Last Update  :  2025-04-22 18:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner යොවුන් කණ්ඩායම ඉන්දියාවේ තරගාවලියක

යොවුන් කණ්ඩායම ඉන්දියාවේ තරගාවලියක

සංජය එරමුදුගොඩ - 2017 නොවැ මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දියාවේ පැවැත්වෙන සාම්ප්‍රදායික තරගාවලියක් වන වයස 19 න් පහළ චැලෙන්ජර් කුසලාන තරගාවලිය සඳහා සහභාගිවන ලෙස ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය ශ්‍රී ලංකාවට ආරාධනා කර තිබේ. සාමාන්‍යයෙන් මෙම තරගාවලිය පැවැත්වෙන්නේ ඉන්දීය 19 න් පහළ කණ්ඩායම් 3 ක් අතර වුවත්, මේ වසරේදී එහි වෙනසක් කරමින් ශ්‍රී ලංකා 19 න් පහළ කණ්ඩායමටද ඒ සඳහා ආරාධනා කිරීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය පියවර ගෙන තිබේ.

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය චැලෙන්ජර් කුසලාන තරගාවලිය සඳහා විදෙස් කණ්ඩායමකට ආරාධනා කළ පළමු අවස්ථාව මෙයයි. එළඹෙන 19 න් පහළ ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් ඉන්දීය ක්‍රීඩකයන්ට අත්දැකීම් ලබා දීමේ අරමුණින් ඔවුන් මෙම තීරණය ගෙන ඇත.
 
“අපේ ක්‍රීඩකයන් ඔවුනොවුන් සමග සෑහෙන්න ක්‍රීඩා කරලා තියෙනවා. ඒ නිසා අපිට ඕන වුණා මේ තරගාවලියට විදෙස් කණ්ඩායමක් සහභාගි කරවාගෙන ඔවුන්ට අලුත් අත්දැකීමක් ලබා දෙන්න.”
“ඒ මගින් ලබන වසරේ නවසීලන්තයේදී පැවැත්වෙන 19 න් පහළ ලෝක කුසලාන තරගාවලිය සඳහා හොඳ කණ්ඩායමයක් සූදානම් කර ගැනීමට අපිට හැකි වේවි.” යැයි ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ නියෝජිතයෙක් ඉන්දියන් එක්ස්ප්‍රස් පුවත්පතට පවසා තිබේ.

මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ආරාධනය පිළිගනු ලැබ ඇති බව වාර්තා වේ. චැලෙන්ජර් කුසලාන තරගාවලියට සහභාගි වීම සඳහා 19 න් පහළ කණ්ඩායමක් මුම්බායි බලා පිටත්කර යැවීමට නියමිතය.

එම තරගාවලියට සහභාගි වන සෑම කණ්ඩායමක්ම මූලික වටයේදී ලීග් ක්‍රමයට අනුව සෙසු කණ්ඩායම් 3 ට එරෙහිව තරග වැදීමට නියමිත අතර මූලික වටය අවසානයේ ලකුණු සටහනේ පෙරමුණේ පසුවන කණ්ඩායම් 2 අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට නියමිතය. අවසන් මහ තරගය මුම්බායිහිදී දිවා /රාත්‍රී තරගයක් ලෙස පැවැත්වේ.

ප්‍රිතිව් ශාව් ඉන්දීය ‘ඒ’ කණ්ඩායමේ නායකත්වය දරන අතර හිමන්ෂු රානා විසින් ඉන්දීය ‘බී’ කණ්ඩායමද, අභිෂේක් ශර්මා විසින් ඉන්දීය ‘සී’ කණ්ඩායමද මෙහෙයවනු ලබති. ඉන්දීය කනිෂ්ට තේරීම් කමිටුව මේ වන විට එම කණ්ඩායම් 3 සඳහා ක්‍රීඩකයන් 13 බැගින් වූ සංචිත නම් කර තිබේ. මෙම තරගාවලිය අවසානයේ 19 න් පහළ ලෝක කුසලාන තරගාවලියට සහභාගි වන ඉන්දීය කණ්ඩායම තෝරාගැනීමට නියමිතය.


- 036

 


අදහස් (0)

යොවුන් කණ්ඩායම ඉන්දියාවේ තරගාවලියක

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.