Last Update  :  2025-04-21 20:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner පාකිස්තානය 3-0 කින් ශ්‍රී ලංකාව පරදවයි

පාකිස්තානය 3-0 කින් ශ්‍රී ලංකාව පරදවයි

සංජය එරමුදුගොඩ - 2018 මාර් මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (24 වැනිදා) පැවැති තෙවැනි එක්දින තරගයෙන් ලකුණු 108 ක ජයක් ලැබූ පාකිස්තාන කණ්ඩායම දෙරට අතර පැවැති එක්දින තරගාවලිය 3-0 ක් ලෙස ජයගැනීමට සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 216 ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා කණ්ඩායම ඕවර 41.3 ක් අවසානයේ ලකුණු 107 කට සීමා කිරීමට පාකිස්තාන පන්දු යවන්නියෝ සමත් වූහ. එහිදී ශ්‍රී ලංකා ඉනිම නිමාවන තෙක්ම කඩුල්ලේ රැදී සිටි සුගන්දිකා කුමාරි පන්දු 45 කදී හතරේ පහර 2 ක් සමගින් නොදැවී ලකුණු 18 ක් රැස්කළාය.

ආරම්භක පිතිකාරිණි යුගළය වූ නිපුනි හංසිකා (35) සහ චමරි පොල්ගම්පල (10) පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 79 කදී ලකුණු 49 ක සම්බන්ධතාවක් ගොඩනගමින් ශ්‍රී ලංකා කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබා දුන්හ. එහිදී තරමක වේගවත් පිතිහරඹයක නිරත වූ නිපුනි පන්දු 40 කදී හතරේ පහර 5 ක් සමගින් ලකුණු රැස්කළ අතර පොල්ගම්පල පන්දු 41 කට මුහුණදෙමින් එක් අන්තයක් රැකගෙන ආරක්ෂාකාරී පිතිහරඹයක නිරත වූවාය.   

ශ්‍රී ලංකා ඉනිමේ 14 වැනි ඕවරය යැවූ නෂ්රා සන්ධු එහිදී චමරි පොල්ගම්පල දවාගනිමින් පළමු කඩුල්ලේ සම්බන්ධතාවට තිත තැබුවාය. පිට ඉන්නට පිටතින් පතිත වූ පන්දුව විශාල දඟ කැවීමකට ලක්ව පා ඉන්නේ දැවටීම හේතුවෙන් පොල්ගම්පලට ක්‍රීඩාගාරය බලා පියමන් කිරීමට සිදුවූවාය.

ඉන් අනතුරුව ක්‍රියාත්මක වූ සානා මීර් 15 වැනි ඕවරයේ දෙවැනි සහ අවසන් පන්දුවලදී තවත් කඩුලු 2 ක් බිඳහෙළමින් ශ්‍රී ලංකා ලකුණු පුවරුව ලකුණු 49 කට කඩුලු 3 ක් බවට පත් කළාය. එහිදී සානාගේ පන්දු හමුවේ ඩයනා බේග් අතට උඩ පන්දුවක් දෙමින් නිපුනි හංසිකාද (35), නයිඩා ඛාන් අතට උඩ පන්දුවක් දෙමින් රෙබේකා වැන්ඩොට්ද (0) පිටියෙන් ඉවත්ව ගියහ.

ඉනිමේ 16 වැනි ඕවරයේ පළමු පන්දුවේදී නායිකා චමරි අතපත්තු ලකුණු ලබා ගැනීමටත් පෙරාතුවම ආපසු ක්‍රීඩාගාරයට හරවා යැවීමට නෂ්රා සන්ධු සමත් වූයේ ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 49 දීම සිවුවැනි කඩුල්ලත් අහිමිකරමිනි. නෂ්රාගේ පන්දුවක් හමුවේ ඇය අතටම පහසු උඩ පන්දුවක් දෙමින් දැවී යන විට අතපත්තු පන්දු 6 කට මුහුණදී සිටියාය.

දිගින් දිගටම ශ්‍රී ලංකා පිතිකාරිණියන් පීඩනයට පත්කළ සානා මීර්, 19 වැනි සහ 21 වැනි ඕවර වලදී ශෂිකලා සිරිවර්ධන (3) සහ හෂිනි පෙරේරා (8) කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකරගනිමින් සිය කඩුලු මල්ල 4 ක් දක්වා ඉහළ දමාගත්තාය.

