Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner මැතිව්ස් ක්‍රිකට් ප්‍රධානියාට ලියයි

මැතිව්ස් ක්‍රිකට් ප්‍රධානියාට ලියයි

සංජය එරමුදුගොඩ - 2018 සැප් මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා සීමිත ඕවර ක්‍රිකට් කණ්ඩාම් දෙකෙම හිටපු නායකයා වූ ඇන්ජලෝ මැතිව්ස් තමන්ට ඉල්ලා අස්වීමට සිදුවූ පසුබිම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියාට ලිපියක් ලියා තිබේ. එම ලිපිය පහතින් දැක්වේ.


ප්‍රධාන විධායක නිලධාරීතුමන් වෙත,
ක්‍රිකට් තේරීම් කමිටුවේ සියලුම සාමාජිකයන් සහ පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතාගේ සහභාගීත්වයෙන් ඉකුත් 21 වැනිදා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී පැවැති හමුව සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා ඔබට මෙම ලිපිය යොමුකරමි. ශ්‍රී ලංකා එක්දින සහ විස්සයි20 කණ්ඩායම්වල නායකත්වයෙන් ඉවත්වන ලෙස තේරීම් කමිටු නිලධාරීන් සහ පුහුණුකරුවා විසින් එම හමුවේදී මාහට දැනුම් දෙන ලදහ.

ඔවුන්ගේ එම තීරණයෙන් මම පුදුමයට පත්වීමි. එම තීරණයත් සමග මට හැඟී ගියේ ආසියානු කුසලාන තරගාවලියේදි බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්තානය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම දක්වන ලද දුර්වල ක්‍රීඩා විලාසයට මා ‘බිල්ලක්’ වී ඇති බවයි.

එම තරගාවලියේදී ගත් යම් යම් තීරණ සම්බන්ධයෙන් මමද වරද කරුවකු වන නමුත් එහි සම්පූර්ණ වගකීම මා පිට පටවන්නේ නම් මා පාවාදීමකට ගොදුරු වී ඇති බවත්, ඇතැමුන් මට ද්‍රෝහි වී ඇති බවත් මට සිතේ.

එම තීරණ ගනු ලැබුවේ මාගේ තනි මතයට නොව තේරීම් කමිටුව සහ පුහුණුකරු සමග සාකච්ඡා කිරීමෙන් පසු අනෝන්‍ය එකඟතාව මත බව ඔබ හොඳින්ම දන්නා කරුණකි. එම නිසා පරාජයේ වගකීම නායකයා ලෙස මම තනිව බාරගත යුතුයැයි කිවහොත් ඊට මම කිසිසේත් එකඟ නොවෙමි. කෙසේ වුවත් තේරීම් කමිටුවේ සහ පුහුණුකරුගේ තීරණය මම ඉතාමත් ගෞරවයෙන් බාරගන්නා අතර වහාම ක්‍රියාත්මකවන පරිදි නායකත්වයේ සියලුම වගකීම් වලින් ඉවත් වෙමි.

වසර 5 ක කාලයක් පුරා  ශ්‍රී ලංකාව වෙනුවෙන්  සෑම ආකෘතියකම කණ්ඩායම්වල නායකත්වය දැරීමෙන් අනතුරුව මම, 2017 වසරේ ජූලි මාසයේදී නායකත්වයෙන් ඉල්ලා අස් වීමට පියවර ගතිමි. ඉල්ලා අස් වීමට පෙර කාල වකවානුව තුළදී මාගේ නායකත්වය යටතේ එංගලන්තයට සහ ඕස්ටේ්‍රලියාවට එරෙහිව (3-0 ක) තරගාවලි ජයග්‍රහණ හිමිකර ගැනීමටත්, 2014 වසරේ පැවැති ආසියානු කුසලාන තරගාවලියේ ශූරතාව හිමිකර ගැනීමටත් ශ්‍රී ලංකා කණ්ඩායමට හැකිවිය. එහෙත් ඒ වෙලාවේදී කණ්ඩායමේ අභිවෘද්ධිය වෙනුවෙන්, නව නායකත්වයක් අවශ්‍ය යයි සිතුණු හෙයින්, 2017 ජූලි මාසයේදී මම නායකත්වයේ සියලු වගකීම්වලින් ස්වේච්ඡාවෙන්ම ඉල්ලා අස්වූයෙමි.

මා නායකත්වයෙන් ඉල්ලා අස්වීමෙන් අනතුරුව සියලුම ආකාරයේ ක්‍රිකට් තරග වලදී ශ්‍රී ලංකා කණ්ඩායම බරපතළ පරාජයන්ට මුහුණ දුන්නේය. 2017 වසරේ ජූලි මාසයේ සිට 2017 දෙසැම්බර් මාසය දක්වා කාලය තුළ උපුල් තරංග, තිසර පෙරේරා, චාමර කපුගෙදර, ලසිත් මාලිංග සහ දිනේෂ් චන්දිමාල් එක්දින සහ විස්සයි20 කණ්ඩායම්වල නායකත්වය දැරූහ.

