Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner මාලිංගව දියඹට වීසි කරයි

මාලිංගව දියඹට වීසි කරයි

සංජය එරමුදුගොඩ - 2015 පෙබ මස 13 {{hitsCtrl.values.hits}} Views 3 Comment
A A A

එකොළොස්වැනි ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලිය ආරම්භ කරමින් ශී‍්‍ර ලංකාව සහ නවසීලන්තය අතර නවසීලන්තයේ ක‍්‍රයිස්ට්චර්ච් නුවරදී හෙට (14 වැනිදා) පැවැත්වෙන ලෝක කුසලාන තරගයේදී ලසිත් මාලිංග ස්ථිර වශයෙන්ම පිටියට පිවිසීමට සූදානම් බව දැනගන්නට තිබේ.  

ක‍්‍රයිස්ට්චර්ච් නුවර හැග්ලි  ඕවල් පිටියේදී අද (13 වැනිදා) පෙරවරුවේදීත් පුහුණුවීම් වලට සහභාගි වූ මාලිංග එහිදී හොඳින් පන්දු යැවූ අතර ඔහුගේ පන්දු යැවීම සම්බන්ධයෙන් තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය මහතාත් ශී‍්‍ර ලංකා කණ්ඩායමේ පුහුණු මණ්ඩලයත් සතුටට පත්ව සිටින බවත් දැනගන්නට ඇත.

මාලිංග සම්බන්ධයෙන් කළ විමසීමේදී ශී‍්‍ර ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් කියා සිටියේ ලසිත් මාලිංග තරග කිරීමට තරම් සුදුසු මට්ටමකින් සිටින බවත් ස්ථිර වශයෙන්ම ඔහු හෙට තරගයේදී ශී‍්‍ර ලංකා පිල වෙනුවෙන් කී‍්‍රඩා කරන බවත්ය.

මෙය අතිශය නිර්භය තීරණයකි. මක්නිසාද යත් නවසීලන්තයේදී ලද පරාජයන් වැල කොතැනකින් හෝ කෙළවර කරගත යුතු වීමත් අතැති අවසන් තුරුම්පුව මේ මොහොතේදී හෝ භාවිතා කළ යුතු වීමත්ය.

නවසීලන්ත පිලට එරෙහිව ඉතාමත් සාර්ථක තරග වාර්තාවක් පවත්වාගෙන යන ලසිත් මාලිංගගේ නවසීලන්ත පිතිිකරුවන් දවාගැනීමේ සාමාන්‍යය 23.89 කි. දිගු නිහැඩියාවකින් පසුව නැවතත් කණ්ඩායමට එක්වන හෙයින් හෙට තරගයේදී දැනෙන යමක් කිරීමේ දැවෙන උවමනාවත් ලසිත් මාලිංගටත් තිබේ.

අනෙක් අතට ලසිත් මාලිංග පසුගිය ජනවාරියේ සිටම කණ්ඩායමේ සාමාජිකයකුව සිටි නමුත් පුහුණු තරග දෙකට කී‍්‍රඩා කළා පමණි. එබැවින් නවසීලන්තය වැනි ප‍්‍රබල කණ්ඩායමක් හමුවේ පැවැත්වෙන ලෝක කුසලාන තරගයකදී හෝ සිය උපරිම ශරීර සුවතාවයෙන් යුතුව තරග කිරීමේ හැකියාව මාලිංග නොලබන්නේ නම් ඒ වෙනුවට වෙනත් කී‍්‍රඩකයකු ආදේශ කිරීමත් කල්තියාම කළ යුතුව තිබේ. මේ ලෝක කුසලාන තරගාවලියයි.

මේ තත්ත්වය අනුව, අද තරගයේදී අණක් ගුණක් නැති නවසීලන්ත පිතිකරුවන් හමුවේ දියඹට වීසි කෙරෙන ලසිත් මාලිංග පිහිනා ගොඩ එනවාද නැද්ද යන්න පිළිබඳව විමසිල්ලෙන් බලා සිටිය යුතුව තිබේ.

මෙම තරගය නවසීලන්තයේ වේලාවෙන් හෙට පෙරවරු 11.00 ට හෙවත් ශී‍්‍ර ලංකාවේ වේලාවෙන් අලූයම 3.30 ට ආරම්භ කිරීමට නියමිතය. හෙට දිනයේදීම එංගලන්තය සහ ඕස්ටේ‍්‍රලියාව අතරත් ලෝක කුසලාන තරගයක් පැවැත්වෙන නමුත් එම තරගයට පෙර ශී‍්‍ර  ලංකා - නවසීලන්ත තරගය ආරම්භ වන බැවින් 2015 ලෝක කුසලාන තරගාවලියේ සමාරම්භක තරගය ලෙස සැලකෙන්නේ ක‍්‍රයිස්ට්චර්ච් තරගයයි.

පසුපෙළ පිතිකරුවන් සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා නායකයාගේ හිසරදයද තවවමත් සුවවී නැත.

