Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner බැංගලෝර් පිට පිටම හයවැනි පරාජය ලබයි

බැංගලෝර් පිට පිටම හයවැනි පරාජය ලබයි

සංජය එරමුදුගොඩ - 2019 අප්‍රේ මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්.) විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ (2019) 20 වැනි තරගය ලෙස බෙන්ගලූරුහි චින්නස්වාමි ක්‍රීඩාංගණයේදී අද (07) පැවැති තරගයේදී දිල්ලි කැපිටල්ස් ක්‍රීඩකයෝ කඩුලු හතරකින් රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් පිල පරාජය කිරීමට සමත් වූහ.

ඉන්දීය සුපිරි පිතිකරු විරාට් කෝලි නායකත්වය දරණ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් පිල මෙවර තරගාවලියේ මේ දක්වා සහභාගි වූ තරග හයම පරාජයට පත්වීම මෙහිදී කැපී පෙනේ.

දිල්ලි කැපිටල්ස් පිල ලකුණු 150 ක ජයග්‍රාහි ඉලක්කය ඕවර 18.5 කදී කඩුලු හයක් දැවී සම්පූර්ණ කිරීමට සමත් විය.

ශ්‍රියාස් අයියර් පන්දු 50 කින් ලකුණු 67 ක් රැස්කළ අතර එයට හතරේ පහර අටක් සහ හයේ පහර දෙකක් ඇතුළත් විය.
 
ශ්‍රියාස් අයියර් සහ කොලින් ඉන්ග්‍රෑම් (22) තෙවැනි කඩුල්ලට පන්දු 29 කින් ගොඩනැගූ ලකුණු 39 ක සම්බන්ධතාවයෙන් ලකුණු වේගය වැඩි වුවද මැද පෙළ පිතිකරුවන් අසාර්ථක වීමෙන් ජයග්‍රහණය සඳහා 19 වැනි ඕවරය දක්වා යෑමට සිදුවිය.

පෘතුවි ෂා (28) සහ ශ්‍රියාස් අයියර් දෙවැනි කඩුල්ලට පන්දු 47 කින් ලකුණු 68 ක සම්බන්ධතාවක් පවත්වමින් වාසිය ලබාගැනීමට සමත් වූහ.

නායක විරාට් කෝලි පන්දු 33 කින් රැස්කළ ලකුණු 42 ක බැංගලෝර් පිලට වඩාත් ප්‍රයෝජනවත් විය. කෝලිගේ ඉනිමට හයේ පහර දෙකක් සහ හතරේ පහරක් ඇතුළත් විය.

විරාට් කෝලිට මෙම ඉනිමේදී සිය සාමාන්‍ය පිතිහරඹයට අවතීරණ වීමට නොහැකි වූ අතර ඔහු ලකුණු වේගය වැඩි කිරීම සඳහා ක්‍රියාත්මක වීමත් සමඟ දැවී යෑම දැඩි පාඩුවක් බවට පත්විය.   

මුයින් අලී සහ විරාට් කෝලි අතර සිවුවැනි කඩුල්ලට පන්දු 25 කින් ලකුණු 36 ක සම්බන්ධතාවක් පැවැත්වූහ.   

මුයින් අලී පන්දු 18 කින් හයේ පහර තුනක් සහ හතරේ පහරක් සමගින් රැස්කළ ලකුණු 32 ක සමගින් බැංගලෝර් පිල හිස එසවීය.

කාගිසෝ රබාඩා අනගි පන්දු යැවීමක නිතර වෙමින් ලකුණු 21 කට කඩුලු හතරක් දවාගැනීමට සමත් විය.
ප්‍රවේගකාරී පිතිකරු ඒ. බී. ඩිවිලියස් පන්දු 16 කින් ලකුණු 17 ක් ලබා දැවී යෑම බැංගලෝර් පිලට දැඩි පාඩුවක් බවට පත්විය.  

දිල්ලි පිලේ නායක ශ්‍රියාස් අයියර් කාසියේ වාසිය ලබා පළමුව පන්දුවට පහර දීමට බැංගලෝර් පිලට ආරාධනා කළේය.


රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් පිල ඕවර 20 කදී කඩුලු 8 ට 149
(විරාට් කෝලි 41, ඒ. බී. ඩිවිලියස් 17, මාකස් ස්ටොනිස් 15, මුයින් අලී 32, අෂ්ඩීප් නාත් 19, කාගිසෝ රබාඩා 21/4, ක්‍රිස් මොරිස් 28/2)

දිල්ලි කැපිටල්ස් පිල ඕවර 18.5 කදී කඩුලු 6 ට 152
(පෘතුවි ෂා 28, ශ්‍රියාස් අයියර් 67, කොලින් ඉන්ග්‍රෑම් 22, රිෂාබ් ප්ලාන්ට් 18)

ඡායාරූප - අයි.පී.එල්. නිල වෙබ්අඩවිය අනුග්‍රහයෙනි

- 048

 


අදහස් (0)

බැංගලෝර් පිට පිටම හයවැනි පරාජය ලබයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.