Last Update  :  2025-04-21 11:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner පිට දඟ පන්දුවෙන් පිට පොට ගැසීම

පිට දඟ පන්දුවෙන් පිට පොට ගැසීම

ශනුක අරවින්ද - 2018 ජුලි මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වසර 12 කට පසුව දකුණු අප්‍රිකාව හමුවේ ටෙස්ට් තරගාවලියක් ජයගැනීමේ සිහිනය දකිමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී හෙට (20 වැනිදා) ආරම්භ වන දෙවැනි ටෙස්ට් තරගයේදීත් දඟ පන්දුවට මුහුණ දීම සඳහා සංචාරයකන් සතු හැකියාව පරීක්‍ෂා කිරීමට සුදානමින් සිටී. එස්.එස්.සී. ක්‍රීඩාංගණ තණතීරුව පිතිකරුවන්ට මෙන්ම වේග පන්දු යවන්නන්ටත් වැඩි සහයෝගයක් දක්වා ඇති බවට ඉතිහාසය පුරාම සාක්ෂි ඇති නමුත් මේ වතාවේදී දඟ පන්දු යවන්නන්ට වඩාත් යෝග්‍ය තණතීරුවක් එහිදී දැකගත හැකි බව දකුණු අප්‍රිකානුවන්ගේද මතය වී තිබේ.

“තණතීරුව හරිම වියළියි. මම හිතන්නේ මෙතන දඟ පන්දු යවන්නන් ලොකු වැඩ කොටසක් කරාවි.....එයින් (එස්.එස්.සී. තණතීරුවෙන්) අපේ වේග පන්දු යවන්නන්ට සහයෝගයක් ලැබෙනවා නම් හොඳයි. ඒත් අපි ඒ දේ බලාපොරොත්තු වෙන්නේ නෑ” යයි දකුණු අප්‍රිකානු නායක ෆෆ් ඩු ප්ලෙසී අද (19 වැනිදා) එස්.එස්.සී. පිටියේදී මාධ්‍ය හමුවේ පැවසීය.

“මා මෙම තරගාවලිය ආරම්භයේදී කීවා වගේ අපේ ප්‍රධානතම ආයුධය වෙන්නේ වේග පන්දුවයි. ඒ නිසා මා හිතනවා මේ තරගයේදීත් වැස්ස අපිට හරස්වන එකක් නෑ කියලා. මොකද වඩාත් මෘදු වූ, තෙත බරිත පන්දුවකින් තරග කරන්න අපට ඕන නෑ” යයි කී දකුණු අප්‍රිකානු නායකයා...

“වැස්සේ නැත්නම් අපේ වේග පන්දු යවන්නන් අතරේ හොඳ ආයුධ කිහිපයක්ම තියෙනවා. ඒත් මෙතනදී අපි ක්‍රීඩා කරන්නේ වේග පන්දු යවන්නන් තුන්දෙනෙක් හා දඟ පන්දු යවන්නන් දෙදෙනෙක් එක්කද කියන එක ගැන හොඳින් හිතා බලා තීරණයක් ගන්න වෙනවා” යයිද පැවසීය.

ගාල්ල ටෙස්ට් තරගයේදී පැහැදිළිවූ එක කාරණාවක් නම් දකුණු අප්‍රිකානු පිතිකරුවන් පිට දඟ පන්දු යවන්නන් හමුවේ දක්වන දුර්වලතාවයි. පසුගිය සතියේ ගාල්ලේදී පැවැති තරගයේදී දින තුනක් ඇතුළත බිඳ වැටුණු දකුණු අප්‍රිකානු කඩුලු 20 න් 10 ක්ම පිට දඟ පන්දු යවන්නකු වූ ඩිල්රුවන් පෙරේරා විසින් හිමිකරගන්නා ලදි. වසර හතරකට ඉහතදී දකුණු අප්‍රිකානු කණ්ඩායම ශ්‍රී ලංකාවේදී කළ සංචාරයේදීත් තරග දෙකකදී කඩුලු 16 ක් දවාගත් ඩිල්රුවන් එවර තරගාවලියේ වීරයා සම්මානය දිනාගත්තේය.

ඩිල්රුවන් එදා එවන් හපන්කමක් කළද තරගාවලිය ජයගත්තේ දකුණු අප්‍රිකානුවයි. දකුණු අප්‍රිකාවට එරෙහිව ටෙස්ට් තරග 3 කදී ඩිල්රුවන් විසින් මෙතෙක් දවාගනු ලැබ ඇති කඩුලු සංඛ්‍යාව 26 කි.

