Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner ප්‍රියංජන්ගේ ශතකය දඹුල්ලට ජය ගෙනෙයි

ප්‍රියංජන්ගේ ශතකය දඹුල්ලට ජය ගෙනෙයි

රොෂාන් ගුණරත්න - 2018 අගෝ මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පළාත් විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය ලෙස මහනුවර කණ්ඩායමට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (21 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 18 ක ජයක් අත්කර ගැනීමට දඹුල්ල කණ්ඩායම සමත් විය. ජයග්‍රහණය සඳහා ලකුණු 203 ක ඉලක්කයක් හඹාගිය මහනුවර කණ්ඩායමට ඕවර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 183 ක් පමණි. 

එහිදී ඉසුරු උදාන සහ ෂෙහාන් මධුෂංක කඩුලු 2 බැගින් දවාගනිමින් මහනුවර කණ්ඩායමේ ජයග්‍රාහී මාවත අවහිර කිරීමට පුරෝගාමී වූහ. දඹුල්ල කණ්ඩායමේ නායක ඉසුරු උදාන මෙම තරගයේදී පන්දු යවන්නන් 9 දෙනකුගේ සේවය ලබාගත් අතර ඔවුන් අතරින් ඕවර 4 ම යවා නිම කළ එකම පන්දු යවන්නා බවට පත් වූයේ ධනුෂ්ක ගුණතිලකය. සිය ඕවර 4 ලකුණු 21 කට සීමා කළ ධනුෂ්ක, මහනුවර කණ්ඩායමේ ආරම්භක පිතිකරු සඳුන් වීරක්කොඩි (3) වේලාසනින්ම පිටියෙන් ඉවත් කිරීමටද සමත් විය. 

මහනුවර කණ්ඩායමට වේගවත් ආරම්භයක් ලබාදුන් තික්ෂිල ද සිල්වා පන්දු 38 කදී ලකුණු 63 ක් රැස්කළේ හයේ පහර 4 ක් සහ හතරේ පහර 7 ක් සමගිනි. මුලු ලකුණු සංඛ්‍යාව 80 ක්ව තිබියදී අශාන් පියංජන්ගේ පන්දුවක් හමුවේ ඉසුරු උදාන අතට උඩ පන්දුවක් දෙමින් මහනුරව කණ්ඩයමේ දෙවැනි කඩුල්ල ලෙස තික්ෂිල දැවී නොයන්න තරගයේ ප්‍රතිඵලය මීට හාත්පසින්ම වෙනස් වීමට ඉඩ තිබිණ. 

ආරම්භයේදී තරමක් සෙමින් ලකුණු රැස්කළද, පිටියේ ස්ථාවර වීමෙන් අනතුරුව පන්දු 32 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහරක් සමග ලකුණු 43 ක් රැස්කිරීමට ළහිරු තිරිමාන්න සමත් විය. මන්දගාමී වී තිබූ ලකුණු ලබාගැනීමේ වේගය ඉහළ නැංවීමට යෑමෙදී ඉසුරු උදානගේ පන්දුවක් හමුවේ ලක්ෂාන් සඳකැන් අතට උඩපන්දුවක් දෙමින් අර්ධ ශතකය පෙනි පෙනී තිබියදී තිරිමාන්න පිටියෙන් ඉවත්ව  ගියේය. 

පන්දු 18 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහරක් සමග ලකුණු 26 ක් රැස්කළ භානුක රාජපක්ෂ මෙන්ම පන්දු 5 කදි හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමග ලකුණු 15 ක් රැස්කළ චරිත් අසලංකද සිය කණ්ඩායම පරාජයෙන් මුදවාගැනීම සඳහා මහත් පරිශ්‍රමයක් දැරූහ. එහෙත් ලක්ෂාන් සඳකැන්ගේ පන්දුවක් හමුවේ හසිත බෝයගොඩ අතට උඩ පන්දුවක් දෙමින් භානුකද, ඉසුරු උදානගේ පන්දුවක් හමුවේ වනිඳු හසරංග අතට උඩ පන්දුවක් දෙමින් අසලංකද දැවී යෑම නිසා ඔවුන්ගේ උත්සාහයන් අසාර්ථක විය. 

