය එරමුදුගොඩ - 2018 දෙසැ මස 15 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

අාසියානු ක්‍රිකට් සභාව සංවිධානය කළ නැඟී එන කණ්ඩායම් ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාව පිට පිටම දෙවැනි වරටත් දිනාගැනීමට ශ්‍රී ලංකා නැඟී එන කණ්ඩායම සමත් විය. කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (15 වැනිදා) පැවති අවසන් මහ තරගයේදී ඉන්දීය නැඟී එන කණ්ඩායමට එරෙහිව ලකුණු 3 ක තියුණු ජයක් වාර්තා කරමින් ශ්‍රී ලංකා ක්‍රිඩකයෝ මෙවර ශූරතාවට හිමිකම් කීහ.

තරග 5 කදී අර්ධ ශතක 4 ක් සමග ලකුණු සංඛ්‍යාව 310 ක් රැස්කරමින් සහ කඩුලු 8 ක් දවාගනිමින් පිත්තෙන් සහ පන්දුවෙන් පමණක් නොව පන්දු රැකීමෙන්ද කැපීපෙනෙන දක්ෂතා දැක්වූ කමිඳු මෙන්ඩිස් අවසන් තරගයේ වීරයා සහ තරගාවලියේ වීරයා ලෙස සම්මාන දිනාගත්තේය. මුලික වටයේ තරග 2 කදී සහ අවසන් පූර්ව තරගයේදී ඔහු තරගයේ වීරයා ලෙස සම්මාන ලැබීය.

ජයග්‍රහණය සඳහා ලකුණු 271 ක ඉලක්කයක් හඹාගිය ඉන්දීය කණ්ඩායම ඕවර 50 අවසානයේ ලකුණු 267 කට සීමා කිරීමට අසේල ගුණරත්න ප්‍රමුඛ ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වූහ. එහිදී දක්ෂ පන්දු යැවීමක නිතර වූ ගුණරත්න, ලකුණු 38 කට කඩුලු 3 ක් දවාගත්තේ ඉන්දීය ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ නායක ජයන්ත් යාදව්ගේ කඩුල්ලද සමගිනි. එහිදී ලසිත් ඇඹුල්දෙණිය සහ ෂෙහාන් ජයසූරිය කඩුලු 2 බැගින් දවාගනිමින් ඉන්දිය පිතිකරුවන් පීඩනයට පත්කිරීම සඳහා ගුණරත්නට අනගි සහායක් දුන්හ.

තරගය ජයගැනීම සඳහා ඉන්දීය පිතිකරුවන්ට කමිඳු මෙන්ඩිස් යැවූ අවසන් ඕවරයේදී ලකුණු 20 ක් රැස්කිරීමට සිදුවූ අතර ඒ වන විට ඔවුන් සතුව තිබුණේ අවසන් කඩුල්ල පමණි. අවසන් ඕවරයේ පළමු පන්දුවට සහ තෙවැනි පන්දුවට ලකුණු ලබාගත නොහැකි වුවද, දෙවැනි සහ සිවුවැනි පන්දු හතරේ සීමාවට ඉහළින් යැවූ අතීත් ෂේත්, ඉන්දීය කණ්ඩායමට ජයග්‍රහණයේ බලාපොරොත්තු ගෙන ආවේය.

අනතුරුව පස්වැනි පන්දුවටද ලකුණු 2 ක් ලබාගනිමින් තරගය අවසන් පන්දුව දක්වාම ගෙන යෑමටද අතීත් සමත් වූ අතර ඒ අනුව අවසන් පන්දුවේදී තරගය ජයගැනීම සඳහා තවත් ලකුණු 6 ක් අවශ්‍ය විය. කෙසේ වුවත් අවසන් පන්දුවේදී අතීත්ට ලබාගත හැකි වූයේ ලකුණු 2 ක් පමණක් වීම නිසා ඉන්දීය කණ්ඩායමේ ජයග්‍රාහී බලාපොරොත්තු සුන් වී ගියේය. පන්දු 15 කට මුහුණදුන් අතීත් එහිදී හයේ පහර 2 ක් සහ හතරේ පහක් සමගින් නොදැවී ලකුණු 28 ක් රැස්කළේය.

මුල් පෙළ පිතිකරුවන් අසාර්ථක වෙද්දී හත්වැනි සහ අටවැනි පිතිකරුවන් ලෙස පිටියට පිවිසි නායක ජයන්ත් යාදව් (71) සහ ශාම්ස් මුලානි (46) එක්ව ඉන්දීය ඉනිමේ 7 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 96 කදී ලකුණු 107 ක සම්බන්ධතාවක් ගොඩනැගූහ. තරගයේ තීර්ණාත්මකම ඕවරය ලෙස හැඳින්විය හැකි 46 වැනි ඕවරයේ පළමු පන්දුවේදී සම්මු අශාන් අතට උඩ පන්දුවක් දෙමින් යාදව් දැවීයෑමත් සමග එම සම්බන්ධතාව බිඳවැටිණ.

