Last Update  :  2025-04-22 20:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner මාලිංගගේ සහභාගිත්වය වැට උඩ

මාලිංගගේ සහභාගිත්වය වැට උඩ

සංජය එරමුදුගොඩ - 2017 ජුලි මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා කණ්ඩායමේ පළපුරුදුම වේග පන්දු යවන්නා වන ලසිත් මාලිංග මුහුණ දී සිටින වෛරස් උණ රෝගී තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර හෙට (2 වැනිදා) පැවැත්වීමට නියමිත දෙවැනි එක්දින තරගයට ක්‍රීඩා කිරීම අවිනිශ්චිත තත්ත්වයක පවතින බව වාර්තා වේ.

කෙසේ වෙතත් ලසිත් මාලිංග මේ වන විටත් සෑහෙන පමණ ප්‍රකෘති තත්ත්වයට පත්ව සිටින බවත් හෙට උදෑසන ඔහුගේ තත්ත්වය නැවතත් පරීක්‍ෂා කර බැලීමෙන් පසුව තරගයට ක්‍රීඩා කිරීම හෝ නොකිරීම පිළිබඳ තීරණයක් ගන්නා බවත් ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රකාශකයෙක් අද පස්වරු 4.00 ට පමණ ‘කෙළිමඬලට’ පැවසීය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් අද (1 වැනිදා) පස්වරුවේදී නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයකින් කියැවෙන්නේ ලසිත් මාලිංග ස්ථිර වශයෙන්ම දෙවැනි එක්දින තරගයට ක්‍රීඩා නොකරන බවයි. ඊට හේතුව වෛරස් උණ බවද ඔහුට පැය 48 ක විවේකයක් අවශ්‍ය යයි වෛද්‍යවරුන් නිර්දේශ කළ බවද ශ්‍රී ලංකා ක්‍රිකට් මාධ්‍ය නිවේදනයෙන් කියැවේ.

ලක්ෂාන් සඳකැන්ට පළමු එක්දින තරගය අහිමි වූයේද වෛරස් ආසාදනයක් නිසා බව ශ්‍රී ලංකා ක්‍රිකට් මාධ්‍ය නිවේදනයෙන් කියැවේ.

කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් කරන ලද වැඩිදුර විමසීමකදී අනාවරණය වූයේ ලසිත් මාලිංගගේ තත්ත්වය අවදානම් නොවන බවත් හෙට පැවැත්වෙන තරගයට ක්‍රීඩා කිරීමට ඔහු බලාපොරොත්තුවෙන් සිටින බවත්ය.

එක්දින අන්තර්ජාතික තරග 195 කට ක්‍රීඩා කර ඇති මාලිංග විසින් මෙතෙක් දවාගන්නා ලද එක්දින කඩුලු සංඛ්‍යාව 295 කි. ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින කඩුලු 300 ක් දවාගත් මුත්තයියා මුරලිදරන්, චමින්ද වාස් සහ සනත් ජයසූරියගේ සමාජයට ඇතුළත් වීම සඳහා මාලිංගට තවත් කඩුලු 5 ක් අවශ්‍යව තිබේ.

ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර පැවැත්වෙන එක්දින තරගාවලියේ පළමු තරගය පරාජය වූ ශ්‍රී ලංකා පිල මේ වන විටත් 0-1 ක් ලෙසින් තරගාවලියේ පසුපසින් සිටී. තරග 5 කින් පැවැත්වෙන තරගාවලියේ දෙවැනි තරගය හෙට (2 වැනිදා) ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර අවසන් එක්දින තරග තුනම සූරියවැව මහින්ද රාජපක්‍ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.  

 


අදහස් (0)

මාලිංගගේ සහභාගිත්වය වැට උඩ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.