මහනුවර කණ්ඩාමට තරගය ජයගැනීම සඳහා අවසන් ඕවර 2 තුළදී ලකුණු 39 ක් රැස්කිරීමට සිදුවූ අතර එවැනි වාතාවරණයක් මැද ඉනිමේ 19 වැනි ඕවර යැවීම සඳහා කැඳවීම් ලැබූ ෂෙහාන් මධුෂංක, එම ඕවරය තුළදී චාමික කරුණාරත්න ලකුණු 2 කටද, සචිත් පතිරණ ලකුණු 8 කටද දවාගනිමින් දඹුල්ල කණ්ඩායමේ ජයග්‍රහණය තවත් පහසු කළේය.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් දඹුල්ල කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 5 ක් දැවී ලකුණු 202 ක් ලබාගත් අතර දඹුල්ල ඉනිමේ කොඳු නාරටිය බවට පත් වූ අශාන් ප්‍රියන්ජන්, වේගවත් පිතිහරඹකය නිරත වෙමින් පන්දු 52 කදී හයේ පහර 6 ක් සහ හතරේ පහර 9 ක් සමගින් ලකුණු 108 ක් රැස්කළේය. ප්‍රියංජන් ලබාගත් ශතකය මෙම තරගාවලියේදී වාර්තා වූ දෙවැනි ශතකය ලෙස සටහන් වූ අතර එය සම්පූර්ණ කිරීම සඳහා ඔහුට වැය වූයේ පන්දු 48 ක් පමණි. සචිත් පතිරණ යැවූ අවසන් ඕවරයේ පස්වැනි පන්දුවට හරවා පහරක් ගැසීමට යෑමෙදී පිත්තේ දාරයේ වැදී එක තැන ඉහළ නැගි පන්දුව, යළිත් සචිත්ගේ දෑටම පතිතවීම හේතුවෙන් ප්‍රියංජන්ට දඹුල්ල ඉනිම නිමාවීමට පන්දුවක් ඉතිරිව තිබියදී පිටියෙන් ඉවත්ව යෑමට සිදුවිය. 

ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලක සමග එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 73 කදී ලකුණු 122 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද ප්‍රියංජන් සමත් විය. මාලින්ද පුෂ්පකුමාරගේ පන්දුවක් කඩුල්ලේ දැවටීම හේතුවෙන් ගුණතිලක දැවී යෑමත් සමග එම සම්බන්ධතාව නිමාවට පත් විය. තරමක මන්දගාමි පිතිහරඹකය නිරත වූ ගුණතිලක දැවී යන විට පන්දු 43 කදී හතරේ පහර 3 ක් සමග ලකුණු 39 ක් ලබා සිටියේය. ලකුණු 35 ක් ලබා සිටියදී පුෂ්පකුමාරගේ පන්දුවක් හමුවේ නායක දසුන් ශානක අතට ලබාදුන් උඩ පන්දුවක් ඔහු අතින් ගිළිහී ගියද, ඉන් නිසි ඵල නෙලාගැනීමට ගුණතිලක අසමත් විය. 

දඹුල්ල කණ්ඩායමට වේගවත් ආරම්භයක් ලබාදුන් රමිත් රඹුක්වැල්ල පන්දු 15 කදී ලකුණු 24 ක් රැස්කළේ හතරේ පහර 5 ක් සමගිනි. ලකුණු 6 ක් ලබා සිටියදී දසුන් ශානකගේ පන්දුවක් හමුවේ ෂෝට් තර්ඞ් මෑන් කළාපයේ පන්දු රකිමින් සිටි මාලින්ද පුෂ්පකුමාර වෙත ලබාදුන් උඩ පන්දුව ඔහු අතින් ගිළිහී යෑම නිසා රඹුක්වැල්ලට තවදුරටත් කඩුල්ලේ රැදී සිටීමට අවස්ථාව උදා විය. 

සධීර සමරවික්‍රම සහ වනිඳු හසරංග ලකුණු 2 බැගින් ලබා සිටියදී පිටියෙන් ඉවත් කිරීමට මාලින්ද පුෂ්පකුමාර සහ ලසිත් මාලිංග සමත් වූහ. පුෂ්පකුමාරගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවෙමින් සධීර දැවී ගිය අතර වනිඳු දැවී ගියේ මාලිංගගේ පන්දුවක් හමුවේ පුෂ්පකුමාර අතට උඩපන්දුවක් ලබාදෙමිනි. දඹුල්ල ඉනිමේ හයවැනි පිතිකරුවා ලෙස පිටියට පිවිසි නායක ඉසුරු උදාන පන්දු 4 කදී හයේ පහර 2 ක් සමග ලකුණු 13 ක් රැස්කරමින් සිය කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව 200 සීමාවෙන් ඔබ්බට රැගෙන ගියේය. 

මෙම තරගය සඳහා කණ්ඩායම් දෙකේ නිත්‍ය නායකයන් දෙදෙනා වන ඇන්ජලෝ මැතිව්ස් සහ තිසර පෙරේරා ක්‍රීඩා නොකළ අතර ඔවුන් වෙනුවට දසුන් ශානක මහනුවර කණ්ඩායමේ නායකයා ලෙසත්, ඉසුරු උදාන දඹුල්ල කණ්ඩායමේ නායකයා ලෙසත් කටයුතු කළහ.  


අදහස් (0)

ප්‍රියංජන්ගේ ශතකය දඹුල්ලට ජය ගෙනෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.