Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner මට කරන්න තිබුණ දේ මා කළේ නෑ - ස්මිත්

මට කරන්න තිබුණ දේ මා කළේ නෑ - ස්මිත්

සංජය එරමුදුගොඩ - 2018 දෙසැ මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දකුණු අප්‍රිකාවේ කේප් ටවුන් නුවර පැවැති ටෙස්ට් තරගයේදී තමන්ගේ උපනායකයා වන ඬේවිඞ් වෝනර් සහ ආරම්භක පිතිකරු කැමරන් බැන්ක්‍රොෆ්ට් දෙදෙනා එක්ව පන්දුව පළුදු කිරීම සඳහා පිඹුරුපත් සකස් කරන විට තමන් එය ‘නොදැක්කා සේ සිටි’ බවත් එතැනදී තමන් නායකයකු වශයෙන් අසාර්ථක වූ බවත් ඕස්ටේ්‍රලියානු පිලේ හිටපු නායක ස්ටීවන් ස්මිත් පිළිගනී.

මෙම සැලසුම ක්‍රියාත්මක වන අවස්ථාවේදී “මට ඒ ගැන දැනගන්න ඕන නෑ” යයි තමන් කී බව ස්මිත් වාර්තාකරුවන්ට කීවේය.

පසුගිය මාර්තු මාසයේදී පැවැති කේප් ටවුන් ටෙස්ට් තරගයේදී පන්දුව පළුදු කිරීමේ චෝදනාවට වරදකරු වීමෙන් පසුව ආපසු ගෙදර ආ ස්ටීවන් ස්මිත් සිඞ්නි ගුවන් තොටුපොළේදී මාධ්‍ය සාකච්ඡාවට සහභාගිවූයේ කැළඹුනු සිතිනි. බෙහෝ අවස්ථාවලදී හැඟීම්බරව කඳුළු සැළුෑ ඕස්ටේ්‍රලියානු නායකයා අස්වසාලීමට ඔහුගේ පියාද ඉදිරිපත් වූයේය. එතැනින් පසුව ස්මිත් මාධ්‍යවේදීන් හමුවූයේ ඊයේ (සිකුරාදා) සවස සිඞ්නි ක්‍රිකට් ක්‍රීඩාංගයේදීය.

කේප් ටවුන් ටෙස්ට් තරගයේ තුන්වැනි දිනයේ දිවා ආහාර විවේකය ඇතුළත ‘නිව්ලන්ඞ්ස්’ ක්‍රීඩාගාරයේදී වැලි කඩදාසියක් උපයෝගී කරගනිමින් පන්දුවේ ස්වභාවය වෙනස් කිරීමට උත්සාහ ගැනීම සම්බන්ධයෙන් ස්මිත්ගෙන් දිගින් දිගටම විමසන ලදි. එහෙත් ස්මිත් ඊයේ සවස කතාකළේ පන්දුව පළුදු කිරීමේදී තමන් වෙතින් සිදුවූ අත්වැරැද්ද සහ නායකයකු වශයෙන් සිදුවූ අතපසුවීම ගැන මිස සැලසුම ගැන නම් නොවේ.

“එතැන සිද්ධ වුණේ මොකක්ද කියන එක මේ වන විට ඕනෑවටත් වඩා ලියැවිලා තියෙනවා”
“ඒත් ක්‍රීඩකයන්ගේ කාමරයේ කිසියම් දෙයක් සිදු වෙමින් තිබුණා. මා එතැනින් ගියා. ඕනෑනම් මට ඒක නැවැත්වීමේ අවස්ථාවත් තිබුණා...ඒත් මම ඒක කළේ නෑ....නායකයකු වශයෙන් මා අසාර්ථක වූ තැන එතැනයි”
“ඒකෙන් කිසියම් හානිදායක දෙයක් වෙන්න තිබුණා. අවසානයේදී පිට්ටනියට ගියාම සිදුවුණේ ඒකමයි. ඒත් මට කියන්න තිබුණේ ‘මට ඒ ගැන දැනගන්න ඕන නෑ’ කියන එක නෙමේ. මා විසින් එය වැළැක්විය යුතුව තිබුණා. නායකයකු වශයෙන් මා අසාර්ථක වූයේ එතැනයි. මම ඒකේ වගකීම බාරගන්නවා” යයි ස්ටීවන් ස්මිත් ඊයේ සවස මාධ්‍ය නියෝජිතයන්ට පැවසීය.

මාධ්‍යවේදීන්ගේ හරස් ප්‍රශ්න වලින් පහසුවෙන් ගැලවී යාමේ අවස්ථාවක් ස්මිත්ට නොතිබිණ. “පන්දුව පළුදු කිරීමේ සැලැස්ම දැනගත්තාම ඔබගේ ක්‍ෂණික ප්‍රතිචාරය වුණේ කුමක්ද?” යයි මාධ්‍යවේදීහු විමසා සිටියහ.
“මට ඒක ගැන දැනගන්න ඕන නෑ’ කියලා මම එතැනින් යන්න ගියා” යයිද ස්මිත් කීවේය.