”ඉතාමත් මෑත තරග දිහා බලන කොට, විශේෂයෙන්ම නවසීලන්තයේදී, අපිට සිදුවුණේ පරාජයේ මාවතට වැටී ඔහේ ඇදී යන්නයි. අපේ මැද පෙළ සහ පසුපෙළ පිතිකරුවන්ගෙන් අපට අවශ්‍ය සහයෝගය ලැබුණේ නෑ...පුහුණු තරග දෙකත් අප ඉතාමත් දුර්වල ලෙසින් පරාජය වුණා”

”ලෝක කුසලාන තරග දෙක තුනකටම කී‍්‍රඩා කරපු පළපුරුදු කී‍්‍රඩකයන් හය හත් දෙනෙක් අපට ඉන්නවා. මේ වගේ ලෝක කුසලාන තරගාවලියකදී ඔවුන්ගේ අත්දැකීම් සහ පළපුරුද්ද ඉතාමත් වැදගත්. ඔවුන් කණ්ඩායමට හොඳ දේවල් ගොඩාක් ගෙනේවි” යයි කී මැතිව්ස්...

”අනෙක් අතට මැද්දට ගිහින් නියමිත ආකාරයෙන් කී‍්‍රඩා කරනවා නම් පළපුරුද්ද ඒ තරම් වැදගත් වෙන්නේ නෑ” යයිද පැවසීය.

තිසර පෙරේරා පළපුරුදු කී‍්‍රඩකයකු ලෙසින් සැලකුණද නවසීලන්ත සංචාරයේ දැඩි සේ අසාර්ථක වූ කී‍්‍රඩකයෙකි. එවන් තත්ත්වයක් තිබියදීත්, එක්දින තරග එකකට පමණක් සහභාගි වී සිටින දුෂ්මන්ත චමීර මාලිංගගේ සහාය සඳහා අනෙක් අන්තයෙන් නව පන්දුව බාරගැනීමට සූදානමින් සිටින බවටත් දැනගන්නට තිබේ.

එහෙත් මැද පෙළ පිතිකරුවකු වන දිනේෂ් චන්දිමාල් අද තරගයෙන් ඉවත් කර ඔහු වෙනුවට පුහුණු තරග දෙකේදීම අර්ධ ශතක දෙකක් ලබාගත් දිමුත් කරුණාරත්න අංක 7 පිතිකරුවා ලෙසින් යෙදවීමටත් ශී‍්‍ර ලංකා කණ්ඩායමේ සූදානමක් තිබේ.

ශී‍්‍ර ලංකා පිලේ උත්සාහය වන්නේ පසුගිය මාස දෙකකට ආසන්න කාලයේදී නවසීලන්තයේදී අත්කරගත් පරාජයන් වැල අකාමකා දැමීම සඳහා හැකි උපරිම ශක්තිය යොදවමින්, පළමු තරගයේදීම නවසීලන්ත පිල පරාජය කිරීමයි. එය කළ හැකි වුවහොත් ලෝක කුසලාන තරගාවලියේ ඉදිරිය සඳහා කී‍්‍රඩකයන්ට විශාල මානසික ශක්තියක් ලැබෙනවා පමණක් නොව, තරගාවලිය ආරම්භයේ සිටම වාසිය ශී‍්‍ර ලංකා පිල අතට ගැනීමකි.

2003 සිට පැවැති ලෝක කුසලාන තරගාවලි තුනේදීම නවසීලන්තය හමුවූ අවස්ථා පහකින් පහම ජයගැනීමට ශී‍්‍ර ලංකා කණ්ඩායම සමත්ව සිටී. ශී‍්‍ර ලංකාව සහ නවසීලන්තය අතර මෙතෙක් පැවැත්වී ඇති එක්දින තරග 82 දී නවසීලන්තය තරග 41 ක් ජයග‍්‍රහණය කර ඇති අතර ශී‍්‍ර ලංකා පිල තරග 40 ක් ජයගෙන තිබේ. එක තරගයක් පමණක් ලකුණු සමවීමෙන් නිමා වී ඇත. එහෙත් දෙරට අතර අවසන් වරට පැවැති එක්දින තරග 9 දී නවසීලන්තය තරග 6 ක් ජයගැනීමට සමත් වූ අතර එම තරග 6 න් 4 ක් පසුගිය මාසයේ නවසීලන්තයේදී පැවැති තරගාවලියේදී අත්කරගන්නා ලද ජයග‍්‍රහණ වේ.

මේ අතර ලෝක කුසලාන තරග වලදී ලකුණු 1000 සීමාව පසුකර ගිය එකම ශී‍්‍ර ලාංකික පිතිකරුවා වී සිටින අරවින්ද ද සිල්වාගේ ලකුණු 1064 පසුකිරීමට -කුමාර් සංගක්කාර (991) සහ මහේල ජයවර්ධන (975) සූදානමින් සිටිති. වසර 40 ක අතීතයක් පුරා දිවෙන ලෝක කුසලාන තරග ඉතිහාසයේදී ලකුණු 1000 කඩයිම පසුකිරීමට මේ දක්වා සමත්ව ඇත්තේ පිතිකරුවන් 13 දෙනකු පමණි. ඔවුන් අතර ඉදිරියෙන්ම සිටින ශී‍්‍ර ලාංකික පිතිකරුවා වන්නේ ලෝක කුසලාන ලකුණු 1165 ක් ලබාගත් සනත් ජයසූරියයි.

