Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner පන්ජාබ් ක්‍රීඩකයෝ ලකුණු 14 කින් දිල්ලි පරදවති

පන්ජාබ් ක්‍රීඩකයෝ ලකුණු 14 කින් දිල්ලි පරදවති

සංජය එරමුදුගොඩ - 2019 අප්‍රේ මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ 13 වැනි තරගය ලෙස කිංග්ස් XI පන්ජාබ් කණ්ඩායම සහ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම අතර මොහාලිහිදී අද (1 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 14 ක ජයක් අත්කර ගැනීමට කිංග්ස් XI පන්ජාබ් කණ්ඩායම සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 167 ක ඉලක්කයක් හඹාගිය දිල්ලි කණ්ඩායම ඕවර 19.2 ක් අවසානයේ ලකුණු 152 කට සීමා කිරීමට සෑම් කරන් ප්‍රමුඛ පන්ජාබ් පන්දු යවන්නෝ සමත් වූහ. එහිදී දක්ෂ පන්දු යැවීමක නිතර වූ කරන් ඕවර 2.2 ක් යවමින් කඩුලු 4 ක් දවාගත්තේ ප්‍රතිවාදීන්ට ලකුණු 11 ක් පමණක් ලබාදෙමිනි.

දිල්ලි කණ්ඩායමට පෙනෙන මානයේ තිබූ ජයග්‍රහණය ඔවුන්ගෙන් උදුරා ගැනීම සඳහා කරන්ට අනගි සහායක් දුන් නායක රවිචන්ද්‍රන් අෂ්වින් සහ මොහොමඞ් සාමි කඩුලු 2 බැගින් බිඳහෙළීමට සමත් වූහ.

දිල්ලි කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ රිෂාබ් පාන්ට් පන්දු 26 කදී ලකුණු 39 ක් රැස්කළේ හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 ක් සමගිනි. කොලින් ඉන්ග්‍රම් (38) සමග එක්ව සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 41 කදී ලකුණු 62 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද පාන්ට් සමත් වූ නමුත් දිල්ලි කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යෑමට තරම් එය ප්‍රමාණවත් නොවීය.

පන්දු 29 කට මුහුණදුන් ඉන්ග්‍රම් හයේ පහරකින් සහ හතරේ පහර 4 කින් සිය ඉනිම සැරසූ අතර ආරම්භක පිතිකරු ශිකර් ධවාන් පන්දු 25 කදී හතරේ පහර 4 ක් සමග ලකුණු 30 ක්ද, නායක ශ්‍රෙයාස් අයියර් පන්දු 22 කදී හතරේ පහර 5 ක් සමග ලකුණු 28 ක්ද රැස්කළහ.

පළමුවෙන් පන්දුවට පහරදුන් පන්ජාබ් කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 9 ක් දැවී ලකුණු 166 ක් රැස්කළේය. පන්ජාබ් කණ්ඩායමේ මුල් කඩුලු 3 ලකුණු 58 ක් ඇතුළත බිඳවැටුණ නමුත් සර්ෆරාස් ඛාන් (39) සහ ඩේවිඩ් මිලර් (43) එක්ව සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 40 කදී ලකුණු 62 ක සම්බන්ධතාවක් ගොඩනගමින් සිය කණ්ඩායම ස්ථාවර තත්වයකට රැගෙන ආහ.  

එහිදී පන්දු 30 කට මුහුණදුන් මිලර් හයේ පහර 2 කින් සහ හතරේ පහර 4 කින් සිය ඉනිම සැරසූ අතර පන්දු 29 කදී වාර්තා වූ සර්ෆරාස්ගේ ඉනිමට හතරේ පහර 6 ක් අන්තර්ගත විය. මන්දීප් සිං පන්දු 21 කින් නොදැවී ලකුණු 29 ක් රැස්කළේ හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමගිනි.

දිල්ලි කණ්ඩායම වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිරත වූ ක්‍රිස් මොරිස් ලකුණු 30 කට කඩුලු 3 ක් දවාගත් අතර සන්දීප් ලැමිච්හානේ සහ කගිසෝ රබාඩා කඩුලු 2 බැගින් දවාගනිමින් පංජාබ් පිතිකරුවන් මෙල්ල කිරීම සඳහා මොරිස්ට අනගි සහායක් දුන්හ.


කිංග්ස් XI පන්ජාබ් පිල - ඕවර 20 කදී කඩුලු 9 ක් දැවී 166
(ලෝකේෂ් රාහුල් 15, සෑම් කරන් 20, සර්ෆරාස් අහමඞ් 39, ඬේවිඞ් මිලර් 43, මන්දීප් සිං නොදැවී 29, ක්‍රිස් මොරිස් 30/3, සන්දීප් ලැමිච්හානේ 27/2, කගිසෝ රබාඩා 32/2)

දිල්ලි කැපිටල්ස් පිල - ඕවර 19.2 කදී සියලු දෙනා දැවී 152
(ශිකර් ධවාන් 30, ශ්‍රෙයාස් අයියර් 28, රිෂාබ් පාන්ට් 39, කොලින් ඉන්ග්‍රම් 38, සෑම් කරන් 11/4, මොහොමඞ් සාමි 27/2, රවිචන්ද්‍රන් අෂ්වින් 31/2)

 

ඡායාරූප - අයි.පී.එල්. නිලවෙබ් අඩවිය අනුග්‍රහයෙනි

-036

 


අදහස් (0)

පන්ජාබ් ක්‍රීඩකයෝ ලකුණු 14 කින් දිල්ලි පරදවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.