Last Update  :  2025-04-22 20:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner මාධ්‍යයට බියවූ ක්‍රිකට් ආයතනය ප්‍රශ්න සීමා කරයි

මාධ්‍යයට බියවූ ක්‍රිකට් ආයතනය ප්‍රශ්න සීමා කරයි

ශනුක අරවින්ද - 2017 අගෝ මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

එන්න එන්නම දිගු වෙමින් යන ශ්‍රී ලංකා කණ්ඩායමේ පරාජයන් වැල හමුවේ මාධ්‍ය වෙතින් එල්ලවන පීඩනය පාලනය කරගැනීම  සඳහා පූර්ව තරග පුවත්පත් සාකච්ඡාවේදී ප්‍රශ්න සීමා කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද (23 වැනිදා) පියවර ගත්තේය. පල්ලෙකැළේදී හෙට (24 වැනිදා) පැවැත්වෙන දෙවැනි එක්දින තරගයේ පූර්ව පුවත් පත් සාකච්ඡාවේදී මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න දෙවැනි එක්දින තරගයට සහ තරගාවලියට පමණක් සීමා කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් මාධ්‍ය කළමණාකරු දිනේෂ් රත්නසිංහම් මහතා මාධ්‍ය සාකච්ඡාව ආරම්භයේදීම පැවසීය.

හදිසියේම කොළඹ සිට පැමිණි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිපාලන කමිටුවේ විධායක සම්බන්ධීකරණ නිලධාරිනිය වන රායි රේමන්ඞ් මහත්මිය මාධ්‍ය සාකච්ඡාව ආරම්භ වීමට පෙරම ඊට මැදිහත්වෙමින් පුහුණුකරු නික් පොතාස් මහතාගේ සහ එක්දින නායක උපුල් තරංගගේ ප්‍රකාශ දෙකක් ඇතැයි පැවසුවාය. නික් පොතාස් මහතාට මෙසේ විශේෂ ප්‍රකාශයක් කිරීමට සිදුවූයේ ශ්‍රී ලංකාවට කඩුලු 9 ක අන්ත පරාජයක් හිමිවූ  දඹුල්ල තරගයෙන් පසුව පැවැති මාධ්‍ය සාකච්ඡාවේදී ඔහු කී කරුණු සම්බන්ධයෙන් විය හැකිය.

“ක්‍රීඩකයන් ඔවුන්ට පුළුවන් තරම් මහන්සි වෙලා වැඩ කරනවා. ඔවුන් නියමයි. කණ්ඩායමේ සහාය නිලධරීන් අති විශිෂ්ටයි. ඔවුන් මේ කොල්ලන් එක්කලා පැය ගණන් එක දිගට වැඩ කරනවා. ක්‍රීඩකයන්ගේ කාමරයේ සිටින කිසිවකුගේ වරදක් මට පේන්න නෑ” යයි කී පුහුණුකරුවා....ඇත්ත, අපි අද දවසේ අපගේ හොඳම ක්‍රිකට් ක්‍රීඩාව කළේ නෑ තමයි. ඒක හොඳින්ම පෙනෙන්නට තියෙන දෙයක්. ඒ ගැන ඔබ කෝපයට පත්වෙන්න වුණත් පුළුවන්. ඒත් මා හිතන්නේ ‘මෙතැනට කෝකියෝ වැඩිවෙලා’ කියන එක මේ සම්බන්ධයෙන් කියන්න තියෙන සුදුසුම දේ කියලයි”

“මගේ පැත්තෙන් බලන කොට, අපට අපේ පාඩුවේ ඉන්න දෙනවා නම්, ඒ වගේම මේ ක්‍රීඩකයන් එක්ක වැඩ කරගෙන යන්න දෙනවා නම්, මාස හයක කාලයක් ඇතුළත කිසියම් ස්ථාවරත්වයක් ඇතිකරගන්න අපට පුළුවන්. ඉතාමත් විශාල දියුණුවක් ඔබ සියලු දෙනාට දකින්න පුළුවන් වේවි....මේ ක්‍රීඩකයන් සියලු දෙනාම වාගේ හැකියාවන් උපතින්ම ගෙන ආ ක්‍රීඩකයන්”යයි දඹුල්ලේ තරගයෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවේදී නික් පොතාස් මහතා කීවේය.