මේ වන විටත් එක්දින අන්තර්ජාතික තරග බිමේ වැඩිම ලකුණු සංඛ්‍යාව ලබාගත් පිතිකරුවන් අතරේ තුන්වැනි ස්ථානය හිමිකරගෙන සිටින කුමාර් සංගක්කාරට (13,693), රිකී පොන්ටිංගේ ලකුණු 13,704 අභිබවා යාමට තවත් අවශ්‍ය වන්නේ ලකුණු 12 ක් පමණි.

නවසීලන්ත පිල මෙම තරගයට පිවිසෙන්නේ  මහත් බලාපොරොත්තු ඇතිවය. ඒ වසර ගණනාවක් පුරා තමන්ට අහිමි වී ගිය ලෝක කුසලානය මෙවර හෝ දිනාගැනීමේ අටියෙනි. නවසීලන්තය විසින් ලෝක කුසලාන තරගාවලියකට ඉදිරිපත් කළ හොඳම කණ්ඩායම මෙය යයි නවසීලන්ත නායක බ්‍රෙන්ඩන් මැකලම් කියයි.

”අපේ කණ්ඩායම තරුණ ජවයෙන් සහ පළපුරුද්දෙන් මිශ‍්‍රිත කදිම කණ්ඩායමක්. ඒ වගේ කණ්ඩායමක් එක්ක ලෝක කුසලාන තරගාවලියට යන්න මට කිසිම චකිතයක් නෑ”

”අපි හොඳ උත්සාහයක් අරගෙන බලමු” යයි නවසිලන්ත පිලේ 33 හැවිරිදි නායකයා අද පස්වරුවේදී පුවත් පත් සාකච්ඡුාවකට එක්වෙමින් ක‍්‍රයිස්ට්චර්ච් නුවරදී පැවසීය.

ලෝක කුසලාන තරගාවලිය 6 කදීම අවසන් පූර්ව වටයට පිවිසි නවසීලන්ත පිල 2007 දී මෙන්ම 2011 දීත් ශී‍්‍ර ලංකා පිල හමුවේ පරාජය විය. එහෙත් 1979 දී  ජෙෆ් හොවාර්ත්ගේ නායකත්වයෙන් සහ 1992 දී මාටින් ක්‍රෝගේ නායකත්වයෙන් තරග කළ නවසීලන්ත කණ්ඩායම් වඩාත් ප‍්‍රබල කණ්ඩායම් ලෙස සැලකිණ.

බ‍්‍රහස්පතින්දා රාති‍්‍රයේ ක‍්‍රයිස්ට්චර්ච් නුවරදී පැවැති ලෝක කුසලාන තරගාවලියේ සමාරම්භක උළෙලට නවසීලන්ත ජාතිකයක් දහස් ගණනින් එක්රොක් වූ අතර ඔවුන් බොහෝ දෙනාගේ ප‍්‍රකාශය වූයේ නවසීලන්ත පිලට මෙවර ලෝක කුසලාන ජයගත හැකි බවයි.

අන්තර්ජාතික කි‍්‍රකට් විශාරදයන්ගේ මතවාදයන් අනුවද මෙවර 2015 කි‍්‍රකට් ලෝක කුසලානයේ තුන්වැනි  අපේක්‍ෂකයා වී ඇත්තේද නවසීලන්තයයි. ඒ  ඕස්ටේ‍්‍රලියානු සහ දකුණු අපි‍්‍රකානු කණ්ඩායම් වලට පසුපසිනි.

සියල්ල මෙසේ තිබියදී හෙට තරගය සඳහා වර්ෂාවෙන් බාධා ඇතිවිය හැකි බවට කාලගුණ අනාවැකි පළවී තිබේ.


ශී‍්‍ර ලංකා සංචිතය:
තිලකරත්න ඩිල්ෂාන්, ළහිරු තිරිමාන්න, කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන, ඇන්ජලෝ මැතිව්ස් (නායක), ජීවන් මෙන්ඩිස්, දිමුත් කරුණාරත්න, සචිත‍්‍ර සේනානායක, රංගන හේරත්, ලසිත් මාලිංග, නුවන් කුලසේකර, දුෂ්මන්ත චමීර, තිසර පෙරේරා, සුරංග ලක්මාල් සහ දිනේෂ් චන්දිමාල්,


නවසීලන්ත සංචිතය
බ්‍රෙන්ඩන් මැකලම් (නායක), කෝරි ඇන්ඩසන්, ටෙ‍්‍රන්ට් බෝල්ට්, ග‍්‍රාන්ට් එළියට්, මාටින් ගප්ටිල්, ටොම් ලේතම්, මිචෙල් මැක්ලෙනගන්, නේතන් මැකලම්, කයිල් මිල්ස්, ඇඩම් මිල්න්, ලූක් රොන්කි, ටිම් සවුති, රොස් ටේලර්, ඩැනියෙල් විටෝරි සහ කේන් විලියම්සන්


අදහස් (3)

මාලිංගව දියඹට වීසි කරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.