Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් මෙහෙයවනු ලබන කාන්තා ශූරතා තරගාවලියේ ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර රංගිරි දඔුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (20 වැනිදා) පැවැති පළමු එක්දින තරගයෙන් ලකුණු 69 ක ජයක් හිමිකර ගත් පාකිස්තානය තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය 1-0 ක් ලෙස පෙරමුණ ගැනීමට සමත් විය.
![]() |
![]() |
![]() |
ජයග්‍රහණය සදහා ලකුණු 251 ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකාවට ඕවර 45.2 කදී සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 181 ක් පමණි.
පළමු ඕවරයේ දෙවැනි පන්දුවෙන් හසිනි පෙරේරා ලකුණු නොලබා දැවී ගියද අවශ්‍ය ලකුණු ලබාගැනීමේ වේගය රදවාගත් නිපුනි හංසිකා සහ චමරි අතපත්තු දෙවැනි කඩුල්ල සදහා පන්දු 54 කදී ලකුණු 51 ක් රැස්කිරීමට සමත්වූහ.
සානා මීර්ගේ පන්දුවක් කඩුල්ලේ වැදීමෙන් ලකුණු 18 ක් ලබාසිටි නිපුනි හංසිකා දැවී ගියද තව දුරටත් අවශ්‍ය ලකුණු වේගය රදවාගත් චමරි අතපත්තු ලකුණු 46 ක් ලබාසිටියදී නෂ්රා සන්ධූගේ පන්දුවක් කඩුල්ලේ වැදීමෙන් දැවී ගියාය.
ආරම්භයේදී තරමක මන්දගාමී ලකුණු රැස්කිරීමක චමරි අතපත්තු නිරත වුවද දැවීයන විට පන්දු 57 කට මුහුණ දෙමින් හයේ පහරක් සහ හතරේ පහර 6 ක් සිය ඉනිමට එක්කර ගත්තාය.
ලකුණු 20 ක් තුළ මැද පෙළ පිතිකරුවන් සිවුදෙනෙකුම දැවීයාම හේතුවෙන් ශ්‍රී ලංකාව දැඩි අසීරූතාවයකට පත් වූහ.
කඩා වැටුණු ශ්‍රී ලංකා ඉනිම ගොඩනැගීමට හිටපු නායිකාව වූ ශශිකලා සිරිවර්ධන දැඩි උත්සහයක නිරත වෙමින් සිටින අතර තුර හත්වැනි කඩුල්ල ලෙස අමා කාංචනා ලකුණු 16 කට දැවී ගියාය.
අටවැනි කඩුල්ල සදහා පිටියට පිවිසි කවීශා දිල්හාරී සමගින් පන්දු 55 කදී ලකුණු 40 ක සම්බන්ධතාවයක් ගොඩනැගීමට ශශිකලා සිරිවර්ධනට හැකිවිය. ශ්‍රී ලංකා ලකුණු පුවරුව 164 ක් වනවිට අටවැනි කඩුල්ල ලෙස ලකුණු 14 ක් ලබාසිටි කවීශා දිල්හාරී අවාසනාවන්ත දුවද්දී දැවීයාමකට හසුව දැවී ගියාය.
තවත් ලකුණු 17 ක් තුළ අවසන් කඩුලු දෙකක් බිඳ වැටුණු අතර අවසන් මොහොත වනතෙක් සටන අත් නොහරමින් පන්දුවට පහරදුන් ශශිකලා සිරිවර්ධන පන්දු 76 කදී හතරේ පහර 6 ක් සමගින් ලකුණු 44 ක් රැස්කිරීමට සමත්වූවාය.
බිස්මා මාරූෆ් ලකුණු 17 කට කඩුලු 3 ක් සහ සානා මීර් ලකුණු 29 කට කඩුලු 2 ක් දවාගනිමින් පාකිස්තාන කාන්තා කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත්වූහ.
ජවේරියා ඛාන්ගේ විශිෂ්ට පිතිහරඹය හමුවේ පළමුව පන්දුවට පහරදුන් පාකිස්ථානය ඕවර 50 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 250 රැස් කළේය.