ශ්‍රී ලංකා ඉනිමේ අවසන් කඩුලු 4 ලකුණු 28 ක් තුළ බිඳවැටුණ අතර ඉන් 3 කටම හිමිකම් කීමට නීඩා දාර් සමත් වූවාය. ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් අතරින් වැඩිම වේලාවක් පිටියේ රැදී සිටි ප්‍රසාදිනී වීරක්කොඩිගේ ඉනිම ලකුණු 15 කට සීමා කළ නීඩා, ඉන් නොනැවතී අමා කංචනා ලකුණු 7 කටද, ඉනෝකා රණවිර ලකණු 4 කටද පිටියෙන් ඉවත් කළාය.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්තාන කණ්ඩායම ඕවර 50 අවසානයේ කඩුලු 9 ක් දැවී ලකුණු 215 ක් ලබාගත්තේය. පාකිස්තාන ඉනිමේ පළමු කඩුල්ල ලෙස මුනීබා අලී පිටියෙන් ඉවත් කිරීමට සුගන්දිකා කුමාරි සමත් වූ අතර පා ඉන්න දෙසින් පැමිණි පන්දුව කඩුල්ලේ දැවටීමත් සමග මුනීබාගේ ඉනිම ලකුණු 19 කට සීමාවිය.

පළමු තරගයේදී ශතකයක් ලබාගත් ජවේරියා ඛාන් (30) සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 85 කදී ලකුණු 63 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද නයිඩා ඛාන් සමත් වූවාය. ශෂිකලා සිරිවර්ධනගේ පන්දුවක් හමුවේ සුගන්දිකා කුමාරි අතට උඩ පන්දුවක් දෙමින් ජවේරියා දැවී යෑමත් සමග එම සම්බන්ධතාව නිමාවට පත්විය. පන්දු 45 කට මුහුණදුන් ජවේරියා දැවී යන විට හතරේ පහර 4 කින් සිය ඉනිම සරසා තිබිණ.  

දක්ෂ ලෙස පන්දුවට පහරදුන් ආරම්භක පිතිකාරිණි නයිඩා ඛාන් පන්දු 76 කදී හතරේ පහර 5 ක් සමග ලකුණු 46 ක් රැස්කළ අතර ඉනෝකා රණවීරගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවිම නිසා ඇයට අර්ධ ශතකය පෙනි පෙනි තිබියදී ක්‍රීඩාගාරයට ගොස් අසුන් ගැනීමට සිදුවූවාය.

දෙවැනි තරගයේදී අර්ධ ශතකයක් (89) ලබාගත් නායිකා බිස්මා මරූෆ්ට මෙම තරගයේදී දිගු ඉනිමක් ක්‍රීඩා කිරීමට අවස්ථාවක් නොලැබිණ. ශෂිකලා සිරිවර්ධනගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවෙමින් දැවී යන විට පන්දු 34 කට මුහුණදී සිටි ඇය හතරේ පහර 2 ක් සමග ලබා සිටියේ ලකුණු 26 ක් පමණි.

පාකිස්තාන ඉනිමේ අවසන් ඕවර 10 ලකුණු 37 කට සීමා කරමින් කඩුලු 5 ක් දවාගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ සමත් වූහ. එහිදී නීඩා දාර් (20) කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකරගත් අමා කාංචනා, සිද්‍රා නවාස් (3) පිටියෙන් ඉවත් කළේ සුගන්දිකා කුමාරිගේ සහායද ඇතිවය.

හතරේ පහර 2 ක් සමග ලකුණු 21 ක් ලබා සිටි සිද්‍රා අමීන් දුවද්දී දවාගැනීමකට හසුකර ගැනීමට චමරි අතපත්තු සහ රෙබේකා වැන්ඩොට් සමත් වූ අතර සානා මීර් ලකුණු 16 ක් ලබා සිටියදී දුවද්දී දැවීයෑමකට හසුවූයේ නිපුනි හංසිකාගේ දක්ෂ පන්දු රැකීම හමුවේය. පාකිස්තාන ඉනිමේ 9 වැනි කඩුල්ල ලෙස අයිමන් අන්වර් දැවි ගියේ ශ්‍රීපාලි වීරක්කොඩිගේ පන්දුවක් හමුවේ චමරි අතපත්තු අතට උඩ පන්දුවක් දෙමිනි.

මෙම තරගයේදී ඩිලානි මනෝදරා වෙනුවට වෙනුවට ප්‍රසාදිනී වීරක්කොඩි ශ්‍රී ලංකා කණ්ඩායමට කැඳවා සිටි අතර නතාලියා පර්වීස් වෙනුවට අයිමන් අන්වර් පාකිස්තාන කණ්ඩායමට කැඳවා සිටියාය.

 

ඡායාරූප - ළහිරු හර්ෂණ


අදහස් (0)

පාකිස්තානය 3-0 කින් ශ්‍රී ලංකාව පරදවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.