Last Update  :  2025-04-21 20:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner මැතිව්ස් විනාඩි 40 ක් පුහුණු දැළ තුළ

මැතිව්ස් විනාඩි 40 ක් පුහුණු දැළ තුළ

සංජය එරමුදුගොඩ - 2017 දෙසැ මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පළමු එක්දින තරගයේ ලද ජයග්‍රහණයෙන් පසුව මහත් උද්දාමයෙන් සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන්ගේ සියලුම සිහින කීතු කීතු වලට ඉරා දැමූ රෝහිත් ෂර්මා දෙවැනි එක්දින තරගයේදී ද්විත්ව ශතකයක් ලබාගනිමින් තරගාවලිය සමකරගත්තේය. එම තරගයේදී ශ්‍රී ලංකා පිලට ලකුණු 141 ක පරාජයක් අත්වූවත් ඉන්දියාවේදී එක්දින තරගාවලියක් ජයගැනීමේ බලාපොරොත්තුව ශ්‍රී ලංකා ක්‍රීඩකයන් තුළ තවමත් නොබිඳී පවතී.

ඉන්දු - ශ්‍රී ලංකා එක්දින තරගාවලියේ තුන්වැනි සහ අවසන් තරගය හෙට (17 වැනිදා) පැවැත්වෙන්නේ ඉන්දියාවේ නැගෙණහිර වෙරළ තීරුවේ නගරයක් වන විශාකාපට්නම්හිදීය.

සිකුරාදා පැවත්වීමට නියමිතව තිබූ පුහුණුවීම් මඟහැර ගිය නමුත් තරගාවලිය ජයගැනීමේ බලාපොරොත්තුව ඉන්දියානුවන්ටත් තිබේ. එහෙත් ශ්‍රී ලංකා කණ්ඩායම නම් සිකුරාදා සිටම තම තමන්ගේ පුහුණු කටයුතු වල නිරත සිටිනු දක්නා ලදි. විශේෂ උනන්දුවකින් පුහුණුවීම් කළ ඇන්ජලෝ මැතිව්ස් විනාඩි 40 ක් පමණ පුහුණු දැළ තුළදී පන්දුවට පහර දීමෙන් අනතුරුව දිගින් දිගටම පන්දු යැවීමේත් යෙදුණේය.

මැතිව්ස්ගේ මෙම උද්යෝගය ශ්‍රී ලංකා කණ්ඩායමට සැනසුම් සුසුමකි. මක්නිසාද යත් දෙවැනි එක්දින තරගයේදී ශ්‍රී ලංකා පන්දු යවන්නෝ ඒ තරමටම බැට කෑ බැවිනි.  

පුහුණුවීම් වලින් පසුව ශ්‍රී ලංකා කළමණාකරු මෙන්ම තේරීම් කමිටු සාමාජික අසංක ගුරුසිංහ මහතා කීවේ තීරණාත්මක තරගය සඳහා මැතිව්ස් සම්පූර්ණ ශාරීරික යෝග්‍යතාවෙන් සිටින බවයි.

“දෙවැනි එක්දින තරගයේ අවසන් කොටසේදී ඔහුගේ මස්පිඬු පෙරළීම නිසා වේදනාවෙන් සිටියා. ඒත් එයා දැන් හොඳින් සුවය ලබා තියෙනවා.....එයා අද පුහුණු දැළ තුළදී හොඳින් පන්දුවට පහර දීමත්, පන්දු යැවීමත් කළා”
“අපේ ක්‍රීඩකයන් සියලු දෙනාම හොඳින්..මේ තීරණාත්මක තරගය සඳහා සියලු දෙනාම සූදානම්” යයි ගුරුසිංහ මහතා පැවසීය.  

