Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner මැතිව්ස් අවදානම් අඩවියක

මැතිව්ස් අවදානම් අඩවියක

සංජය එරමුදුගොඩ - 2018 සැප් මස 23 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

ක්‍රීඩකයකු වශයෙන් අසාර්ථක වෙමින් සිටින ඇන්ජලෝ මැතිව්ස්ට තවදුරටත් කණ්ඩායමේ නායකයාගේ ස්ථානයේ රැඳී සිටි හැකිද යන ප්‍රශ්නයේ හඬ එන්න එන්නම වැඩි වෙමින් තිබේ. ඔහුගේ පන්දු යැවීම අතීතයේ මතක සටහනක් පමණි. මේ වන විට පිතිකරුවකු වශයෙන් පමණක් ක්‍රීඩා කරමින් සිටියද ඔහු එතැනදීත් අසාර්ථක වෙමින් සිටී. උඩපන්දු රැකීමේදී මැතිව්ස්ගේ තීක්‍ෂණ භාවයද තරමක් ගිළිහී ගොස් ඇති අතර නායකයකු වශයෙන් අන්‍යයන් දිරිගන්වන්නේද යන්න පිළිබඳවත් ඇත්තේ කුකුසකි.

ඩුබායිහිදී පැවැත්වෙන ආසියානු කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා නායකයාට එල්ලවී තිබෙන චෝදනා මේවාය. ඒ අතරින් වඩාත්ම බරපතළ පැනය වී ඇත්තේ 2019 ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා පිලේ නායකත්වය දැරීමට මැතිව්ස්ට හැකියාවක් තිබේද යන්නයි.

මේ සම්බන්ධයෙන් තේරීම් කමිටු සභාපති ග්‍රේඒම් ලැබ්රෝයි මහතාගෙන් කළ විමසීමකදී ඔහුගේ ප්‍රතිචාරය වූයේ මෙවැන්නකි.

“මා හිතනනේ මේ අවස්ථාවේදී අපි මුහුණ දෙන්න තියෙන බරපතළම ප්‍රශ්න වලින් එකක් තමා මේක. ඒත් පුහුණුකරුවා මේ ප්‍රශ්නය දිහා බලන විදිහ ගැනත් අපි සලකා බලන්න ඕනේ. අනෙක් අතට මේ වගේ අමාරු තත්ත්වයකට මැතිව්ස් මුහුණ දෙන්නේ කොහොමද කියන එකත්, ඒ කියන්නේ ඔහු ඒ ගැන වගේම එතැනින් ඉදිරිය ගැන හිතන විදිහත් අපි බලන්න ඕනේ.....” යයි කී ලැබ්රෝයි මහතා
“තීරණයක් ගන්න අපි කලබල වෙන්න  හොඳ නෑ” යයිද පැවසීය.
එසේ කී ලැබ්රෝයි මහතා මේ සම්බන්ධයෙන් සාකාච්ඡා කිරීම සඳහා ඊයේ (ඉරිදා) සිය නායකයා හමුවීමට සූදානමින් සිටියේය.

“තේරීම් කමිටුවක් හැටියට අපි මේ තරගාවලියට තෝරාගත්තේ හොඳම කණ්ඩායම කියන එක ගැන අපට විශ්වාසයක් තිබුණා. පසුගිය මාස හයක කාලය පුරාම අපි එක්දින කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩකයන් හොයමින් හිටියේ. විශේෂයෙන්ම ලෝක කුසලාන තරගාවලිය ඉදිරියේ එන නිසා අපි ඒ ගැන හොඳ අවධානයකින් හිටියේ.”
“ඒත් ආසියානු කුසලාන තරගාවලියේදී අපේ ස්ථාවරය තරමක් වෙනස් වුණා.....මේක ද්වි පාර්ශ්වික තරගාවලියක් නෙමේ. ඒ නිසා මේ තරගාවලිය අපි දිනන්න ඕන. ඒ නිසා පුහුණුකරුවන්ගේ අදහසුත් සැලකිල්ලට ගත් අපි මේ සඳහා තෝරාගත්තේ තරගාවලිය දිනන්න පුළුවන් කණ්ඩායමක්.....ඒ නිසා අපි ඩිල්රුවන් පෙරේරා කැඳවාගත්තේ පළපුරුදු, විශේෂඥ දඟ පන්දු යවන්නකු ඕන නිසායි. ඒ පළමු තරග දෙකට අකිල ධනංජය නොසිටි හින්දයි. ඔහු කොයි වෙලාවේ කණ්ඩායමට එකතු වෙනවාද කියා අපි දැනගෙන හිටියේ නෑ” යයිද තේරීම් කමිටු සභාපතිවරයා පැවසීය.

