Last Update  :  2025-12-13 21:02:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner මුල්තාන් සුල්තාන්ලා දෙවැනි ජයත් ලබති

මුල්තාන් සුල්තාන්ලා දෙවැනි ජයත් ලබති

සංජය එරමුදුගොඩ - 2018 පෙබ මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පාකිස්තානු විස්සයි-20 ලීග් තරගාවලියේ වත්මන් ශූරයන් වන පෙෂාවර් සල්මි කණ්ඩායම පළමු තරගයේදී පරාජය කළ ‘මුල්තාන් සුල්තාන්’ලා පැය 48 ක් යාමටත් මත්තෙන් ලාහෝර් කොලැන්ඩර්ස් කණ්ඩායමත්  පරාජය කරමින් තමන්ගේ දෙවැනි තරගයත් ජයගත්හ. ඩුබායිහිදී පැවැත්වෙන මෙම තරගාවලියේ දෙවැනි තරගයේදී මුල්තාන් සුල්තාන් පිල වෙනුවෙන් නවක ක්‍රීඩකයන් හොඳ දස්කම් දක්වද්දී කුමාර් සංගක්කාර සිය දෙවැනි අර්ධ ශතකයද ලබාගත්තේය.

මේ වන විට තරග දෙකකට පමණක් සහභාගි වී සිටින සංගක්කර ලබා ඇති ලකුණු සංඛ්‍යාව 120 කි. ඔහුගේ ලකුණු රැස්කිරීමේ ප්‍රවේගය (ප්‍රහාරාත්මක වේගය) 126.32 කි. සංගක්කාර සුපුරුදු තැන්පත් බවින් යුතුව සිය අර්ධ ශතකය ලබාගනිද්දී සුල්තාන් ඉනිමේ අවසන් කොටසේදී දුම්මල වරම ගත් යකැදුරෙකු සේ ආවේශ වූ ෂොයිබ් මලික් පන්දු 28 කින් ලකුණු 48 ක් උදුරා ගත්තේය.

විස්සයි-20 ක්‍රිකට් තරග වලට සහභාගි වෙමින් ලෝ පුරා සැරිසරන සංගක්කාර මෙම තරගාවලියට සහභාගි වීම සඳහා ඩුබායි නුවරට පැමිණියේ හොං කොං හිදී පැවැති තරගාවලියට සහභාගි වීමෙන් අනතුරුවය. ඉතාමත් හොඳින් ලකුණු අතර සිටින ශ්‍රී ලංකා පිලේ හිටපු නායකයාට තර්ජනයක් වීමට ලාහෝර් පිලේ කිසිම පන්දු යවන්නකුට නොහැකි විය.

තවමත් 18 වැනි වියේ සිටින වමතින් වේග පන්දු යවන ෂහීන් අෆ්රීඩිගේ පන්දුවක් දෙවැනි වරටත් ෆයින් ලෙග් කලාපයට ඉහලින් යවමින් සිය දෙවැනි හයේ පහර ගැසූ සංගක්කාර ඊළඟ ඕවරයේදී යසීර් ෂාගේ පන්දු හමුවේ කවර් ඩ්‍රයිව් පහර වලින් සංග්‍රහ කළේ කිසිදු පැකිළීමකින් තොරවය.

ආරම්භක පිතිකරුවා වූ සංගක්කාර 17 වැනි ඕවරයේදී දැවී යන විට මුලු ලකුණු සංඛ්‍යාව 147 ක් වී තිබිණ. එතැන් සිට ආවේශ වූ ෂොයිබ් මලික් ඉතිරි ඕවර තුනේදී 178 දක්වා ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීය. අවසන් ඕවර 4 දී මුල්තාන් සුල්තාන්ලාට ලකුණු 51 ක් එකතු විය.

ලකුණු 180 ක ඉලක්කයක් හඹාගිය ලාහෝර් පිල වෙනුවෙන් සුනිල් නරේන් සහ බ්‍රෙන්ඩන් මැකලම් හොඳ ආරම්භයක් ලබාගත් නමුත් එකළඟ ඕවර දෙකකදී ඔවුන් දෙදෙනාම පිටියෙන් ඉවත් කිරීමට කරන් පොලාර්ඞ්ට හැකිවිය. ලාහෝර් පිලට බරපතළම හිසරදය වූයේ ජුනයිඞ් ඛාන් සහ ඉම්රාන් තහීර් දෙදෙනායි. මේ දෙදෙනාගේ පන්දු 15 ක් ඇතුළත කඩුලු 7 ක් බිඳ වැටිණ.

ෆකාර් සමාන් දැවී යාමට පෙර කඩුල කඩුලු 3 ට 132 ක් වූ ලකුණු පුවරුව පන්දු 15 ක් ඇවෑමෙන් සියලු දෙනා දැවී 136 ක් සේ සටහන් විය. ජුනයිඞ් ඛාන්ගේ කඩුලු ත්‍රිත්වය තරගාවලියේ දෙවැනි කඩුලු ත්‍රිත්වය ලෙසින් සටහන් විය.


මුල්තාන් සුල්තාන්ස් - ඕවර 20 කදී කඩුලු 5 ක් දැවී 179 යි
(කුමාර් සංගක්කාර 63, අහමඞ් ශෙෂාඞ් 38, ෂොයිබ් මලික් 48, මුස්ටෆිසුර් රහමහන් 22/2)

ලාහෝර් කොලැන්ඩර්ස්  - ඕවර 17.2 කදී සියලු දෙනා දැවී 136 යි
(ෆකාර් සමාන් 49, උමාර් අක්මල් 31, ජුනයිඞ් ඛාන් 24/3, ඉම්රාන් තහීර් 27/3)

 


අදහස් (0)

මුල්තාන් සුල්තාන්ලා දෙවැනි ජයත් ලබති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.