Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
බිස්මා මාරූෆ්ගේ (89) පිතිහරඹයත් සානා මීර්ගේ (32/4) පන්දු යැවීමත් හේතුවෙන් ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර අද (22 වැනිදා) පැවැති දෙවැනි එක්දින තරගයෙන් ලකුණු 94 ක ජයක් හිමිකර ගත් පාකිස්තානය තවත් තරගයක් ඉතිරිව තිබියදීම තරගාවලිය 2-0 ක් ලෙස ජයගැනීමට සමත්විය. මෙම තරගය අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් මෙහෙයවනු ලබන තරගාවලියට අයත් වන්නකි.
![]() |
![]() |
ජයග්‍රහණය සදහා ලකුණු 251 ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකාවට ඕවර 37 කදී සියලුදෙනා දැවී රැස්කිරීමට හැකි වූයේ ලකුණු 156 ක් පමණි.
ලකුණු 106 කට කඩුලු 9 ක් දැවී තිබියදීත් අවසන් කඩුල්ල සදහා පන්දු 58 කදී ලකුණු 50 ක සම්බන්ධතාවයක් පවත්වමින් ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීමට ශ්‍රීපාලී වීරක්කොඩි සහ සුගන්ධිකා කුමාරි සමත්වූහ. අවසන් කඩුල්ල සදහා ශ්‍රීපාලී වීරක්කොඩි සහ සුගන්ධිකා කුමාරි පැවැත්වූ ලකුණු 50 ක සම්බන්ධතාවය ලෝකයේ සිවුවැනි හොඳම සම්බන්ධතාවය ලෙස වාර්තා පොත් අතරට එක්වීය. ශ්‍රීපාලී වීරක්කොඩි පන්දු 28 කදී හතරේ පහර 5 ක් සමගින් නොදැවී ලකුණු 29 ක් රැස්කළ අතර සුගන්දිකා කුමාරී පන්දු 34 කදී හතරේ පහර 3 ක් සමගින් ලකුණු 17 ක් රැස්කළාය.
පළමු කඩුල්ල ලෙස නිපුනි හංසිකා දුවද්දී දැවීයාමකට හසුව ලකුණු 5 කට දැවී යාමත් සමගින් පන්දුවට පහරදීම සදහා පිටියට පිවිසි ඩිලානි මනෝදරාටද වැඩි වේලාවක් කඩුල්ලේ රැඳී සිටීමට සානා මීර් අවස්ථාවක් නොදුන්නාය. ලකුණු පුවරුවේ ශ්‍රී ලංකා කණ්ඩායම ඉදිරියෙන් ලකුණු 34 ක් සටහන් වනවිට ජේෂ්ඨ ක්‍රීඩිකාවන් වන ඩිලානි මනෝදරා, චමරි අතපත්තු සහ ශශිකලා සිරිවර්ධන දවාගැනීමට නෂ්රා සධු සහ සානා මීර් සමත්වූහ. ඔවුන් තිදෙනාම දැවී ගියේ නහිඩා ඛාන් වෙත උඩපන්දු දීමෙනි.
චමරි පොල්ගම්පොල සමගින් එක්ව පස්වැනි කඩුල්ල සදහා ලකුණු 21 ක සම්බන්ධතාවයක් ගොඩනගමින් වේගවත් ලකුණු රැස්කිරීමක නිරත වීමට උත්සහ කළ රෙබෙකා වැන්ඩට් ලකුණු 10 ක් ලබාසිටියදී සානා මීර්ගේ පන්දුවක් හමුවේ ස්ටම්ප් කිරීමකට හසුව දැවී ගියාය. නිපුනි හංසිකා සමගින් ශ්‍රී ලංකා ඉනිම ඇරඹු චමරි අතපත්තු වේගවත් ආරම්භයක් ලබාගත්තද පන්දු 23 කදී හතරේ පහර 5 ක් සමගින් ලකුණු 24 කට දැවී ගියාය.