අසේල ගුණරත්න යැවූ එම ඕවරයේ දෙවැනි පන්දුවේදී මුලානි දුවද්දී දැවීයාමකට හසුකර ගැනිමට දක්ෂ පන්දු රැකීමක නිරත වූ ෂෙහාන් ජයසූරිය සමත් විය. 10 වැනි පිතිකරුවා ලෙස පිටියට පිවිසි අන්කීත් රාජ්පුත් ආපයින්ම ආපසු ක්‍රීඩාගාරයට හරවා යැවීමට ගුණරත්න සමත් වූයේද එම ඕවරයේම 6 වැනි පන්දුවේදීය. චාමික කරුණාරත්න අතට උඩපන්දුවක් දෙමින් රාජ්පුත් පිටියෙන් ඉවත්ව යන විට ඉන්දීය ලකුණු පුවරුව ලකුණු 238 කට කඩුලු 9 ක් ලෙස සටහන් විය.

කාසියේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා නැඟී එන කණ්ඩායම ඕවර 50 අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 270 ක් ලබා ගත්තේය. එහිදී ශ්‍රී ලංකා ඉනිමේ නැංගුරම බවට පත්වූ කමිඳු මෙන්ඩිස් පන්දු 55 කදී ලකුණු 61 ක් රැස්කළේ හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමගිනි. ෂෙහාන් ජයසූරිය (46) සමග එක්ව පස්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 54 කදී ලකුණු 56 ක සම්බන්ධතාවක් ගොඩැගූ මෙන්ඩිස්, ඉන් නොනැවතී වනිඳු හසරංග (නොදැවී 31) සමග එක්ව පන්දු 43 කදී ලකුණු 60 ක සම්බන්ධතාවක්ද ගොඩනගමින් ශ්‍රී ලංකා ඉනිමේ ලකුණු සංඛ්‍යාව වේගයෙන් ඉහළ දැමුවේය.

පන්දු 46 කට මුහුණ දුන් ජයසූරිය, හතරේ පහර 3 කින් සිය ඉනිම සැරසූ අතර අර්ධ ශතකය පෙනි පෙනී සිටියදී ජයන්ත් ජයාදව්ගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවෙමින් පිටියෙන් ඉවත්ව ගියේය. පන්දු 26 කදී වාර්තා වූ හසරංගගේ ඉනිම හතරේ පහර 3 කින් සමන්විත විය. නිතිෂ් රානාගේ පන්දුවක් හමුවේ ඔහු අතටම උඩ පන්දුවක් දෙමින් දැවීයන විට හයේ පහරක් සමගින් නායක සම්මු අශාන් ලබා සිටියේ ලකුණු 20 ක් පමණි.

ශ්‍රී ලංකා ඉනිමේ පළමු ඕවරයේ අවසන් පන්දුවේදී ආරම්භක පිතිකරු සඳුන් මෙන්ඩිස්ගේ (4) කඩුල්ල බිඳ දැමීමට අන්කිත් රාජ්පුත් සමත් විය. එතැන් පටන් අවිෂ්ක ප්‍රනාන්දු (29) සමග එක්වූ හසිත බෝයගොඩ (54) දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 103 කදී ලකුණු 82 ක සම්බන්ධතාවක් ගොඩනගමින් ශ්‍රී ලංකා කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබා දුන්නේය.

මායන්ක් මාකන්ඬේගේ පන්දුවක් හමුවේ ජයන්ත් යාදව් අතට උඩ පන්දුවක් දෙමින් බෝයගොඩ දැවීයෑමත් සමග එම සම්බන්ධතාව නිමාවට පත්වූ අතර පන්දු 62 කදී වාර්තා වූ ඔහුගේ අර්ධ ශතකයට හතරේ පහර 8 ක් අන්තර්ගත විය. සිය සුපුරුදු පිතිහරඹ රටාවෙන් මිදී තරමක් මන්දගාමී පිතිහරඹයක නිරත වූ අවිෂ්ක ප්‍රනාන්දු පන්දු 58 කදී හතරේ පහර 2 ක් සමගින් ලකුණු රැස්කළේය.

01 02 03 04

 


අදහස් (1)

නැඟී එන කණ්ඩායම් ආසියානු කුසලාන ශ්‍රී ලංකාවට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.