Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner පුජාරා - අග්‍රවාල් ඉන්දියාවට වාසිය ගෙනෙති

පුජාරා - අග්‍රවාල් ඉන්දියාවට වාසිය ගෙනෙති

Nisanka Sandeepani - 2019 ජන මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන් කෙරේ ඇති නොතැකීම තවදුරටත් ඉදිරියට ගෙනයමින් තුන්වැනි ශතකයත් ලබාගත් චෙටේස්වාර් පුජාරා ඕස්ට්‍රේලියානු පිලට එරෙහිව සිඞ්නි ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන සිව්වැනි සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනයේදීම තරගයේ වාසිය ඉන්දීය පිලට අත්කර දුන්නේය. අද (3 වැනිදා) ආරම්භ වූ තරගයේ පළමු දිනයේ ක්‍රීඩාව නතර කරන විට ඉන්දීය පිල සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 4 ක් දැවී ලකුණු 303 ක් ලබා සිටියේය. 

ඉන්දීය ටෙස්ට් කණ්ඩායම පළමු වරට ඕස්ට්‍රේලියාවේ තරග සංචාරයක නිරත වූයේ 1947 දීය. එදා මෙදා තුර ඕස්ට්‍රේලියාවේදී ටෙස්ට් තරගාවලියක් ජයගැනීමට ඉන්දීයාව අසමත් වී තිබේ. එහෙත් මේ වන විටත් 2-1 ක් ලෙසින් තරගාවලියේ ඉදිරියෙන් සිටින ඉන්දීය පිලට සිය ඓතිහාසික තරගාවලි ජයග්‍රහණය ලබාගැනීම සඳහා සිඞ්නි ටෙස්ට් තරගයෙන් පරාජය නොවී සිටීම පමණක් සෑහේ. 

අද සවස තරගය නතර කරන විටත් පිටියේ රැඳී සිටි පුජාරා නොදැවී ලකුණු 130 ක් ලබා සිටි අතර හනුමා විහාරි සමග එක්ව පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 75 ක අඛණ්ඩ සම්බන්ධතාවක්ද ගොඩනංවා සිටියේය. 

ශතකයක් ලබාගත් පුජාරා වැඩිදෙනාගේ අවධානය දිනාගත් නමුත් සිය දෙවැනි ටෙස්ට් තරගයට ක්‍රීඩා කරමින් ලකුණු 77 ක් ලබාගත් මයාන්ක් අග්‍රවාල්ගේ ඉනිමද ඉන්දීය පිලේ සවිමත් පදනම ගොඩනැංවීම සඳහා විශාල දායකත්වයක් සැපයීය. 

ටෙස්ට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම අනුව ලෝකයේ අංක 1 හිමි කණ්ඩායම වන ඉන්දීය පිල මෙම තරගයත් ජයග්‍රහණය කිරීමේ පදනම මේ වන විටත් දමාගෙන තිබේ. එහෙත් ඔවුන්ට ලැබුණේ අසාර්ථක ආරම්භයකි. කාසියේ වාසිය දිනාගත් ඉන්දීය පිල පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළ නමුත් ආරම්භක පිතිකරු ලෝකේෂ් රාහුල් දැවී යන විට ලකුණු පුවරුවේ සටහන් වූයේ ලකුණු 10 ක් පමණි. එසේ වුවත් ඉන්දියාවේ නැංගුරම වන චෙටේස්වාර් පුජාරා ඉනිමේ බර කරට ගත්තේය. 

ආරම්භක පිතිකරු මයාන්ක් අග්‍රවාල් සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 116 ක සම්බන්ධතාවක් ගොඩනැංවූ පුජාරා ඕස්ට්‍රේලියානුවන්ගේ  බවුන්සර් පන්දු වරුසාව හමුවේ නොසැලී සිටීමට අග්‍රවාල්ට මහඟු ශක්තියක් ද විය. 

“මා හිතන්නේ ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන්, වේගවත්, කෙටි බවුන්සර් පන්දු වලින් ඔවුන්ට හැකි උපරිම ආකාරයෙන් අපට පහර දුන්නා. ඒවායේ කෙළවරක් තිබුණේම නෑ” යයි අග්‍රවාල් පැවසීය. 

සිය 18 වැනි ටෙස්ට් ශතකය පන්දු 199 කදී සම්පූර්ණ කළ පුජාරා ඊට හතරේ පහර 13 ක් ඇතුළත් කළේය. සිඞ්නි පිටියේදී නොදැවී ලකුණු 130 ක් ලබා සිටින පුජාරා, ඇඩිලේඞ්හිදී ලකුණු 123 ක්ද, මෙල්බර්න් ක්‍රීඩාංගණයේදී ලකුණු 106 ක් ද ලබාගත්තේය. 

ඉන්දීය නායකයා පිටියට එන විටම නරඹන්නන් අතර සිටි පිරිසක් හූ කීමට පටන්ගත් නමුත් ජොස් හේසල්වුඞ්ගේ පන්දුවකට කෝලි ගැසූ අලංකාර හතරේ පහරත් සමගින් නරඹන්නන්ගේ හූ කීම නතර විය. 

ඉන්දියාව පළමු ඉනිම - කඩුලු 4 ක් දැවී 303 යි
(මයන්ක් අග්‍රවාල් 77, චෙටේස්වාර් පුජාරා නොදැවී 130, විරාට් කෝලි 23, අජින්ක්‍යා රහනේ 18, හනුමා විහාරි නොදැවී 39, ජොස් හේසල්වුඞ් 51/2)

 


අදහස් (0)

පුජාරා - අග්‍රවාල් ඉන්දියාවට වාසිය ගෙනෙති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.