මෙම තත්ත්වය ඇතිවීමට විශේෂ හේතුවක් තිබේ. එනම් 1993 සිට 1998 දක්වා කාලයේ දකුණු අප්‍රිකාව වෙනුවෙන් ක්‍රීඩා කළ පැට් සිම්කොක්ස්ගෙන් (හිටපු ජනප්‍රිය රූපවාහිනී ක්‍රිකට් විස්තර විචාරකයෙකි) පසුව දකුණු අප්‍රිකාව වෙනුවෙන් සම්මත ආකාරයේ පිට දඟ පන්දු යවන්නකු බිහිනොවීම නිසා දකුණු අප්‍රිකානු පිතිකරුවන්ට පුහුණු දැල තුළදී හොඳ පන්දු යවන්නකුට මුහුණ දීමේ අවස්ථාව අහිමිව යාමයි.
ගාල්ල තරගයෙන් පසුව දකුණු අප්‍රිකානු නායකයා ඒ ගැන කීවේ මෙවන් කතාවකි.

“පුහුණු දැළ තුළදී පිට දඟ පන්දුවලට මුහුණ දෙන්න ඕනෑ කරන විට පුහුණුකරුවා අපට පිට දඟ පන්දු යවනවා. ඒත් ඒවා ඩිල්රුවන්ගේ පන්දු තරම් හොඳ මට්ටමේ ඒවා නොවෙයි. අපි පුහුණුවීම් කරද්දී මුහුණ දෙන පිට දඟ පන්දුව වලට වඩා බොහෝ වෙනස් පන්දු මිශ්‍රණයක් ඔහුට (ඩිල්රුවන්ට) තියෙනවා.....පුහුණුවීම් වලදී පන්දු 10,000 කට මුහුණ දෙන්නත් පුළුවන්. ඒත් ඩිල්රුවන් එවන්නේ වෙනස් විදිහක පන්දු” යයි ෆෆ් ඩු ප්ලෙසි ගාල්ලේදී පැවසීය.

දකුණු අප්‍රිකානු නායකයාගේ මෙම ප්‍රකාශ දෙක එකිනෙක ඈඳාගත් කල්හි හෙට ආරම්භ වන දෙවැනි ටෙස්ට් තරගයේදී කළ යුත්තේ කුමක්ද යන්න පිළිබඳ සැලැස්මක් හදාගැනීම ශ්‍රී ලංකා කණ්ඩායමට අසීරු නොවේ.

ඒ සම්බන්ධයෙන් කළ විමසීමකදී රංගන හේරත් කීවේ පිට දඟ පන්දු යවන්නන් හමුවේ දකුණු අප්‍රිකානුවන් අමාරුවේ වැටීම පැහැදිළිව පෙනෙන බැවින් අවශ්‍ය වුවහොත් පිතිකරුවන් අතරේ සිටින ධනංජය ද සිල්වාත් පිට දඟ පන්දු යැවීමට සූදානමින් සිටින බවයි. එබැවින් තීරණය කිරීමට ඇත්තේ හෙට තරගයේදී ක්‍රීඩා කරන්නේ තරමක් වෙනස් ආකාරයෙන් පිට දඟ පන්දු යවන අකිල ධනංජයද නැතහොත් වමතින් ‘චයිනමන්’ පන්දු යවන ලක්ෂාන් සඳකැන්ද යන්නයි.

වසර 25 ක දිගු අතීතයක් හිමි ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැති ටෙස්ට් තරගාවලි 10 අතුරින් ශ්‍රී ලංකාව ජයගෙන ඇත්තේ තරගාවලි දෙකක් පමණි. ශ්‍රී ලංකා කණ්ඩායමේ අවසන් තරගාවලි ජයග්‍රහණය සටහන් වන්නේ කුමාර් සංගක්කාර (287) සහ මහේල ජයවර්ධන (374) දෙදෙනා එස්.එස්.සී. පිටියේදී ඕනෑම කඩුල්ලක් වෙනුවෙන් ලකුණු 624 ක සම්බන්ධතාවක් ගොඩනංවමින් ලෝක වාර්තාවක් තැබූ 2006 තරගාවලියේදීය.

වසර 2006 න් පසුව මේ දක්වා පැවැති විදේශීය තරගාවලි 14 කදී දකුණු අප්‍රිකානුවෝ  පරාජය නොවී සිටිති. මෙම වාර්තාව සම්බන්ධයෙන් තමන් ආඩම්බර වන අතරම එම වාර්තාව ආරක්‍ෂා කරගැනීම සඳහා තමන් අතිරේක පිතිකරුවකු කණ්ඩායමට කැඳවීමට අදහස් කර සිටින බවද දකුණු අප්‍රිකානු නායකයා අද කීවේය. ශ්‍රී ලංකා දඟ පන්දු යවන්නන් කෙරේ දකුණු අප්‍රිකානුවන් බියවී තිබෙන තරම එයින් වටහාගත හැකිය.
එබැවින් මේ වන විටත් 1-0 ක් ලෙසින් තරගාවලියේ ඉදිරියෙන් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම සතුව හෙට ආරම්භ වන තරගයේදී ඇත්තේ කදිම අවස්ථාවකි.

