Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner පංජාබ් පිල සිවුවැනි ජය ලබයි

පංජාබ් පිල සිවුවැනි ජය ලබයි

සංජය එරමුදුගොඩ - 2019 අප්‍රේ මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්.) විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ (2019) 22 වැනි තරගය ලෙස චන්දිගාර්හිදී අද (08) රාත්‍රී පැවැති තරගයේදී කිංග්ස් XI පංජාබ් ක්‍රීඩකයෝ කඩුලු හයකින් සන්රයිසස් හයිද්‍රාබාද් පිල පරාජය කිරීමට සමත් වූහ.

කිංග්ස් XI පංජාබ් පිල ලකුණු 151 ක ජයග්‍රාහි ඉලක්කය ඕවර 19.5 කදී කඩුලු හතරක් පමණක් දැවී සම්පූර්ණ කළේය.

මෙම ජයග්‍රහණයත් සමඟ පංජාබ් පිල තරග හයෙන් හතරක් ජය ලබා ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි ස්ථානයට උසස්වීම් ලැබූ අතර හයිද්‍රාබාද් පිල සිවුවැනි ස්ථානයට පහතට වැටුණි.

පංජාබ් පිලට අවසන් ඕවරයේදී ලකුණු 11 ක් රැස්කිරීමට සිදුවූ අතර පස්වැනි පන්දුවේදී ඉලක්කය සම්පූර්ණ විය.  

ලෝකේෂ් රාහුල් පන්දු 53 කින් ලකුණු 71 ක් කරමින් ජයග්‍රහණයේ දැවැන්ත කොටස්කරුවකු බවට පත්විය. රාහුල්ගේ ඉනිම හතරේ පහර හතකින් සහ හයේ පහරකින් වර්ණවත් විය.

මයාක් අගර්වල් පන්දු 43 කින් හතරේ සහ හයේ පහර තුන බැගින් අන්තර්ගත කරමින් ලකුණු 55 ක් රැස්කළේය.

ලෝකේෂ් රාහුල් සහ මයාක් අගර්වල් දෙවැනි කඩුල්ලට ලකුණු 114 ක සම්බන්ධතාවක් පවත්වමින් පංජාබ් ජයග්‍රහණයට මඟ විවර කළහ.

ලෝක විස්සයි20 පිටියේ ප්‍රබලතම පිතිකරු ලෙස සැළකෙන පංජාබ් පිලේ ආරම්භක පිතිකරු ක්‍රිස් ගේල් ලකුණු 16 කට දැවී ගියේය.  

ඩේවිඩ් වෝනර් අන්තයක් ආරක්‍ෂා කරගනිමින් නොදැවී රැස්කළ ලකුණු 70  නිසා පළමුව පන්දුවට පහර දුන් හයිද්‍රාබාද් පිලට ලකුණු 150 ක් දක්වා ඒමට අවස්ථාව උදාවිය. වෝනර්ගේ පන්දු 62 ක ඉනිමට හතරේ පහර හයක් සහ හයේ පහරක් ඇතුළත් විය.

ඩේවිඩ් වෝනර් සහ මනීෂ් පාණ්ඬේ (19) අතර සිවුවැනි කඩුල්ලට පන්දු 37 කින් ලකුණු 55 ක සම්බන්ධතාවක් ගොඩනැගුණි.

දකුණතින් වේග පන්දු යවන මොහොමඞ් ශාමි ඉනිමේ අවසන් ඕවරයට ලකුණු 15 ක් ලබාදෙමින් ඕවර හතරේදී ලකුණු 30 කට කඩුල්ලක් දවාගත්තේය. අන්කිට් රාජ්පුට් ඕවර හතර ලකුණු 21 කට අවසන් කළේය.    
මොහොමඞ් නබී පන්දු හතකින් ලකුණු 12 ක් ලබා සිටියදී අවාසනාවන්ත ලෙස දුවද්දී දැවී ගියේය. ඩේවිඩ් වෝනර් වේගයෙන් ගැසූ ඩ්‍රයිව් පහර පන්දු යැවූ රවිචන්ද්‍රන් අෂ්වින් රැකගෙන කඩුල්ල බිඳ දමන විට මොහොමඞ් නබී සීමාවෙන් ඉදිරියේ සිටියේය.

විජේ ශංකර් පන්දු 27 කදී හතරේ පහර දෙකක් සමගින් ලකුණු 26 ක් ලබා දෙවැනි කඩුල්ල ලෙස දැවී ගියේය.  
ජොනී බෙයාස්ටෝ ලකුණක් පමණක් ලබා  දැවී යෑමෙන් හයිද්‍රාබාද් පිලේ ආරම්භය අසාර්ථක විය. හයිද්‍රාබාද් පිල පළමු ඕවර හය අවසන් වන විට ලකුණු 27 ක් පමණක් ලබා සිටියේය.

පංජාබ් පිලේ නායක රවිචන්ද්‍රන් අෂ්වින් කාසියේ වාසිය ලබා පළමුව පන්දුවට පහර දීමට හයිද්‍රාබාද් පිලට ආරාධනා කළේය.


සන්රයිසස් හයිද්‍රාබාද් පිල ඕවර 20 කදී කඩුලු 4 ට 150
(ඩේවිඩ් වෝනර් නොදැවී 70, විජේ ශංකර් 26, මනීෂ් පාණ්ඬේ 19, දීපාක් හුඩා නොදැවී 14)

කිංග්ස් XI පංජාබ් පිල ඕවර 19.5 කදී කඩුලු 4 ට 151
(ක්‍රිස් ගේල් 16, ලෝකේෂ් රාහුල් නොදැවී 71, මයාක් අගර්වල් 55, සංදීප් ශර්මා 21/2)

 

 

ඡායාරූප - අයි.පී.එල්. නිලවෙබ් අඩවිය අනුග්‍රහයෙනි

- 048

 


අදහස් (0)

පංජාබ් පිල සිවුවැනි ජය ලබයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.