සිය දෙවැනි එක්දින ශතකය පන්දු 135 කදී රැස්කළ ජවේරියා ඛාන් පාකිස්තාන් ඉනිම අවසන්වන තෙක් කඩුල්ලේ රැඳී සිටිමින් නොදැවී ලකුණු 113 ක් රැස් කළාය. පන්දු 142 කට මුහුණදුන් ජවේරියා ඛාන්ගේ ඉනිමට හතරේ පහර 15 ක් ඇතුළත් විය.
අවසන් ඕවරයේදී ස්ටම්ප් කිරීමට හසුකර ගනිමින් ජවේරියා ඛාන් දවාගැනීමට තිබූ අවස්ථාව චමරි අතපත්තු යැවූ පන්දුව නිපන්දුවක් වීම හේතුවෙන් ගිලිහී ගියේය.
ඕවර 25 ක් අවසානයේ ලකුණු 89 කට කඩුලු 4 ක් අහිමිකර ගෙන සිටි පාකිස්තාන කණ්ඩායමේ ලකුණු ලබාගැනීමේ වේගය රඳා පැවැතියේ 3.56 ක් ලෙසිනි. නමුත් මැද පෙළ පිතිකාරිණියන්ගේ වේගවත් ලකුණු ලබාගැනීම හමුවේ ඉනිම අවසන් වනවිට ලකුණු ලබාගැනීමේ වේගය 5.00 දක්වා වර්ධනය කරගත් පාකිස්තානය අවසන් ඕවර 10 තුළදී එක් කඩුල්ලක් අහිමිකර ගනිමින් ලකුණු 77 ක් ලබාගැනීමට සමත්වූහ.
ආරම්භක පිතිකාරිණියන් යුගලය ලකුණු 19 ක් තුළ පිටියෙන් ඉවත් කරමින් පාකිස්තානයට පීඩනයක් ඇති කිරීමට අචිනි කුලසූරිය සහ ශ්‍රීපාලී වීරක්කොඩි සමත්වූහ.
ජවේරියා ඛාන් සමගින් එක්ව තෙවැනි කඩුල්ල සදහා ලකුණු 49 ක සම්බන්ධතාවයක් පැවැත්වූ නායිකා බිස්මා මාරූෆ්ගේ දැවීයාමත් සමගින් පාකිස්තාන කණ්ඩායමේ ලකුණු ලබාගැනීමේ වේගයද තරමක් දුරට අඩුවිය. ශශිකලා සිරිවර්ධනගේ පන්දුවක් හමුවේ කඩුලු රකින ක්‍රීඩිකා රෙබෙකා වැන්ඩට් හට උඩපන්දුවක් දෙමින් බිස්මා මාරූෆ් දැවීයන විට පන්දු 40 කදී හතරේ පහර දෙකක් සමගින් ඇයට ලබාගැනීමට හැකිවූයේ ලකුණු 19 ක් පමණි.
තවත් ලකුණු 4 ක් පාකිස්තාන කණ්ඩායමට එකතු වනවිටදී චමරි අතපත්තුගේ පන්දුවක් හමුවේ ස්ටම්ප් කිරීමකට හසුවූ සිඩ්‍රා අමීන්ට ලකුණු නොලබාම පිටියෙන් ඉවත්වීමට සිදුවිය.
පස්වැනි කඩුල්ල සදහා නිඩා දාර් සමගින් ලකුණු 72 ක සම්බන්ධතාවයක්ද, හයවැනි කඩුල්ල සදහා සානා මීර් සමගින් ලකුණු 46 ක සම්බන්ධතාවයක් සහ හත්වැනි කඩුල්ල සදහා නටාලියා පර්වේස් සමගින් ලකුණු 60 ක නොබිඳුණු සම්බන්ධාවයක් ගොඩැගීමට ජවේරියා ඛාන් සමත් වූවාය.
ශ්‍රී ලංකා නායිකාව පන්දු යවන්නියන් හත් දෙනෙකු යොදා ගනිමින් පාකිස්තාන පිතිකාරිණියන් මෙල්ල කිරීමට උත්සහ ගත්තද ඔවුන් තමන්ගේ ඉලක්කය කරා පහසුවෙන් ලගා වූහ.
කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු පළමුව පන්දු රැකීමට තීරණය කළාය.
ජායාරූප - ළහිරු හර්ෂණ
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.