Last Update  :  2025-04-21 11:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner මහාරාජ්ට මහන්සියේ ප්‍රතිඵල

මහාරාජ්ට මහන්සියේ ප්‍රතිඵල

සංජය එරමුදුගොඩ - 2018 ජුලි මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මේ වන විට ශීත සෘතුව පවතින රටකින් ආ කේෂව් මහාරාජ්ට කොළඹ පවතින දැඩි උෂ්ණාධික තත්ත්වය යටතේ ඕවර 32 ක් යැවීම පහසු කාරියක් නොවේ. එහෙත් උත්සාහයෙන් සිය අභියෝගයට මුහුණ දුන් වමත් දඟ පන්දු යවන්නා එයින් සාර්ථක ප්‍රතිඵල ලබාගත්තේය.

කොළඹ එස්.එස්.සී. පිටියේදී අද (20 වැනිදා) ආරම්භ වූ දෙවැනි ටෙස්ට් තරගයේ පළමු දිනය නිමාවන විට කේෂව් මහරාජ් වාර්තා පොත් අතරේ සිය නම සටහන් කරගෙන තිබිණ. ඒ වසර 36 ක ශ්‍රී ලංකා ටෙස්ට් ඉතිහාසයේදී ශ්‍රී ලංකාවට එරෙහිව තුන්වැනි සාර්ථකම පන්දු යැවීම කළ ක්‍රීඩකයා වශයෙනි.

දඟ පන්දු යවන්නන් සලකන්නේ නම් ඔහු ශ්‍රී ලංකාවට එරෙහි වූ සාර්ථකම පන්දු යවන්නාය.

“මට ටිකක් මහන්සියි තමා. ඒත් අද රෑට දෙගුණයක්වත් කාලා හොඳට නිදාගෙන හෙට උදේ නැඟිටින්න ඕන. මොකද තවත් කඩුල්ලක් දවාගන්න තියෙනවානේ” යයි අද සවස තරගයෙන් අනතුරුව කේෂව් මහාරාජ් පැවසීය.

දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන තරග වලදී දිගු වේලාවක් එක දිගට පන්දු  යැවීමේ හැකියාව ඇත්තේ එහි පරිසරය සිසිල් වීමත් විශේෂයෙන්ම වාතයේ පවතින ජල වාෂ්ප ප්‍රමාණය (ආර්ද්‍රතාව) අඩු වීම නිසා දහදිය දැමීම අඩු වීමත් හේතුවෙනි. එහෙත් ශ්‍රී ලංකාවේදී සහ බංග්ලාදේශයේදී එය එසේ නොවේ. දහදිය දැමීම අධික හෙයින් පන්දු යවන්නකුට දැනෙන වෙහෙස වැඩිය.  

“උෂ්ණත්වය විතරක් නෙමේ මේ වගේ රටකදී පන්දු යවන විට තියෙන පීඩනයත් හරිම වැඩී” යයිද මහාරාජ් පැවසීය. කෙසේ වෙතත් මහාරාජ්ට තමන්ගේ රටේ තණතීරුවකින් ලැබෙන සහයෝගයට වැඩි සහයෝගයක් කොළඹදී ලැබිණ.

“මා හිතන්නේ මට තණතීරුවෙන් හොඳ සහයෝගයක් ලැබුණා. ඒත් ගාල්ලේදී වගේ නෙමේ. මෙතන ටිකක් වෙනස්. පන්දුව වේගයෙන් ඇදිලා යනවා. ඒ නිසා කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකරගැනීමටත් පිතිකරුවන් ස්වීප් පහර ගැසීමේදී පිත්තේ කොණක වැදිලා ගිය උඩපන්දුවක් ලබාගන්නත් පුළුවන්” යයි මහාරාජ් පැවසීය.

කලකට ඉහතදී දඟ පන්දු යවන්නන් බලා සිටියේ පන්දුව තරමක් පරණ වීමෙන් පසුව පන්දු යැවීම ආරම්භ කිරීමට වුවත් මේ වන විට තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස් වී තිබේ. තරමක් වේලාසනින් පන්දු යැවීම ආරම්භ කරන්නේ නම් කඩුල්ල මුවා කිරීමේ වරදට පිතිකරුවන් හසුකර ගැනීමටත් ලකුණු ගලාඒමේ වේගය පාලනය කරගැනීමටත් වර්තමානයේ දඟ පන්දු යවන්නෝ දක්‍ෂයෝ වෙති.

“ආසියානු කලාපයේ තියෙන මේ වගේ තණතීරු වලදී පන්දුවේ දැඩි බව ඉතාමත් වැදගත්. එයින් පන්දුව තරමක් උඩට ඉපිලෙනවා විතරක් නෙමේ පන්දුවේ දඟ කැවීමත් වැඩියි. ඒත් පන්දුව පරණ වෙන්න වෙන්න පිතිකරුවන්ට ඒකෙන් වාසියක් ලැබෙනවා” යයි පැවසූ මහාරාජ්...

“ඕවර 55 ත් 75 හෝ 80 ත් අතර පන්දු යවන විට ලකුණු ලබාගන්න පිතිකරුවන්ට පහසුයි” යයිද පැවසීය.
මේ වන විට ටෙස්ට් තරග 22 කට සහභාගි වී කඩුලු 86 ක් දවාගෙන සිටින මහාරාජ්ගේ හොඳම පන්දු  යැවීම අද සටහන් කළේය. මීට පෙර ඔහුගේ හොඳම පන්දු යැවීම වූයේ ලකුණු 40 කට කඩුලු 6 ක් දවාගැනීමයි.  

 


අදහස් (0)

මහාරාජ්ට මහන්සියේ ප්‍රතිඵල

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.