Last Update  :  2025-04-21 20:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner මැතිව්ස් පරෙස්සම් කරගැනීමට පියවර

මැතිව්ස් පරෙස්සම් කරගැනීමට පියවර

සංජය එරමුදුගොඩ - 2018 පෙබ මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සීමිත ඕවර නායක ඇන්ජලෝ මැතිව්ස්ගේ පාදයේ මස්පිඬුවේ ඇතිවී තිබෙන ආබාධය සම්පූර්ණයෙන්ම සුව වී නැති බැවින් බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙන විස්සයි-20 තරග දෙකටම ක්‍රීඩා කිරීමේ අවස්ථාවත් ඔහුට අහිමි වී තිබේ. මෙම තරග දෙක මේ මස 15 සහ 18 දිනවලදී බංග්ලාදේශයේ ඩකා සහ ෂිලාත් නගර වලදී පැවැත්වීමට නියමිතය.

ලබන මාසයේදී ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත ‘නිදහස් කුසලාන’ තුන්කොන් තරගාවලිය සඳහා ඇන්ජලෝ මැතිව්ස්ගේ සේවය අත්‍යවශ්‍ය වන බැවින් විස්සයි-20 තරග දෙකක් සඳහා පමණක් ඔහු කඩිමුඩියේ පිට්ටනියට යවා අවදානමකට මුහුණ දීමේ තේරුමක් නැති බව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ග්‍රැහැම් ලැබ්රෝයි මහතා පැවසීය.

පාදයේ කලව පිටුපස ආබාධයත් බත්කෙණ්ඩ ආබාධයත් නිසා 2017 වසර පුරාම තරග ගණනාවකට සහභාගි විය නොහැකි වූ ශ්‍රී ලංකා පිලේ හිටපු නායකයා නැවතත් නායකත්වයට පත්වීමෙන් පසුව කණ්ඩායම සමගින් බංග්ලාදේශයට ගියද ඔහුට සහභාගි විය හැකිවූයේ එකම තරගයකට පමණි.

සීමිත ඕවර (විස්සයි-20 සහ එක්දින) තරග සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට ස්ථාවර නායකයකු සොයද්දී ඒකමතික තේරීම වූයේ ඇන්ජලෝ මැතිව්ස්ය. ඔහු දිගින් දිගටම ආබාධවලට ලක්වීම සම්බන්ධයෙන් එහිදීත් සාකච්ඡා කෙරුණ නමුත් අවසානයේදී 2019 ලෝක කුසලාන තරගාවලිය දක්වා ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නිත්‍ය නායකයා ලෙසින් ඇන්ජලෝ මැතිව්ස් නම්කෙරිණ.

එබැවින් මැතිව්ස් නැවතත් සම්පූර්ණ සුවය ලබා කණ්ඩායමට එක්කර ගැනීම ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව හමුවේ ඇති විශාල අභියෝගයක් වී තිබේ.

මෙම තත්ත්වයන් සියල්ලම සැලකිල්ලට ගෙන ඇති ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව බංග්ලාදේශයේදී පැවැත්වෙන විස්සයි-20 තරග දෙක සඳහා මැතිව්ස් යොදා නොගැනීමට තීරණය කර තිබේ. තේරීම් කමිටුවේ අරමුණ වන්නේ නිදහස් කුසලාන තරගාවලිය සඳහා ශ්‍රී ලංකා නායකයා පරෙස්සම් කරගැනීමයි.

“එයා පසුගිය වසර තුනේදීම දිගින් දිගටම, කිසිම විවේකයක් නැතිවම, ක්‍රීඩා කළා. ඒවායේ ප්‍රතිඵල එන්නේ දැන් තමයි.....අනෙක එයා ටිකක් උස මහත කෙනෙක්. ඒ වගේ සිරුරක බරක් දරාගන්න පාදයේ මස්පිඬු ගොඩාක් ශක්තිමත් වෙන්න ඕනේ” යයි කී තේරීම් කමිටු සභාපතිවරයා....

“අපේ සැලසුම වෙලා තියෙන්නේ අයි. පී. එල්. තරගාවලිය සමයේදී (මාස දෙකකට ආසන්න කාලයක්) සහ කොදෙව් තරගාවලිය වෙනකම් තියෙන විවේකයේදී ඇන්ජලෝව ආයෙමත් සුපුරුදු තත්ත්වයට ගෙන්නයි.” යයිද පැවසීය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා පසුගිය ඉරිදා ‘ද සන්ඬේ ටයිම්ස්’ පුවත් පතට පවසා තිබුණේ ඇන්ජලෝ මැතිව්ස් තවමත් ප්‍රතිකාර ලබමින් සිටින බවයි.

“එයාගේ තත්ත්වය ටිකක් සංකීර්ණයි. ඒ නිසා අපි මේ ප්‍රශ්නයේ මුලටම කිමිදිලා මොකක් හරි ස්ථාවර විසඳුමක් හොයගන්න ඕනේ. ඒත් ඒක ජෛවයාන්ත්‍රණයෙන් කළ හැකි දෙයක්ද නැත්නම් වෙනත් ක්‍රමයක් අනුගමනය කරන්න වෙනවාද කියලා අපි තවමත් දන්නේ නෑ” යයිද ඈෂ්ලි ද සිල්වා මහතා ද සන්ඬේ ටයිම්ස් පුවත් පතට පවසා තිබිණ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තවත් උසස් නිලධාරියකු පැවසුවේ නිදහස් කුසලාන තරගාවලියෙන් පසුව ශ්‍රී ලංකා කණ්ඩායමේ භෞත චිකිත්සකවරයාත්, විශේෂඥ වෛද්‍යවරුන් මෙන්ම අභ්‍යාසකවරුන්ගේද සහයෝගය ලබාගනිමින් මැතිව්ස්ගේ ආබාධයට ස්ථාවර විසඳුමක් සොයාගත යුතු බවයි.

මැතිව්ස් බංග්ලාදේශයේදී ආබාධයට ලක්වූ අවස්ථාවේදී ඔහුගේ වෛද්‍ය වාර්තා පරීක්‍ෂා කරන ලද්දේ වෛද්‍ය තරිඳු වෙදසිංහ මහතා විසිනි. එංගලන්තයේ සිටින ශ්‍රී ලාංකික වෛද්‍යවරයකු වෙදසිංහ මහතාගේ විශේෂ උපදේශයක් වූයේ ඇන්ජලෝ නැවතත් තරග බිමට පිවිසීමට පෙර එම්.ආර්.අයි. ස්කෑන් පරීක්‍ෂණයක් කර මෙම ආබාධය සම්පූර්ණයෙන්ම සුව වී ඇත්ද යන්න බැලිය යුතු බවයි.

 


අදහස් (0)

මැතිව්ස් පරෙස්සම් කරගැනීමට පියවර

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.