Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner බංග්ලාදේශයට ලකුණු 3 ක තියුණු ජයක්

බංග්ලාදේශයට ලකුණු 3 ක තියුණු ජයක්

Nisanka Sandeepani - 2018 සැප් මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අතිශය තියුණු සටනකින් අනතුරුව ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි හතරදෙනාගේ වටයේ සිවුවැනි තරගය ලෙස ඇෆ්ගනිස්තානය සහ බංග්ලාදේශය අතර අද (23 වැනිදා) අබුඩාබිහි ශෙයික් සයිඞ් ක්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් ලකුණු 3 ක තියුණු ජයක් අත්කර ගැනීමට බංග්ලාදේශය සමත් විය.

 

ඒ අනුව සුපිරි හතරදෙනාගේ වටයේදී පාකිස්තානය සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන තරගය අවසන් පූර්ව තරගයක් බවට පත්වන අතර එම තරගයෙන් ජයගන්නා කණ්ඩායමට අවසන් මහ තරගයේදී ඉන්දියාවට එරෙහිව තරග වැදීමේ අවස්ථාව හිමිවනු ඇත. මෙම තරගයේදී ලද පරාජයත් සමග ඇෆ්ගනිස්තානයට අවසන් මහ තරගයට පිවිසීමට තිබූ අවස්ථාව මඟහැරී ගියේය.

ජයග්‍රහණය සඳහා ලකුණු 250 ක ඉලක්කයක් හඹාගිය ඇෆ්ගනිස්තාන කණ්ඩායම ඕවර 50 අවසානයේ ලකුණු 246 කට සීමා කිරීමට බංග්ලාදේශ පන්දු යවන්නෝ සමත් වූහ. එහිදී නායක මෂ්රෆී මොටාසා සහ මුස්තෆිසුර් රෙහෙමාන් කඩුලු 2 බැගින් දවාගනිමින් සිය කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළහ. තරගය ජයගැනීම සඳහා ඇෆ්ගනිස්තාන කණ්ඩායමට අවසන් ඕවරයේදී ලකුණු 8 ක් රැස්කිරීමට සිදුවූ අතර කඩුල්ලක්ද දවාගනිමින් එම ඕවරය ලකුණු 4 කට සීමා කිරීමට මුස්තෆිසුර් රෙහෙමාන් සමත් විය.

දක්ෂ පිතිහරඹයක නිරත වූ හෂ්මතුල්ලා ශහිඩි පන්දු 99 කදී හතරේ පහර 5 ක් සමග ලකුණු 71 ක් රැස්කරමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යෑමට මහත් උත්සාහයක නිරත විය. එහෙත් ලකුණු ලබාගැනීමේ වේගය වැඩි කිරීමට යෑමේදී මෂ්රෆී මොටාසාගේ පන්දුවක් කඩුල්ලේ වැදීම හේතුවෙන් හෂ්මතුල්ලාගේ උත්සාහය අසාර්ථක වී ගියේය.

නායක අස්ගර් ඇෆ්ගන් (39) සමග එක්ව පන්දු 90 කදී ලකුණු 78 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද හෂ්මතුල්ලා සමත් වූ අතර පන්දු 47 කදී වාර්තා වූ ඇෆ්ගන්ගේ ඉනිමට හතරේ පහර 2 ක් ඇතුළත් විය. ආරම්භක පිතිකරු මොහොමඞ් ශේෂාඞ් (53) පන්දු 81 කදී හතරේ සිය 13 වැනි එක්දින අර්ධ ශතකය සම්පූර්ණ කළේ පහර 8 ක් සමගිනි. අවසන් ඕවර කිහිපයේදී පන්දු 28 කට මුහුණදුන් මොහොමඞ් නබී එහිදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 2 සමග ලකුණු 38 ක් රැස්කළද සිය කණ්ඩායම පරාජයෙන් ගළවා ගැනීමට ඔහුට නොහැකි විය.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම ඕවර 50 අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 249 ක් රැස්කළේය. ලකුණු 87 කට කඩුලු 5 බිඳවැටී තිබූ අවස්ථාවේදී හයවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 153 කදී ලකුණු 128 ක සම්බන්ධතාවක් ගොඩනැගූ මහමදුල්ලා රියාද් (74) සහ ඉම්රුල් කේයස් (නොදැවී 72) බංග්ලාදේශ කණ්ඩායම සටනක් දිය හැකි ලකුණු සංඛ්‍යාවක් කරා කැඳවාගෙන ආහ. එහිදී පන්දු 81 කට මුහුණදුන් මහමදුල්ලා හයේ පහර 2 කින් සහ හතරේ පහර 3 කින් සිය අර්ධ ශතකය අලංකාර කළ අතර පන්දු 89 කදී වාර්තා වූ කේයස්ගේ අර්ධ ශතකය හතරේ පහර 6 කින් සමන්විත විය.

බංග්ලාදේශ කණ්ඩායමේ මුල් කඩුලු 2 ලකුනු 18 ක් තුළ දැවී ගියද, තෙවැනි කඩුල්ල සඳහා පන්දු 79 කදී ලකුණු 63 ක් එක් කිරීමට ලිටන් දාස් (41) සහ මුෂ්ෆිකුර් රහීම් (33) සමත් වූහ. එහිදී මුෂ්ෆිකුර් හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමගින්ද, දාස් හතරේ පහර 3 ක් සමගින්ද ලකුණු රැස්කළහ.

ඇෆ්ගනිස්තාන කණ්ඩායමේ සාර්ථකම පන්දු යවන්නා බවට පත් වූ අෆ්ටාබ් අලාම් ලකුණු 54 කට කඩුලු 3 ක් දවාගත්තේය. මහමදුල්ලා සහ කේයස් අතර පස්වැනි කඩුල්ල වෙනුවෙන් පැවැති සම්බන්ධතාවට තිත තබමින් මහමදුල්ලා පිටියෙන් ඉවත් කිරීමට සමත් වූයේද අෆ්ටාබ් අලාම්ය. එහිදී රෂීඞ් ඛාන් සහ මුජීබ් උර් රෙහෙමාන්ද කඩුල්ල බැගින් දවාගැනීමට සමත් වූහ.


බංග්ලාදේශය - ඕවර 50 කදී කඩුලු 7 ක් දැවී 249
(ලිටන් දාස් 41, මුෂ්ෆිකුර් රහීම් 33, ඉම්රුල් කේයස් නොදැවී 72, මහමදුල්ලා රියාද් 74, අෆ්ටාබ් අලාම් 54/3)

ඇෆ්ගනිස්තානය - ඕවර 50 කදී කඩුලු 7 ක් දැවී 246
(මොහොමඞ් ශේෂාඞ් 53, හෂ්මතුල්ලා ශහිඩි 71, අස්ගර් ඇෆ්ගන් 39, මොහොමඞ් නබී 38, ශමිවුල්ලා ෂෙන්වරි නොදැවී 23, මුස්තෆිසුර් රෙහෙමාන් 44/2, මෂ්රෆී මොටාසා 62/2)

 

 

 

 

- 036


අදහස් (0)

බංග්ලාදේශයට ලකුණු 3 ක තියුණු ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.