Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා කණ්ඩායම වර්තමානයේදී වැටී තිබෙන තත්ත්වය දෙස බලන විට තමන්ට නැවතත් අන්තර්ජාතික පිටියට පිවිසීමට සිතෙන බව ශ්‍රී ලංකා පිලේ හිටපු ආරම්භක පිතිකරු තිලකරත්න ඩිල්ෂාන් කියයි. අන්තර්ජාතික ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට පෙර ඩිල්ෂාන් එක්දින තරග 330 කදී ශතක 22 ක් ද සහිතව ලකුණු 10,290 ක් ලබා සිටියේය. එක්දින තරගයකදී ඩිල්ෂාන්ගේ ලකුණු ලබාගැනීමේ සාමාන්‍යය 39.27 ක් වූ අතර ඔහුගේ ලකුණු රැස්කිරීමේ ප්‍රවේගය (පන්දු 100 කින් ලබාගත් ලකුණු සංඛ්‍යාව) 86.23 ක් විය.
“මම ක්‍රීඩාවෙන් සමුගන්න ඉස්සරවෙලා 2019 ලෝක කුසලාන තරගාවලිය දක්වා ක්‍රීඩා කරන්න මගේ අදහසක් තිබුණා. මොකද ඒ වෙනකොට මම ලකුණු ලබාගනිමින් හිටපු ආකාරයයයි, මගේ තිබුණ ශාරීරික යෝග්‍යතාවයි එක්ක මට හිතුණා 2019 ලෝක කුසලාන තරගාවලිය වෙනකම් මට යන්න පුළුවන් කියලා.....ඒත් පස්සේ ආපු ප්‍රශ්න කිහිපයක් නිසා මම තරුණයන්ට තැන දීලා අයින් වුණා”
“මට දැන් ඇවිල්ලා එක පාරටම ලොකු ලොකු දේවල් කරන්න බැරිවෙයි. ඒත් කරන්න පුළුවන් දෙයක් තියෙනවා කියලා හිතෙනවා. අඩුගානේ මගේ අත්දැකීම්වත් බෙදාහදාගන්න පුළුවන් වෙයි” යයි 2016 දී අන්තර්ජාතික තරග බිමෙන් සමුගත් ශ්‍රී ලංකා පිලේ හිටපු නායකයා ‘කෙළිමඬලට’ පැවසීය.
වසර දෙකකට ඉහතදී, ඕස්ට්‍රේලියානු පිලට එරෙහිව දඹුල්ලේදී සිය අවසන් එක්දින තරගයට සහභාගි වූ ඩිල්ෂාන් පසුව ලෝකයේ විවිධ රටවල පැවැති විස්සයි-20 තරග වලට ක්‍රීඩා කළේය. මේ වනවිට ආරම්භ වී ඇති වෙළෙඳ සේවා ක්‍රිකට් තරගාවලියේදී මාස් යුනිචෙලා කණ්ඩායමට නායකත්වය දෙන ඩිල්ෂාන් තවමත් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සම්පූර්ණයෙන්ම ඈත් වී නැත.
“මම යුනිචෙලා පිලට සෙල්ලම් කරන නිසා මම කොහොමත් පුහුණුවීම් කරනවා”
“මම ක්‍රීඩාවෙන් අයින් වුණේ 2019 ලෝක කුසලාන තරගාවලිය සම්පූර්ණයෙන්ම හිතෙන් අත්ඇරලයි. ඒත් මට දැන් හිතෙනවා ඒ වෙනුවෙන් මටත් යමක් කරන්න පුළුවන් කියලා...අවස්ථාවක් ලැබුණොත් මම ඒ ගැන හිතලා බලනවා” යයිද ඩිල්ෂාන් වැඩිදුරටත් පැවසීය.
ශ්‍රී ලංකා කණ්ඩායම දැනට මුහුණ දී සිටින බරපතළම ප්‍රශ්නය වී ඇත්තේ එක්දින තරග සඳහා ස්ථාවර ආරම්භක පිතිකරුවන් දෙදෙනකු සොයා ගැනීමයි. පසුගිය තරග වලදී උපුල් තරංග, නිරෝෂන් දික්වැල්ල, ධනංජය ද සිල්වා, කුසල් මෙන්ඩිස්, ධනුෂ්ක ගුණතිලක මෙන්ම කුසල් පෙරේරාත් ආරම්භක පිතිකරුවන් ලෙසින් අත්හදා බැලූ නමුත් ඒ සියලුම පරීක්‍ෂණ අසාර්ථක විය.
ආසියානු කුසලාන තරගාවලියේදී පරාජය වූ තරග දෙකත් පසුගිය අගෝස්තු මාසයේදී දකුණු අප්‍රිකානු පිලට එරෙහිව ශ්‍රී ලංකාවේදී පැවැති තරග පහත් සමග ශ්‍රී ලංකාවේ අවසන් එක්දින තරග 7 දී පළමු කඩුල්ලේ සම්බන්ධතා සටහන් වන්නේ 0, 22, 50, 61, 20, 13 ක් සහ 2 ක් වශයෙනි. මෙම තරග වලින් ආරම්භක කඩුල්ලේ සම්බන්ධතාව 50 ක් සහ 61 ක් වූ (උපුල් තරංග සහ නිරෝෂන් දික්වැල්ල) තරග දෙකේදීම දකුණු අප්‍රිකානු කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකා පිල ජයගත් අතර එම තරග දෙකේදී ශ්‍රී ලංකා ඉනිම අවසන ලකුණු සංඛ්‍යාවන් සටහන් වූයේ ඕවර 50 කඩුලු 8 ට 299 ක් සහ ඕවර 39 කදී කඩුලු 7 ට 306 ක් වශයෙනි.
දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැති තරගාවලියේදී තහනමකට ලක්ව සිටි ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලක ආසියානු කුසලාන තරගාවලියේදී නැවතත් කණ්ඩායමට එක්වූ නමුත් පුහුණුවීම් කිරීමේදී පිටකොන්දේ ආබාධයකට ලක්වූයේය. ඒ හේතුවෙන් ධනුෂ්ක ගුණතිලක එකම තරගයකට හෝ සහභාගි නොවී ආපසු සියරට පැමිණියේය.
ආරම්භක පිතිකරුවාගේ ස්ථානයට කුසල් මෙන්ඩිස් ආදේශ වූයේ එවන් තත්ත්වයක් යටතේදීය. එහෙත් මෙම තරග දෙකේදීම කුසල් මෙන්ඩිස්ට එකම ලකුණක් හෝ ලබාගත නොහැකි විය.
ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගත් ලොව විශිෂ්ටතම ක්‍රීඩකයෝ කිහිප දෙනෙක්ම ආපසු ක්‍රීඩා පිටියට පිවිසියහ. පාකිස්තානයේ ජාවෙඞ් මියැන්ඩාඞ්, ඉම්රාන් ඛාන් (පාකිස්තානයේ වත්මන් අගමැතිවරයා), සහීඞ් අෆ්රීඩි, ඕස්ට්‍රේලියාවේ බොබ් සිම්සන්, බටහිර ඉන්දීය දූපත්හි කාල් හූපර්, සිම්බාබ්වේහි ග්‍රාන්ට් ෆ්ලවර්, කෙන්යාවේ ස්ටීව් ටිකෝලෝ මෙන්ම එංගලන්තයේ කෙවින් පීටර්සන්ද ඒ අතර සිටිති.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.