එවන් ස්ථාවරයක සිටි ශ්‍රී ලංකා තේරීම් කමිටුව කණ්ඩායමේ නායකයාගේ මෙන්ම පුහුණුකරුවාගේත් අදහස් සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කර තිබිණ. අනතුරුව කණ්ඩායමට අවශ්‍ය සංයුතියට ගැලපෙන ක්‍රීඩකයන් කෙරේ අවධානය යොමු කෙරිණ. අවසන් 16 දෙනා තෝරා ගැනීමෙන් පසුව තරගයට අවශ්‍ය ක්‍රීඩකයන් 11 දෙනා තෝරා ගැනීම නායකයාටත් පුහුණුකරුවාටත් බාර කාරියකි. කෙසේ වෙතත් තරගයක් ආරම්භ වීමට දින දෙකකට පමණ පෙර සිටි පුහුණුකරුවාත් තේරීම් කමිටු සභාපතිවරයාත් අතර නිරන්තර අදහස් හුවමාරුවක් පවතී.

“මා හිතන්නේ නෑ මේ තරග වලදි ක්‍රීඩා කරපු 11 දෙනාගේ ප්‍රශ්නයක් තිබුණා කියලා. ප්‍රශ්නය තිබුණේ එයාලා ක්‍රීඩා කරපු ආකාරය ගැනයි” යයිද ලැබ්රෝයි මහතා පැවසීය.

ඇතැම් ක්‍රීඩකයන් තරගයක් ක්‍රීඩා කිරීමට තරම් ශාරීරික යෝග්‍යතාවක නොසිටි බවටද බොහෝ චෝදනා එල්ල වී තිබිණ. නායක ඇන්ජලෝ මැතිව්ස්ටත් ඒ චෝදනාවම තිබිණ. එහෙත් තේරීම් කමිටු ප්‍රධානියා ඊට එකඟ නොවේ.

“මම නම් කියන්නේ සෑම ක්‍රීඩකයෙක්ම නියමිත ශාරීරික යෝග්‍යතාවෙන් සිටියේ. ඒ සියලු දෙනාම හොඳින් අන්තර්ජාතික තරගවලට ක්‍රීඩා කරමින් සිටියේ. එහෙම නොවුණ කෙනෙක්ට හිටියේ ලසිත් මාලිංග විතරයි....අනෙක් සියලු දෙනාම කොදෙව් සංචාරයේ ඉඳලාම හොඳින් ක්‍රිකට් ක්‍රීඩා කරමින් සිටියේ. ඒත් ප්‍රශ්නය තියෙන්නේ ඔවුන් දින තුනක් ඇතුළතදී ඕවර 50 එක්දින තරග දෙකක් ක්‍රීඩා කිරීමට තරම් ශාරීරික යෝග්‍යතාවක සිටිනවාද කියන එකයි” යයිද ලැබ්රෝයි මහතා පැවසීය.

දකුණු අප්‍රිකානු පිල සමග ශ්‍රී ලංකාවේදී පැවැති තරගාවලියෙන් පසුව ඇන්ජලෝ මැතිව්ස් තමාගේ කලවයේ ආබාධයට ප්‍රතිකාර ගැනීම සඳහා ඕස්ටේ්‍රලියාවට ගියේය. ලසිත් මාලිංග, ඩිල්රුවන් පෙරේරා මෙන්ම උපුල් තරංගත් වයස විසි ගණන් පසුකර ගොසිනි. ඔවුන් කුසල් මෙන්ඩිස් හෝ අකිල ධනංජය තරම් ක්‍රියාකාරී වේ යයි අපේක්‍ෂා කළ නොහැකිය. තේරීම් කමිටුව ඒ බව දැන සිටියද තරගාවලිය ජයගත යතුය යන මතයේ සිටි බැවින් සිටින ක්‍රීඩකයන් සමගින් කිසියම් අවදානමක් ගත යුතුව තිබිණ.

ක්‍රීඩකයන්ගෙන් දිගින් දිගටම අත්වැරදීම් වෙමින් තිබිණ. අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ ප්‍රධානතම තරගාවලිය වන ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් සූදානම් වෙමින් සිටිය යුතු නමුත් ක්‍රීඩක සංයුතිය සම්බන්ධයෙන් තවමත් ස්ථිර එකඟතාවක් නැත. පන්දු රැකීම යනු ප්‍රශ්න වැලකි.

තිලකරත්න ඩිල්ෂාන් නැවත පැමිණීමක් සම්බන්ධයෙන් ඉඟි කර තිබිණ. ඒ පිළිබඳව කළ විමසීමේදී තේරීම් කමිටු සභාපතිවරයාට තිබුණේ පැහැදිළි පිළිතුරකි.

“වසර දෙකක් අන්තර්ජාතික තරග බිමෙන් ඈත්වෙලා හිටපු ක්‍රීඩකයකුට මේ දේ ටිකක් අමාරුයි. අනෙක එහෙම පුළුවන් නම් ඇයි අපි කුමාර් සංගක්කාරට එන්න නොකියන්නේ” යයිද තේරීම් කමිටු සභාපතිවරයා විමසීය.

 


අදහස් (1)

මැතිව්ස් අවදානම් අඩවියක

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.