කෙසේ වුවත් හතුරුසිංහ මහතා 2017 දෙසැම්බර් මාසයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු ධූරයට පත්වීමෙන් පසු ඔහු පෞද්ගලිකවම මා හමුවී, 2019 ලෝක කුසලාන තරගාවලි දක්වා නැවත වරක් නායකත්වය බාරගන්නා ලෙස ඉල්ලා සිටියේය. මමත්, මාගේ පවුලේ සාමාජිකයන් සහ මාගේ ලඟම හිත මිතුරනුත් නැවත වරක් නායකත්වය බාරගැනීම සඳහා මා අධෙර්යත්මත් කළ අවස්ථාවක, හතුරුසිංහ මහතාගේ ඉදිරි වැඩ පිළිවෙල ගැන තැබූ විශ්වාසය මත ශ්‍රී ලංකා කණ්ඩායමේ යහපත වෙනුවෙන් නැවත වරක් ලෝක කුසලාන තරගාවලිය දක්වා නායකත්වයේ වගකීම බාරගැනීමට මම තීරණය කළෙමි.

ආසියානු කුසලාන තරගාවලියේදී බාලාපොරොත්තු නොවූ ලෙස පරාජයට පත්වුවද, එම තරගාවලියට පෙර දකුණු අප්‍රිකානු කණ්ඩායමට එරෙහිව පැවැති එක්දින සහ විස්සයි20 තරගාවලිවලිදී ශ්‍රී ලංකා කණ්ඩායම සැලකියුතු මට්ටමකින් ක්‍රීඩා කළ බවද සිහිපත් කළ යුතුය. 2019 ලෝක කුසලාන තරගාවලියට තවත් තරග දුසිමක් පමණ ඉතිරිව තිබෙන අවස්ථාවක කණ්ඩායම ගැටලුකාරී තත්වයකට මුහුණපා සිටියදී එම ගැටලුවලින් පළායෑමේ අවශ්‍යතාවක් මට නැති බවද කිව යුතුය.

කෙසේ වුවත් ක්‍රීඩකයකු ලෙස කණ්ඩායමට මගේ සේවය අවශ්‍ය ඕනෑම අවස්ථාවකදී ඉදිරියටත් හැකි උපරිම අයුරින් ක්‍රීඩා කිරීමට මම බලාපොරොත්තු වෙමි. යම් හෙයකින් මගේ සේවය එක්දින සහ විස්සයි-20 කණ්ඩායම්වලට අනවශ්‍ය යැයි තේරීම් කමිටුව සහ පුහුණුකරු තීරණය කරන්නේ නම් කණ්ඩායමට බරක් නොවී ක්‍රීඩාවෙන් සමුගැනීමට පවා මා සුදානම් බවද ඉතාමත් කරුණාවෙන් ප්‍රකාශ කරමි.

මේ දක්වා කණ්ඩායම නියෝජනය කරමින් සහභාගී වූ සෑම තරගයකදීම රට වෙනුවෙන් මාගේ හෘදයසාක්ෂියට එකඟව මා ක්‍රීඩා කළ  අතර එහිදී දක්ෂතා අතර රැදෙමින් කණ්ඩායම තුළ මාගේ ස්ථානය රැකගැනීමටද මට හැකිවූ බවද කිව යුතුය. අවසන් වරට පැවැති දකුණු අප්‍රිකානු තරගාවලියේදී පවා කණ්ඩායම් දෙකේම ක්‍රීඩකයන් අතරින් වැඩිම ලකුණු ලාභියා බවට පත්වීමට මට හැකි වූ බවද එහිදී සිහිපත් කළ යුතුය.  

මෙවැනි තත්ත්වයක් පවතිද්දීත් මම, තේරීම් කමිටු නිලධාරීන්ගේ සහ පුහුණුකරුවාගේ ඉල්ලීම මත, ශ්‍රී ලංකා එක්දින සහ විස්සයි-20 කණ්ඩායම් වල නායකත්වයෙන් වහාම ඉල්ලා අස්වෙමි. ආසියානු කුෂලාන තරගාවලිය පිළිබඳව ඔබගේ අදහස් ගෞරවාන්විතව මා හට දැන්වීම සඳහා මා සමග කතාකිරීම මෙන්ම මේ ආකාරයන් තනතුරෙන් ඉල්ලා අස්වීම මට ඉඩ ප්‍රස්ථාව සැලසීම සම්බන්ධයෙන් තේරීම් කමිටු නිලධාරීන්ටත්, ජාතික පුහුණුකරුවාටත් මම ස්තුතිවන්ත වෙමි.

ජාතික කණ්ඩායමටත් ඔබ සියලු දෙනාටත් මම මගේ හෘදයංගම සුබපැතුම් පිරිනමමි.

ඇන්ජලෝ මැතිව්ස්

-036


අදහස් (0)

මැතිව්ස් ක්‍රිකට් ප්‍රධානියාට ලියයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.