Last Update  :  2025-12-13 21:02:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner බාබර් - මලික් පාකිස්තානයට ජය ගෙනති

බාබර් - මලික් පාකිස්තානයට ජය ගෙනති

සංජය එරමුදුගොඩ - 2017 ඔක් මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

බාබර් අසාම් (නොදැවී 69) සහ ෂොයිබ් මලික් (නොදැවී 69) එක්ව සිවුවැනි කඩුල්ල සදහා පැවැත්වූ ලකුණු 119 ක නොබිදුණු සම්බන්ධතාව හේතුවෙන් සාජා ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (20 වැනිදා) පැවැති සිවුවැනි එක්දින තරගයෙන් කඩුලු 7 ක ජයක් හිමිකරගත් පාකිස්තානය 4-0 ක් ලෙස තරගාවලියේ ඉදිරියෙන් පසුවෙයි.  

මෙය පාකිස්තාන කණ්ඩායම පිට පිටම ලද 8 වැනි එක්දින තරග ජයග්‍රහණය වන අතර ශ්‍රී ලංකා කණ්ඩායම පිට පිටම ලද 11 ක් පරාජයයි.

ජයග්‍රහණය සදහා ලකුණු 174 ක ඉලක්කයක් හඹාගිය පාකිස්තානය ඕවර 39 ක් අවසානයේ කඩුලු 3 ක් දැවී එම ඉලක්කය පසු කර ගියේය. සිවුවැනි කඩුල්ල සදහා ලකුණු 119 ක නොබිදුණු සම්බන්ධතාවයක් පැවැත් වූ බාබර් අසාම් (නොදැවී 69) සහ ශොයිබ් මලික් (නොදැවී 69) පාකිස්තාන කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියහ.

පන්දු 101 කදී වාර්තා වූ බාබර් අසාම්ගේ අටවැනි එක්දින අර්ධ ශතකයට හතරේ පහර පහක් ඇතුළත්වූ අතර පන්දු 72 කදී වාර්තා වූ ශොයිබ් මලික්ගේ 42 වැනි අර්ධ ශතකයට හයේ පහර තුනක් සහ හතරේ පහර දෙකක් ඇතුළත් විය.

සීක්කුගේ ප්‍රසන්න යැවූ පන්දුවකට එල්ල කළ පහරක් තමාගේ හිසට ඉහළින් ඇදී යාමේදී එය උඩ පන්දුවක් ලෙස රැකගැනීමට තිසර පෙරේරා උත්සහ ගත්තද, අතේ වැදුණු පන්දුව ගිලිහී යෑම හේතුවෙන් ලකුණු 3 ක් ලබා සිටි ශොයිබ් මලික්ට තවදුරටත් කඩුල්ලේ රැඳී සිටීමට අවස්ථාව හිමිවිය.

මංගල තරගයේදී ශතකයක් ලබාගනිමින් දස්කම් දැක්වූ ඉමාම් උල් හක්ට වැඩි වේලාවක් කඩුල්ලේ රැඳී සිටීමට අවස්ථාවක් ලබා නොදුන් ළහිරු ගමගේ ලකුණු දෙකක් ලබාසිටි ඔහුව කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකර ගත්තේය.

ෆකාර් සමාන් ලකුණු 17 ක් ලබා සිටියදී ස්ටම්ප් කිරීමට හසුව දැවී ගිය අතර තෙවැනි කඩුල්ල ලෙස ලකුණු 9 ක් ලබා සිටි මොහොමඩ් හෆීස් දැවීයන විට පාකිස්තාන කණ්ඩායමේ ලකුණු තත්ත්වය කඩුලු 3 කට ලකුණු 58 ක් ලෙස සටහන් විය.

දුවද්දී දැවීයාමේ ශාපයට ලක්වීමෙන් පසුව පිට පිට කඩුලු බිඳ වැටීම හේතුවෙන් පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමට ඕවර 43.4 කදී සියලු දෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 173 ක් පමණි.

මංගල තරගයට ක්‍රීඩා කරන උස්මාන් ඛාන් යවන ලද දෙවැනි පන්දුවේ දෝලනය හමුවේ සම්පූර්ණයෙන් පරාජයට පත්වු උපුල් තරංගට ලකුණු ලබාගැනීමට පෙරම කඩුල්ල අහිමිකර ගැනීමට සිදුවිය. උස්මන්ගේ මෙම අනපේක්‍ෂිත ප්‍රහාරයෙන් පසුබෑමට ලක්වූ ශ්‍රී ලංකා පිලට ගොඩ ඒමක් නොවූයේ මේ වසරේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු සංඛ්‍යාවක් (852) ලබාගත් උපුල් තරංග ලකුණු නොලබා දැවීයාම හේතුවෙනි.