ශ්‍රී ලංකා කණ්ඩායම පත්ව ඇති අවමානයෙන් ගොඩගැනීම සදහා චමරි පොල්ගම්පොල සහ අමා කාංචනා උත්සහ ගත්තද හත්වැනි කඩුල්ල ලෙස අමා කාංචනා දැවීයාමත් සමගින් ලකුණු 34 ක සම්බන්ධතාවයටද තිත තැබුණි.
නිඩා දාර් යවන ලද 28 වැනි ඕවරයේ පළමු පන්දු දෙකේදී චමරි පොල්ගම්පොල සහ ඉනෝකා රණවීර දැවීයාමත් සමගින් ලකුණු 5 ක් තුළ කඩුලු 3 ක් බිඳ වැටුණි. මෙම තරගයේදී නහීඩා ඛාන්ගේ සිවුවැනි උඩපන්දුව ලෙස ලකුණු 24 ක් ලබාසිටි චමරි පොල්ගම්පොල දැවී යනවිට පන්දු 54 කට මුහුණදී හතරේ පහර 4 ක් සිය ඉනිමට එක්කරගෙන සිටියාය.
ඕවර 10 කදී නිලකුණු ඕවර 3 ක් සමගින් ලකුණු 32 කට කඩුලු 4 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීමට සානා මීර් සමත්වූ අතර නිඩා දාර් ලකුණු 27 කට කඩුලු 2 ක් බිඳ දැමුවාය.
නායිකා බිස්මා මරූෆ්ගේ (89) පිතිහරඹය හමුවේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුව පහරදුන් පාකිස්තානය ඕවර 50 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 250 ක් රැස්කිරීමට සමත්විය.
ශ්‍රී ලංකා පන්දු රකින්නියන්ගේ දුර්වල පන්දු රැකීම හමුවේ බිස්මා මාරූෆ් අවස්ථා තුනකදී කඩුල්ලේ රැඳී සිටීමට වාසනාවන්ත වූවාය. ලකුණු 9 දී සුගන්දිකා කුමාරී, ලකුණු 54 දී චමරි පොල්ගම්පොල සහ ලකුණු 69 දී ශ්‍රීපාලී වීරක්කොඩි විසින් උඩපන්දු අත්හරිනු ලැබීම හේතුවෙන් බිස්මා මාරූෆ්ට සිය කණ්ඩායම ලකුණු 250 සීමාව දක්වා රැගෙන යාමට හැකිවූවාය. අද තරගයේදී උඩපන්දු 4 ක් ශ්‍රී ලංකා පන්දු රකින්නියන් අතින් ගිලිහී ගොස් තිබිණ.
පන්දු යවන්නියන් හයදෙනෙකු යොදාගත් ශ්‍රී ලංකා නායිකාව මුල් භාගය තුළ සාර්ථක ප්‍රතිඵල නෙලා ගත්තද අවසන් භාගය තුළ දුර්වල පන්දු යැවීමත් දුර්වල පන්දු රැකීමත් හේතුවෙන් ඉහළ ලකුණු සංඛ්‍යාවක් කරා කණ්ඩායම රැගෙන යෑමට පාකිස්තාන පිතිකාරිණියන්ට අවස්ථාව හිමිවිය. ඕවර 35 ක් අවසානයේ කඩුලු 4 ක් දැවී ලකුණු 138 ක් රැස්කරගත් පාකිස්තාන පිතිකාරිණියන් අවසන් ඕවර 15 තුළදී කඩුලු 2 ක් අහිමිකර ගනිමින් ලකුණු 112 ක් උදුරා ගැනීමට සමත්වූහ.
උඩපන්දු 3 ක් අතහැරීමෙන් පසුව අවසන් ඕවරයේදී දුන් උඩපන්දුව චමරි අතපත්තු විසින් රැකගැනීමත් සමගින් ලකුණු 89 කට බිස්මා මාරූෆ්ගේ ඉනිම අවසන් වූවාය. පන්දු 90 කට මුහුණදුන් බිස්මා මාරූෆ් හයේ පහරක් සහ හතරේ පහර 9 ක් සිය ඉනිමට එක්කර ගත්තාය.
