Last Update  :  2025-04-21 11:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner බී.එම්.එස්. පිල තෙවැනි වරටත් ශූරතාව දිනයි

බී.එම්.එස්. පිල තෙවැනි වරටත් ශූරතාව දිනයි

සංජය එරමුදුගොඩ - 2018 ජුනි මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


රෙඞ්බුල් සමාගම සංවිධානය කළ අන්තර් විශ්ව විද්‍යාල විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ ශූරතාව පිට පිටම තෙවැනි වරටත් තමන් සතුකර ගැනීමට ව්‍යාපාර කළමනාකරණ පාසල (බී.එම්.එස්. කණ්ඩායම) අද (30 වැනිදා) සමත් විය. කොළඹ කොල්ට්ස් ක්‍රීඩාංගණයේදී පැවැති අවසන් මහ තරගයේදී ලකුණු 6 කින් සේජිස් විශ්ව විද්‍යාලය පරාජය කරමින් බී.එම්.එස්. කණ්ඩායම එම ශූරතාවට හිමිකම් කීවේය.

ඒ අනුව ලබන සැප්තැම්බර් මාසයේ මෙරටදී පැවැත්වෙන අන්තර් විශ්ව විද්‍යාල ලෝක ශූරතා විස්සයි20 ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කිරීමේ අවස්ථාව උදා කරගැනීමටද බී.එම්.එස්. ක්‍රීඩකයෝ සමත් වූහ.

මෙවර කොෂාන් ධනුෂකගේ නායකත්වයෙන් සමන්විත වූ බී.එම්.එස්. කණ්ඩායමට ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කළ තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග, ශ්‍රී ලංකා වයස 19 න් පහළ කණ්ඩායමේ නායක කමිඳු මෙන්ඩිස් සහ හසිත බෝයගොඩ වැනි ප්‍රබල ක්‍රීඩකයෝ ඇතුළත්ව සිටියහ.

තරගය පුරා පිත්තෙන් මෙන්ම පන්දුවෙන්ද එකසේ දස්කම් දැක්වූ තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්න අවසන් තරගයේ වීරයා ලෙස සම්මාන දිනාගත්තේය. පන්දු 29 කදී හයේ පහර 6 ක් සහ හතරේ පහර 4 ක් සමග නොදැවී ලකුණු 64 ක් රැස්කළ චාමික, ඕවර 3 ක් යවමින් කඩුලු 3 ක් දවාගත්තේ ප්‍රතිවාදීන්ට ලකුණු 41 ක් ලබා දෙමිනි.

ජයග්‍රහණය සඳහා ලකුණු 180 ක ඉලක්කයක් හඹාගිය සේජිස් කණ්ඩායමට නියමිත 20 අවසානයේ කඩුලු 7 ක් දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 173 ක් පමණි. සේජිස් කණ්ඩායමට තරගය ජය ගැනීමට සඳහා අවසන් ඕවරයේදී ලකුණු 12 ක් රැස්කිරීමට සිදු විය. එහෙත් කඩුල්ලක්ද දවාගනිමින් එම ඕවරය ලකුණු 5 කට සීමා කළ ප්‍රමෝද් මධුෂාන් සේජිස් කණ්ඩායමේ බලාපොරොත්තු සුනුවිසුණු කර දැමුවේය.

දක්ෂ පිතිහරඹයක නිරත වූ සහන් ආරච්චිගේ (57) ඉනිමේ අවසන් පන්දුව දක්වාම පිටියේ රැදී සිටියද, සිය කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යෑමට අපොහොසත් විය. පන්දු 48 කදී වාර්තා වූ ඔහුගේ අර්ධ ශතකය හයේ පහරකින් සහ හතරේ පහර 5 කින් සමන්විත විය. ජයග්‍රහණය මඟහැරී යෑමෙන් අනතුරුව තරගය සම කිරීම සඳහා අවසන් පන්දුවට හයේ පහරක් ගැසීමට ඔහු ගත් උත්සාහයද අසාර්ථක වී ගියේ හයේ සීමාව අසල පන්දු රකිමින් සිටි ක්‍රීඩකයෙක් එය උඩ පන්දුවක් ලෙස රැකගැනීම හේතුවෙනි.  

ලකුණු 100 කට කඩුලු 5 ක් බිඳවැටී තිබූ අවස්ථාවේදී සචිත ජයතිලක (29) සමග එක්ව 6 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 29 කදී ලකුණු 53 ක සම්බන්ධාවක් ගොඩනැගීමටද සහන් ආරච්චිගේ සමත් වූ අතර පන්දු 16 කදී වාර්තා වූ සචිතගේ ඉනිමට හයේ පහර 2 ක් සහ හතරේ පහර 2 ක් අන්තර්ගත විය.

ජයග්‍රාහී ඉලක්කයක හඹායෑම සඳහා සේජිස් කණ්ඩායමට වේගවත් ආරම්භයක් ලබාදුන් නායක තික්ෂිල ද සිල්වා පන්දු 19 කදී ලකුණු 40 ක් රැස්කළේ හයේ පහර 2 ක් සහ හතරේ පහර 6 ක් සමගිනි. අර්ධ ශතකය පෙනි පෙනී සිටියදී චාමික කරුණාරත්නගේ පන්දුවක් හමුවේ සුපේෂල ජයතිලක අතට උඩ පන්දුවක් දෙමින් තික්ෂිල දැවී නොයන්නට තරගයේ ප්‍රතිඵලය වෙනස් වීමටද ඉඩ තිබිණ.

පළමුවෙන් පන්දුවට පහරදුන් බී.එම්.එස්. කණ්ඩායම, චාමික කරුණාරත්නගේ (නොදැවී 64) ප්‍රවේගකාරී පිතිහරඹය හමුවේ නියමිත ඕවර 20 අවාසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 179 ක් රැස්කළේය. ලකුණු 82 කට කඩුලු 5 ක් බිඳවැටී අසීරු තත්වයකට පත්ව තිබූ බී.එම්.එස්. කණ්ඩායම එම තත්වයෙන් මුදවාගනිමින් 6 වැනි කඩුල්ල වෙනුවෙන් හසිත බෝයගොඩ (30) සමග එක්ව පන්දු 33 කදී ලකුණු 65 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද චාමිත සමත් විය. පන්දු 32 කට මුහුණදුන් බෝයගොඩ හයේ පහරක් සමගින් ලකුණු රැස්කළේය.

අර්ධ ශතකයක්ද සමගින් තරග 4 කදී ලකුණු 139 ක් රැස්කළ සහන් ආරච්චිගේ මෙවර තරගාවලියේ දක්ෂතම පිතිකරු ලෙසත්, තරග 4 කදී කඩුලු 10 ක් දවාගත් තික්ෂිල ද සිල්වා තරගාවලියේ දක්ෂතම පන්දු යවන්නා ලෙසත් සම්මාන දිනාගත්හ.

බී.එම්.එස් - ඕවර 20 කදී කඩුලු 7 ක් දැවී 179
(චාමික කරුණාරත්න නොදැවී 64, හසිත බෝයගොඩ 30, මලිඳු මදුරංග 24, ධනෝෂ් ද සිල්වා 25/2)

සේජීස් - ඕවර 20 කදී කඩුලු 7 ක් දැවී 173
(සහන් ආරච්චිගේ 57, තීක්‍ෂිල ද සිල්වා 40, සචිත ජයතිලක 29, චාමික කරුණාරත්න 41/3)

 

 


අදහස් (0)

බී.එම්.එස්. පිල තෙවැනි වරටත් ශූරතාව දිනයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.