ශ්‍රී ලංකා පිලේ ඉදිරිපෙළ පිතිකරුවන් අතුරින් දිමුත් කරුණාරත්න හැරෙන්නට සෙසු සියලුම පිතිකරුවන් ගාල්ල තරගයේදී අසාර්ථක වීම සම්බන්ධයෙන් කිසියම් කණස්සල්ලක්ද ශ්‍රී ලංකා කණ්ඩායමේ තිබේ. ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලක කෙරේ තවදුරටත් බලාපොරොත්තු රඳවාගන්නේද නැතහොත් කුසල් ජනිත් පෙරේරා නැවතත් කණ්ඩායමට කැඳවන්නේද යන්නත් ශ්‍රී ලංකා කණ්ඩායම සිතා බලමින් පසුවෙයි.

කෙසේ වෙතත් හෙට තරගය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමද කල්පනාකාරී විය යුතු තැනක් තිබේ. එනම් ගාල්ලේදී පැවැත්වෙන පළමු තරගය ජයගැනීමෙන් පසුව කොළඹදී අසාර්ථක වීම නිසා ටෙස්ට් තරගාවලි තුනක ජය අහිමි කරගැනීමත් 2015 දී ඉන්දියාව හමුවේ පැවැති තරගාවලිය පරාජය වීමත්ය. ගාල්ලේදී පැවැති පළමු තරග තුනම ජයගත්තද වසර 2012 දී එංගලන්තය සහ නවසීලන්තය හමුවේදීත් 2017 දී බංග්ලාදේශය හමුවේදීත් කොළඹදී පැවැති දෙවැනි ටෙස්ට් තරග පරාජය විය. මේ අවස්ථා තුනේදීම දෙවැනි තරගය පැවැතියේ කොළඹ පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේදීය.

“ඇත්ත...ඒත් මේක වෙනත් ක්‍රීඩාංගණයක්. අපේ සූදානම හොඳයි..කොල්ලො ටික මේ වතාවේදී වැඬේ හරියට කරයි කියලා මට විශ්වාසයි”  යයි මේ සම්බන්ධයෙන් කළ විමසීමේදී රංගන හේරත් කියා සිටියේය.

“කොහොම වුණත් ඔවුන් ඉතාමත් භයානක කණ්ඩායමක්. ඔවුන් ආපසු හැරිලා අපිට පහර දෙනවා. ඒක ස්ථිර වශයෙන්ම වෙනවා වුණත් අපිට මේ වතාවේ තරමක් වෙනස් සැලැස්මක් තියෙනවා” යයි රංගන හේරත් අද සවස කීවේය. රංගන හේරත් වැඩිදුරටත් කියා සිටියේ නායක දිනේෂ් චන්දිමාල්, පුහුණුකරු චන්දික හතුරුසිංහ සහ කළමණාකරු අසංක ගුරුසිංහ යන මහත්වරුන් ක්‍රීඩා පිටියේදී නොපෙනෙන නමුත් පුහුණු අවස්ථාවන්හිදී නිරන්තරයෙන්ම තමන් හා රැඳී සිටින බවයි.

 

ශ්‍රී ලංකා සංචිතය
සුරංග ලක්මාල් (නායක), ඇන්ජලෝ මැතිව්ස්, දිමුත් කරුණාරත්න, කුසල් මෙන්ඩිස්, කුසල් ජනිත් පෙරේරා, ධනුෂ්ක ගුණතිලක, ධනංජය ද සිල්වා, රොෂේන් සිල්වා, නිරෝෂන් දික්වැල්ල, රංගන හේරත්, ඩිල්රුවන් පෙරේරා, අකිල ධනංජය, ළහිරු කුමාර, ලක්ෂාන් සඳකැන් සහ කසුන් රාජිත

දකුණු අප්‍රිකානු සංචිතය :
ෆෆ් ඩු ප්ලෙසි (නායක), ඩීන් එල්ගා, ඒඞ්න් මාක්රම්, හසිම් අම්ලා, ටෙම්බා බවුමා, තියුනිස් ඩි බෘයින්, ක්වින්ටින් ඩි කොක්, හෙන්රික් ක්ලාසන්, වර්නන් ෆිලැන්ඩර්, කගීසෝ රබාඩා, ඬේල් ස්ටේන්, ලුන්ගිසානි න්ගිදි, තබ්රේස් ෂම්සි, කේෂව් මහරාජ් සහ ෂෝන් වොන්බර්ග්


අදහස් (0)

පිට දඟ පන්දුවෙන් පිට පොට ගැසීම

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.