අනතුරුව අද පස්වරුවේදී පැවැති මධ්‍ය සාකච්ඡාව අවසන් වන තුරුම එහි රැඳී සිටි රේමන්ඞ් මහත්මිය මාධ්‍ය සාකච්ඡාව මෙහෙයවූ රත්නසිංහම් මහතාට වරින් වර උපදෙස් දෙමින් පුහුණුකරුවාගෙන් සහ නායකයාගෙන් ප්‍රශ්නකිරීමට මාධ්‍යවේදීන්ට තිබූ අවස්ථා සීමා කළාය.

වරෙක ප්‍රාදේශීය මාධ්‍යවේදියකු ඊට විරෝධය දක්වමින් තමන්ටත් ප්‍රශ්න ඇසීමට අවස්ථාව දෙන ලෙස ඉල්ලා සිටියත් “අවසන් ප්‍රශ්න දෙක” යයි කියමින් මාධ්‍ය සාකච්ඡාව අවසන් කෙරිණ.

මාධ්‍ය සාකච්ඡාව යන අතරවාරයේ එහි පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමණාකරු අංසක ගුරුසිංහ මහතාද අසනු ලබන ප්‍රශ්න සහ පිළිතුරු සම්බන්ධයෙන් විශේෂ අවධානයකින් සිටිනු දක්නට ලැබිණ.  

මාධ්‍ය සාකච්ඡාවට පෙර පුහුණුකරු නික් පොතාස් සහ නායක උපුල් තරංග විසින් කරන ලද සම්පූර්ණ ප්‍රකාශ ඒ ආකාරයෙන්ම මෙහි පහත පළවේ.

නික් පොතාස් මහතාගේ ප්‍රකාශය

“අපි දැන් ඉතාමත් හොඳ තත්ත්වයක ඉන්නවා. දවස් දෙකක් හොඳට පුහුණුවීම් කළා. ක්‍රීඩකයන් දැන් ඉන්නේ ඉතාමත් හොඳ මානසික මට්ටමකින්. අපට ඉදිරියට යන්න තියෙන ප්‍රතිපත්ති සහ ක්‍රමවේද සම්බන්ධයෙන් මේ වන විට අපි මහත් අවධානයෙන් සිටිනවා. ඒ සඳහා කිසියම් කාලයක් ගතවේවි”

“මේක මැජික් යෂ්ඨිය වනනවා වගේ කරන්න පුළුවන් දෙයක් නෙමේ. එංගලන්තය, ඉන්දියාව සහ ඕස්ටේ්‍රලියාව වැනි රටවල් කාලයකට පෙර මුහුණ දුන්න තත්ත්වයටම අපත් මුහුණ දී සිටිනවා. අපි ඔවුන්ගෙනුත් බොහෝ දේ ඉගෙන ගෙන තිබෙනවා. අපි දැන් මේ යන විදිහ ගැන අපට විශ්වාසයක් තියෙනවා. හෙට තරගය ගැන කියනවා නම්  අපි හෙට ඇවිදින් නැවතත් සටන් කරනවා”

“විශේෂයෙන්ම කියන්න ඕන දෙයක් තමයි ක්‍රීඩකයන්ගේ කාමරයේ බිත්ති හතර ඇතුළත සිදුවන සියලුම දේ සම්බන්ධයෙන් මම ඉතාමත් තෘප්තිමත් බව. මා තව දෙයක් පැහැදිළි කරන්න ඕනා. ඒ තමයි පවතින තත්ත්වය සහ ක්‍රිකට් ආයතනය පිළිබඳව මා ඉතාමත් සතුටින් සිටින බව. ක්‍රිකට් ආයතනය අප කරන සියලුම දේට පූර්ණ සහයෝගය දෙනවා. ඔවුන්ගේ සහයෝගය දිගටම තියෙනවා. ස්ථිර වශයෙන්ම මට නම් ඒ ගැන කිසිම ප්‍රශ්නයක් නෑ”