පන්දු පළුදු කිරීම ඕස්ටේ්‍රලියාවේ බොහෝ ප්‍රචලිත උපක්‍රමයක් යයි කෙරෙන යෝජනා ස්මිත් සහමුලින්ම බැහැර කරයි. දකුණු අප්‍රිකාවේදී සිදුවූ ආකාරයේ දෙයක් තමන් දැනගත්තේ පළමු වතාවට යයිද ස්මිත් පැවසීය.

“මා දන්නා විදිහට නම් ඒ වගේ දෙයක් වුණේ පළමු වැනි වතාවට. ලෝකයේ අනෙක් කණ්ඩායම් කරනවා යයි කියන දේවල් ගැන මට කියන්න බෑ. සෑම තරගයකදීම පන්දුවේ ගමන් මග වෙනස් කරන්න හැම කෙනෙකුටම ඕනෑ කරනවා. ඒත් ඒක කරන්න කිසියම් නීත්‍යානුකූල ආකාරයක් තියෙනවා” යයිද හෙතෙම පැවසීය.

පන්දුව පළුදු කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් වැරදිකරුවා වීම නිසා වසරක ක්‍රිකට් තහනමකට ලක්වු ඕස්ටේ්‍රලියානු නායකයාට ලබන වසරේ මාර්තු මාසයේ සිට නැවතත් ඕස්ටේ්‍රලියානු පිල වෙනුවෙන් ක්‍රීඩා කිරීමේ අවස්ථව ලැබේ.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන ටෙස්ට් තරග දෙකම ලබන ජනවාරියේ අග සහ පෙබරවාරි මාසයේ මුල් සතියේදී පැවැත්වෙන බැවින් ශ්‍රී ලංකාවට එරෙහිව තරග කිරීමට ස්මිත්ට අවස්ථාවක් නැත.

ලබන වසරේ (2019 දී) ඔහුට නැවතත් ප්‍රාන්ත සහ අන්තර්ජාතික තරග වලට සහභාගි විය හැකි නමුත් නායකත්වය ලබාගැනීම සඳහා 2020 මාර්තු මාසය අවසන් වන තුරු බලා සිටිය යුතුව තිබේ. එබැවින් නායකත්වය සම්බන්ධයෙන් කිසිවක් කීමට ස්මිත් ඉදිරිපත් නොවෙයි.

“ඉදිරි මාස තුනක කාලයේදී මට හොඳින් සූදානම් වෙන්න වෙනවා. ලෝක කුසලාන තරගාවලිය වගේම අළු බඳුන තරගාවලියත් ලබන වසරේදී තියෙනවා. ඒ නිසා මට ඒ වෙනුවෙන් හොඳින් සූදානම් වෙන්න වෙනවා.....කොහොම වුණත් ටෙස්ට් කණ්ඩායම එක්ක ටිම් පේන් වගේම එක්දින කණ්ඩායම එක්ක ඒරන් ෆින්ච් දෙදෙනා ඉතාමත් හොඳ වැඩ කොටසක් කරලා තියෙනවා..මට නැවතත් ඔවුන් දෙදෙනා යටතේ ක්‍රීඩා කරන්න ලැබුණොත් මා ඕස්ටේ්‍රලියාව වෙනුවෙන් හැමදේම කරනවා” යයිද ස්මිත් පැවසීය.

තමන් සහ හිටපු උපනායක ඬේවිඞ් වෝනර් අතර මත ගැටුමක් පවතින බවද ස්මිත් ප්‍රතික්ෂේප කරයි. නැවත කණ්ඩායමට පැමිණීමේදී එංගලන්ත ක්‍රිකට් ලෝලීන්ගෙන් තමන්ට එල්ලවිය හැකි ඇණුම්පද වලට මුහුණ දීමටද ඔහු මේ වන විටත් හිත හදාගෙන තිබේ.

“මම ඉතාමත් අඳුරු කාලයක් ගෙව්වේ. අමාරු දවස් කිහිපයක්ම තිබුණා. කිසිම දෙයක් ස්ථිර නෑනේ...එන විදිහට මුහුණ දෙනවා” යයිද හෙතෙම පැවසීය.

තවමත් 29 වැනි වියේ පසුවන ස්ටීවන් ස්මිත්ට තවත් වසර පහක හෝ හයක කාලයක් අන්තර්ජාතික ක්‍රිකට් පිටියේ රැඳී සිටීම අපහසුවක් නොවේ. ඕස්ටේ්‍රලියාවේ ‘සදර්ලන්ඞ්’ පිල වෙනුවෙන් ක්‍රීඩා කරමින් සිටින ස්මිත් පවසන පරිදි ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් තරගයක් දෙස ඈත සිට බලා සිටීම පහසු දෙයක් නොවේ.

“ඒක හරිම අමාරු දෙයක්. විශේෂයෙන්ම අපේ කොල්ලන් එයාලට කරන්න පුළුවන් දේ නොකර ඉන්නකොට ඒක හරිම වේදනාකාරීයි....මට ගිහිල්ලා ඒ ගොල්ලන්ට උදව් කරන්නත් බෑ...කොහොම වුණත් පසුගිය සතියේදී (පර්ත් ටෙස්ට් තරගයේදී) ඔවුන් කළ දේ නම් විශිෂ්ටයි” යයිද ස්මිත් කීවේය.  

- සැකසුම : දමින්ද විජේසූරිය

 


අදහස් (0)

මට කරන්න තිබුණ දේ මා කළේ නෑ - ස්මිත්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.