ලකුණු 98 කට කඩුලු 4 ක් දැවී තිබියදී නිඩා දාර් සමගින් එක්ව පස්වැනි කඩුල්ල සදහා පන්දු 101 කදී ලකුණු 91 ක සම්බන්ධතාවයක් පැවැත්වූ බිස්මා මාරූෆ් හයවැනි කඩුල්ල සදහා හිටපු නායිකා සානා මීර් සමගින් එක්ව පන්දු 40 කදී ලකුණු 55 ක සම්බන්ධතාවයක් පැවැත්වීමට සමත්වූවාය.
සිවුවැනි ඕවරයේදී ලකුණු 15 ක් ලබා සිටි නහීඩා ඛාන් ලබාදුන් උඩපන්දුව අතහැරීම හේතුවෙන් තවත් ලකුණු 14 ක් සිය ඉනිමට එක්කර ගත් ඇය අමා කාංචනාගේ පන්දුවක් හමුවේ හසිනි පෙරේරා හට උඩපන්දුවක් ලබාදෙමින් පාකිස්තාන් ඉනිමේ පළමු කඩුල්ල ලෙස දැවී ගියාය. පන්දු 43 කට මුහුණදුන් නහීඩා ඛාන්ගේ ඉනිමට හතරේ පහර 4 ක් ඇතුළත් විය.
නහීඩා ඛාන් සමගින් පළමු කඩුල්ල සදහා ලකුණු 49 ක සම්බන්ධතාවයක් පැවැත්වූ මුනීබා අලී දෙවැනි කඩුල්ල සදහා ජවේරියා ඛාන් සමගින් ලකුණු 28 ක සම්බන්ධතාවයක්ද පැවැත්වූවාය. ශ්‍රීපාලී වීරක්කොඩිගේ පන්දුවක් හමුවේ ලකුණු 31 ක් ලබාසිටියදී මුනීබා අලී දුන් උඩපන්දුව සුගන්දිකා කුමාරී රැකගැනීමත් සමගින් ඇයගේ ඉනිම අවසන් වූවාය.
පළමු තරගයේදී ශ්‍රී ලංකා පන්දු යවන්නියන් හට පහර පිට පහර දෙමින් ශතකයක් රැස්කළ ජවේරියා ඛාන්ට අද තරගයේදී ලකුණු 16 කින් සෑහීමට පත්වීමට සිදුවූවාය. ශ්‍රීපාලී වීරක්කොඩි රැකගත් පන්දුව කඩිනමින් කඩුලු රකින්නිය වෙත ලබාදීම හේතුවෙන් ජවේරියා ඛාන් අවාසනාවන්ත දුවද්දී දැවීයාමකට හසුවූවාය.
නිඩා දාර් පන්දු 46 කදී හතරේ පහර 2 ක් සමගින් ලකුණු 38 ක් රැස්කිරීමට සමත්වූ අතර සානා මීර් පන්දු 25 කදී හතරේ පහර 3 ක් සමගින් ලකුණු 27 ක් රැස්කරමින් ඉනිම අවසන් වනතෙක් නොදැවී කඩුල්ලේ රැදී සිටියාය.
ඕවර 10 ක් යවමින් එක් නිලකුණු ඕවරයක් යවමින් ලකුණු 34 කට කඩුල්ලක් දවාගනිමින් ශ්‍රී ලංකාව වෙනුවෙන් සාර්ථක පන්දු යැවීමක නිරතවූ අතර ශ්‍රීපාලී වීරක්කොඩි ලකුණු 46 කට කඩුලු 2 ක් බිඳ දැමුවාය. පළමු තරගයට ක්‍රීඩා කළ කවීශා දිල්හාරී සහ අචිනි කුලසූරිය කණ්ඩායමෙන් ඉවත්කර චමරි පොල්ගම්පොල සහ සුගන්දිකා කුමාරී ශ්‍රී ලංකා කණ්ඩායමට කැඳවා තිබිණ. පාකිස්තාන කණ්ඩායමේ වෙනස්කමක් නොකරමින් පළමු තරගයට ක්‍රීඩා කළ කණ්ඩායමම මෙම තරගය සදහාද සහභාගී වෙති.
ඡායාරූප - ළහිරු හර්ෂණ
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.