උපුල් තරංගගේ ප්‍රකාශය

“අවාසනාවකට අපට කණ්ඩායමක් විදිහට පළමුවෙනි තරගය හොඳින් ක්‍රීඩා කරන්න බැරිවුණා. මා හිතන්නේ ක්‍රීඩකයන් සියලු දෙනාම ඉතාමත් හොඳ මානසික තත්ත්වයක සිටිනවා. අපි මේ තරගාවලියට කාලෙක සිට සූදානමින් සිටියේ. ඉන්දීය කණ්ඩායම කියන්නේ දැනට ලෝකයේ සිටින ඉතාමත් හොඳ කණ්ඩායමක්”

“මා විශ්වාස කරනවා අපට දෙවැනි තරගයේදී මීට වඩා හොඳින් ක්‍රීඩා කරන්න හැකියාව ලැබෙයි කියලා. අවාසනාවකට වගේ පළවෙනි තරගයේදී අපි හොඳ ස්ථානයක ඉඳලා තමයි අපි එක පාරටම පසුබැස්සේ. මම හුඟක් වෙලාවට විශ්වාස කරනවා අපට කණ්ඩායමක් හැටියට මීට වඩා ගොඩක් දේවල් හොඳින් කරන්න පුළුවන්. විශේෂයෙන්ම අපේ පිතිකරණ අංශයෙන්”

“තරග පැරදුනත් දඹුල්ලේදී අපි දැක්කා ප්‍රේක්‍ෂකයන් අපට විශාල සහායෝගයක් දුන්නා. මා හිතන්නේ ඔවුන්ගේ බලාපොරොත්තුව තියෙන්නේ අපිව ජයග්‍රහණය කරවන එකයි. මා හිතන්නේ ඔවුන්ගේ එකම ආසාවත් ඒකයි”

“ඒ වගේම අපේ කණ්ඩායමේ ඉන්න සියලු දෙනාම තරගයකට යන්නේ, තරගයකට මුහුණ දෙන්නේ තරගය ජයග්‍රහණය කරවන අධිෂ්ඨානයෙන්. ඒක මට සියයට දෙසීයක් විශ්වාසයෙන් කියන්න පුළුවන්. මොකද සෑම ක්‍රීඩකයකුටම ඕනා තමන් ක්‍රීඩා කරන තරගය ජයග්‍රහණය කරන්න. ඒක නිසා මම විශ්වාස කරනවා හෙට තරගයේදී කණ්ඩායමේ සියලුම දෙනා සියයට 100 ක් දීල කණ්ඩායම ජයග්‍රහණය කරා අරන් යන්න වගකීමෙන් සහ කැපවීමෙන් ක්‍රීඩා කරනවා කියලා. ඒ විශ්වාසය මට තියෙනවා.”

“මම කණ්ඩායමත් එක්ක සෑම වෙලාවකම සිටිනවා. සහාය කාර්ය මණ්ඩලයත්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයත් අපට අවශ්‍ය සියලුම දේ ලබාදෙනවා. ඒක නිසා අපි කණ්ඩායමක් විදිහට හොඳ සූදානමකින් ඉන්නවා. අපි කලින් තරගයේ වෙච්ච අඩුපාඩු හදාගෙන හෙට තරගය ජයග්‍රහණය කරන එක තමයි අපේ එකම බලාපොරොත්තුව”

“හෙට තරගය ඉතාමත් තීරණාත්මක තරගයක්. මා හිතන්නේ අපි සියලු දෙනාම විශ්වාසයෙන් එම තරගයට යන්න තමයි බලාපොරොත්තුව”

 


අදහස් (0)

මාධ්‍යයට බියවූ ක්‍රිකට් ආයතනය ප්‍රශ්න සීමා කරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.