වේගවත් ආරම්භයක් ලබාගනිමින් ඉහළ ලකුණු සංඛ්‍යාවක් කරා යෑමට අඩිතාලම දමමින් සිටි නිරෝෂන් දික්වැල්ල ලකුණු 22 ක් ලබාසිටියදී ෆකාර් සමාන් අතට උඩපන්දුවක් දෙමින් දැවී ගියේය.

කෙසේ වෙතත් පසුගිය තරගවලට වඩා වැඩි විශ්වාසයකින් පන්දුවට පහරදෙමින් සිටි දිනේෂ් චන්දිමාල් සහ ළහිරු තිරිමාන්න තුන්වැනි කඩුල්ලේ සම්බන්ධතාව තරකරගෙන යද්දී නිවැරදි අවබෝධයකින් තොරව කඩුලු අතර දිවීම හේතුවෙන් චන්දිමාල් අවාසනාවන්ත ලෙස දුවද්දී දැවීගියේය.

පන්දුව ෂෝට් මිඞ් විකට් කලාපයට තල්ලු කළ චන්දිමාල් ලකුණක් කරා දිවයාමට උත්සහ ගනිමින් අනෙක් අන්තය ආසන්නයටම ගියද ළහිරු තිරිමාන්න ලකුණක් කරා දිව යෑමට පැමිණ ආපසු හැරීයාම හේතුවෙන් චන්දිමාල්ට නැවතත් පන්දුවට පහරදුන් අන්තය වෙත දිව ඒමට සිදුවිය. ෂෝට් මිඩිවිකට් කළාපයට ගිය පන්දුව නිසියාකාරව අල්ලා ගැනීමට අතිරේක ක්‍රීඩක අහ්මඞ් ශේෂාඞ් අසමත්වුවද දෙවැනි වර අල්ලාගත් පන්දුව කඩුලු රකින්නාගේ අන්තය වෙත යොමු කළේය. පන්දුව නිසියාකාරව කඩුල්ල කරා නොයන බව දුටු කඩුලු රකින සර්ෆ්‍රාස් අහ්මඞ් ඒ වෙත ඇදී ලබාගත් පන්දුව සමගින් කඩුල්ල වෙතට පනින විට චන්දිමාල් සීමා ඉරෙන් අඩියක් පමණ පසුපසින් සිටියේය.

චන්දිමාල්ගේ දැවී යාමත් තිසර පෙරේරාගේ දැවී යාමත් අතරට එකතු වූයේ ලකුණු 40 ක් පමණි. ඒ අතරවාරයේ පිතිකරුවෝ පස් දෙනෙක්ම ආපසු ක්‍රීඩාගාරයට ගියහ.

චන්දිමාල් දැවීගිය 11 වැනි ඕවරයේ පස්වැනි පන්දුවේදී නැවතත් ක්‍රියාත්මකවූ ඉමාඞ් වසීම් මංගල තරගයේ පන්දුවට පහරදීම සදහා පැමිණි සධීර සමරවික්‍රම ලකුණු ලබාගැනීමට ප්‍රථම ක්‍රීඩාගාරය වෙත නැවත හරවා යැවීමට සමත්විය.

ළහිරු තිරිමාන්න සමගින් එක්ව පස්වැනි කඩුල්ල සදහා ලකුණු 32 ක සම්බන්ධතාවයක් ගොඩනැගූ මිලින්ද සිරිවර්ධන ලකුණු 13 කට දැවීයන විට ශ්‍රී ලංකාව ලකුණු 91 කට කඩුලු 5 ක් ලෙස ලකුණු පුවරුවේ සටහන්විය.

අකිල ධනංජය (18) සමගින් එක්ව අටවැනි කඩුල්ල සදහා ලකුණු 43 ක සම්බන්ධතාවයක් පැවැත්වූ ළහිරු තිරිමාන්න නවවැනි කඩුල්ල සදහා සුරංග ලක්මාල් (නොදැවී 23) සමගින්ද ලකුණු 22 ක සම්බන්ධතාවයක් ගොඩනගමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීමට දායකවිය. සිය 20 වැනි එක්දින අර්ධ ශතකය පන්දු 78 කදී ලබාගත් තිරිමාන්න දැවීයන විට ලකුණු 62 ක් රැස්කිරීමට සමත්විය.

තරගාවලිය පුරා පන්දුවෙන් දස්කම් දක්වන හසන් අලී ලකුණු 37 කට කඩුලු 3 ක් දවාගත් අතර ඔහු ක්‍රීඩා කළ අවසන් තරග අට තුළදී කඩුලු 24 ක් දවාගැනීමට සමත්වී තිබේ. එක්දින තරග 25 කදී වැඩිම කඩුලු සංඛ්‍යාවක් දවාගත් ක්‍රීඩකයන් අතර හසන් අලි (54) දෙවැනි වන්නේ තරග 25 කදී කඩුලු 59 ක් දවාගත් අජන්ත මෙන්ඩිස්ට පමණි.

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක උපුල් තරංග පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.

 

 


අදහස් (0)

බාබර් - මලික් පාකිස්තානයට ජය ගෙනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.