සුරංග ලක්මාල් සහ නුවන් ප්‍රදීප් දෙදෙනා තනි ඉන්නකට පන්දු යවමින් සිටියදී ළහිරු තිරිමාන්න වඩාත් දීර්ඝ පුහුණුවීමක නිරත විය. ටෙස්ට් තරගාවලියේ ඉනිම 4 කදී ලකුණු 90 ක් පමණක් ලබාගත් තිරිමාන්න එක්දින තරග දෙකේදීම ලකුණු 0 කට සහ 21 කට දැවී ගියේය.

තුන්වැනි තරගයේදී තණතීරුව කෙසේ වේද යන්න පිළිබඳව ඇත්තේ කුකුසකි. පළමු එක්දින තරගයේදී වේග පන්දු යවන්නන්ට උචිත තණකොළ සපිරි තණතීරුවක් ලැබුණ නමුත් මොහාලිහිදී ලැබුණේ පිතිකරුවන්ගේ පරාදීසයකි. වාර්තාවන තොරතුරු අනුව විශාකාපට්නම්හිදී පළමුවෙන් පන්දුවට පහර දෙන කණ්ඩායමට ලකුණු 300 ක් කරා යා හැකි තණතීරුවක් සකස් කෙරෙනු ඇත.

කෙසේ වෙතත් තරගාවලිය මේ වන විට 1-1 ක් ලෙසින් සමවී ඇති බැවින් තරගාවලියේ පීඩනයට ලක්ව සිටින්නේ ඉන්දීය කණ්ඩායම බව තිසර පෙරේරා කියයි.  

“ඉන්දියාව තමයි වඩාත් හොඳ කණ්ඩායම. ඒ නිසා පීඩනය එයාලටයි. අපට මේක තවත් එක තරගයක් විතරයි....රෝහිත්ටයි ධවාන් අපි ලඟ සැලසුම් තියෙනවා. මොහාලි තරගයෙන් පස්සේ අපි ඒ ගැන කතා කළා. ඒත් ඒ වගේ දේවල් ඉඳහිටලා වෙනවා” යයි කී තිසර පෙරේරා

“අපි මේ තරගයේදී සටනක් දෙනවා. අනෙක මෙහි (විශාකාපට්නම්) හි දේශගුණික තත්ත්වයන් ලංකාවට සමානයි. ධරම්ශාලා නැත්නම් මොහාලි වගේ නෙමෙයි” යයිද පැවසීය.

ළහිරු තිරිමාන්නට මෙන්ම දිනේෂ් කාර්තික්ටත් මෙම තරගය ඉතාමත් තීරණාත්මක එකකි. යුවරාජ් සිං අසාර්ථක වීමෙන් පසුව කණ්ඩායමේ අංක 4 පිතිකරුවා විය යුත්තේ කවුරුන්ද යන්න සොයමින් සිටින ඉන්දීය ඉන්දීය ක්‍රිකට් තේරීම් කමිටු නිලධාරීහු හර්දික් පාණ්ඩ්‍යා, කේදර් ජාදව්, ලෝකේෂ් රාහුල්, මනීෂ් පාණ්ඬේ මෙන්ම දිනේෂ් කාර්තික්ද එම ස්ථානයට ආදේශ කර බැලූහ. එහෙත් කාර්තික් එම ස්ථානය අත්පත් කරගන්නා බවක් පෙනෙන්නට නැත.

මෙම තත්ත්වය යටතේ දකුණු අප්‍රිකානු සංචාරයේදී අංක 4 ස්ථානයට එන්නේ කවුරුන්ද යන්න පිළිබඳව ඉන්දීය තේරීම් කමිටුව උනන්දුවෙන් බලා සිටී. කෙසේ වෙතත් විරාට් කෝලි කණ්ඩායමේ නොසිටි අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගත් ශ්‍රියාස් අයියර් මොහාලිහිදී ලකුණු 88 ක් ලබාගනිමින් සිය පිත්තේ තරම පෙන්වීය.

 


අදහස් (0)

මැතිව්ස් විනාඩි 40 ක් පුහුණු දැළ තුළ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.